Print this Article


උපන් කුසල් පවත්වා ගැනීමට ගන්නා උත්සාහය

උපන් කුසල් පවත්වා ගැනීමට ගන්නා උත්සාහය

උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් සම්මා වායාම වන මාර්ගාංගය යටතේ ඉගැන්වෙන්නකි. එහි සම්මා වායාම සතරක් තිබෙයි. ඉන් සිව්වන සම්මා වායාමය දක්වා ඇත්තේ උප්පන්නානං කුසලානං ධම්මානං... යනාදී වශයෙනි. සෝවාන් ආදී මාර්ගඵල මාර්ගයෙනි.

පෘතග්ජන පුද්ගලයාගේ ශීලයට හානි සිදු විය හැකි ය. උදාහරණයක් ලෙස පන්සිල්, අටසිල් යනා දී ශීල ප්‍රතිපදාවන්හි එක් සිල් පදයක් හෝ කිහිපයක් විනාශ විය හැකි ය. ඒ අනුව ඇතැම් විට මනා සිල්වතෙකුව සිටින පෘතග්ජන පුද්ගලයා ඇතැම් විට හෙට දිනයේ පස්කම් සැප විඳිමින් පව්කම් කරන දුසිල්වතෙකු විය හැකි ය.

සිල්වතෙකු ලෙස ප්‍රසිද්ධිය ලබා සිටින පැවිද්දෙකු උපැවිදිව යම් වරදක් කරනු දුටුවහොත්, ඇසුවහොත් අපි එයට කලබල වෙමු. ඇතැම් බෞද්ධයෝ බුදු දහමෙන් ඈත් වන තරමට කල කිරෙති. සමස්ත පැවිදි සමාජයටම ගර්හා කරති. එය ධර්මය නොදැනීම නිසා වන කලබලයකි. පෘතග්ජන ස්වභාවයට අනුව අප සංසාරයෙහි තබා එක් ජීවිත කාලයක් මුළුල්ලෙහි වුව ද දුකෙන් මිදී වාසය කරන්නට තිබුණත් එය පුදුම සහගත ය. එය නොහැකිවීම පුදුමයක් නොවේ. එය පෘතග්ජන ස්වභාවයේ ස්වරූපය යි.

පැවිදිව භාවනා කර ධ්‍යාන අභිඤ්ඤාව ලබා අහසින් ගමන් කරමින් සිටින ඇතැම් උතුමෝ පවා සියල්ලෙන් පිරිහී නැවත ගිහි බවට පත්වූ අවස්ථා තිබේ. එසේ වූයේ කුමක් හෝ හේතුවක් නිසා නොව උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ නොකළ නිසා ය.

යම් කිසිවෙක් තමාගේ චිත්ත සන්ථානයේ ඇතිකර ගෙන තිබෙන ශීලාදී ගුණ ධර්මයන් සෝවාන් ආදී මාර්ග ඵලයට පැමිණ කෙළවර නිවනට පැමිණීම දක්වා ම නොනස්නා ස්වභාවයට පමුණුවා ගනු පිණිස ගන්නා උත්සාහය මෙයින් ඉගැන්වේ. එහි උපදවා ගත් කුසලයන් දියුණු කිරීමට අප ගන්නා වීර්යය සතරවන සම්මා වායාමය යි.

උපන් කෙනෙකුට කවර ආකාරයකින්වත් නොමැරී සිටීමට නොහැකි ය. කිනම් ආකාරයකින් හෝ මිය යන අප ධර්ම මාර්ගයේ ගමන්කොට මැරෙන්නට වුවහොත් එය උතුම් ය. එසේනම්, උපන් කුසල් වැඩිදියුණු කරගෙන ක්‍රියා කරන්නෙකුට මරණය ගැන බිය විය යුතු නැත.

මද ජලය, මහත් වූ ගින්නට පැමිණිය ද එය නිවීමට සමත් නොවී නැසෙන්නාක් මෙන් , දුබල වූ ශීලය ,බලවත් ක්ලේෂයන්ගෙන් දුරු කිරීමට සමත් නොවේ. එසේනම්, ක්ලේෂයම බලවත් විය හැකි ය. එයින් පුද්ගලයා දුශ්ශීලයෙකු විය හැකි ය. “සිල් රැකීම නිසා වන පීඩාවලින් මේ ශරීරයේ සම , නහර , ඇට කටු ආදියත් ඉතිරි වේවා. මස් ලේ වියළී යතොත් වියළී වේවා, කුමක් හෝ සිදු වුණත් ශීලය නොබිඳීමි”, යන බලවත් වීර්යෙන් යුක්තව කරන ශීල ප්‍රතිපදාව කෙලෙසුන්ට නොබිඳීය හැකි ය. පැරදවිය නොහැකි ය.

ක්ලේෂයන් විසින් පැරැදවිය නොහැකි වන පරිදි ශීලය බලවත් වීර්යයෙන් යුක්තව වර්ධනය කර ගැනීම උපන් ශීලමය කුසලය වර්ධනය කර ගැනීම යි. බලවත් වීර්යයෙන් යුක්තව සමාධිය බලවත් කර ගැනීම ද ලැබූ සමාධිය වඩ වඩාත් උසස් බවට පමුණුවා ගැනීම ද උපන් සමාධි කුසලය වැඩීමයි. බලවත් ක්ලේෂයන්ට ළඟා විය නොහැකි පරිදි ලෞකික ප්‍රඥාව දියුණු කර ගැනීම උපන් ප්‍රඥාමය කුසලය වැඩීම යි.

මේ අනුව සතර සම්‍යයක් ප්‍රධන් වීර්යයේ සිව්වැන්න උපන් කුසලය වැඩි දියුණු කරගැනීමේ වීර්ය යි.