Print this Article


පස් ආකාර වූ ධනය සොයමු

පස් ආකාර වූ ධනය සොයමු

ධනය යැයි කී විට නිතැතින්ම මතකයට නැඟෙන්නේ මිල මුදල්, දේපළ, ඉඩකඩම් වතුපිටි ආදිය යි. නමුත් ඒවා සාධාරණ වන්නේ මෙලොවට පමණ යි. ඒ කිසිවක් පරලොවට සාධාරණ වන්නේ නැහැ. ඒ ධනය පරලොවට ගෙනයන්න බැහැ. සැබවින්ම මිල මුදල්, ඉඩකඩම්, වතුපිටි ආදිය අපට මෙලොවදී සැපයක්, සතුටක් උදාකර දුන්නාට ඒවාට පරලොව දී අපට සතුටක්, සොම්නසක් උදාකර දෙන්නට බැහැ. නමුත් මෙලොව මෙන්ම පරලොව රැකවරණය සලසන, සතුට උදාකරදෙන සැබෑම ධනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා.

ලොව බොහෝ දෙනා සිතන්නේ ධනය තරම් විටිනා සම්පතක් මිහිපිට නැති බවයි. එනිසාම ධනය රැස්කර ගන්නට ඔවුන් අප්‍රමාණ ලෙස වෙහෙසෙනවා. සමහරු ධනය වෙනුවෙන් නුසුදුසු දේ පවා කිරීමට පෙළඹෙනවා. ඒ වගේම බොහෝ අය සිිතන්නේ ධනය ඇත්නම් සැපය, සතුට,සොම්නස ළඟාවන බවයි. මේ ගැන අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්දැයි විමසා බලමු.

පින්වත් මහණෙනි, භය වෙන්න එපා. පින කියන්නේ ඉතා යහපත් සිත්කළු පි‍්‍රය මනාව වූ සැපයට කියන නමක්. (මා පුඤ්ඤාභායි සූත්‍රය – ඛුද්දක නිකාය) මේ බුද්ධ වචනය අනුව යම් අයෙකුගේ ජීවිතයට සැපය උදාවන්නේ තමාට අයිතිව ඇති ධනය හෝ වත්පොහොසත්කම නිසා නොවේ. තමා රැස්කර ඇති පින මත. ඒ නිසයි සමහර අයට කොතෙක් ධනය තිබුණත් ඒ අය කායිකව හෝ මානසිකව සැපක්, සතුටක්, නො ලබන්නේ ඇයි?. ධනය ලබන්නට පින තිබුණත් සැපය ලබන්නට ඒ අයට පිනක් නැති නිසයි.

ධනය කියූ විට නිතැතින්ම මතකයට නැඟෙන්නේ මිල මුදල්, දේපළ, ඉඩකඩම් වතුපිටි ආදිය යි. නමුත් ඒවා සාධාරණ වන්නේ මෙලොවට පමණ යි. ඒ කිසිවක් පරලොවට සාධාරණ වන්නේ නැහැ. ඒ ධනය පරලොවට ගෙනයන්න බැහැ. සැබවින්ම මිල මුදල්, ඉඩකඩම්, වතුපිටි ආදිය අපට මෙලොවදී සැපයක්, සතුටක් උදාකර දුන්නාට ඒවාට පරලොව දී අපට සතුටක්, සොම්නසක් උදාකර දෙන්නට බැහැ. නමුත් මෙලොව මෙන්ම පරලොව රැකවරණය සලසන, සතුට උදාකරදෙන සැබෑම ධනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

පින්වත් මහණෙනි, සැබෑම වූ ධනයන් පහකි. ඒවානම් ශ්‍රද්ධා ධනය, සීල ධනය, ශ්‍රැත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය යනුවෙනි. (පඤ්ච ධන සූත්‍රය අං. නි.) භාග්‍යවතුන් වහන්සේ එහිදී මෙලොව සහ පරලොව යහපත සලසන මේ ධනය මනාකොට විස්තර කරමින් මෙසේ වදාළා.

ශ්‍රද්ධා ධනය - තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගන්නා තැනැත්තෙක් වෙනවා. තමා මහත් ගෞරවයෙන් සරණගිය භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු ගුණ මුළු හදවතින්ම අදහා ගන්නවා. එය හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් වූවක් නොවේ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාට ඒ භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ දුරලූ හෙයින් 'අරහං' නම් වන බව පිළිගන්නවා. ගුරු උපදේශ නැතිවම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා 'සම්මා සම්බුද්ධ' බව පිළිගන්නවා. මේ ආදී වශයෙන් ශාස්තෘන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ පිළිබඳව අවබෝධයෙන්ම ඇති වූ පැහැදීමක් තිබිය යුතු වෙනවා. එය ඔහුගේ ශ්‍රද්ධා ධනයයි.

සීල ධනය – බුද්ධ ශාසනය වෙත කෙනෙක් පැමිණෙන්නේ තෙරුවන් සරණ යෑමෙන්. ඉන්පසු ඒ ශ්‍රාවකයාට කරන්නට තිබෙන්නා වූ පළමු කරුණ වන්නේ සීල සම්පන්න වීමයි. සතුන් නොමැරීමට, සොරකම් නොකිරීමට, වැරැදි කාම සේවනයේ නොයෙදීමට, බොරු නොකීමට, මත්වතුර, මත්ද්‍රව්‍ය පරිහරණය නොකිරීමට අදිටන් කර ගැනීම ඔහුගේ සීලය යි. මේ සීල සමාදානයත් සමඟ ජීවිතයට මහත් ලාබයක් උදා වෙනවා. සිල්වත් පුද්ගලයාට හොඳ මිතුරන් ලැබෙනවා. පවිටු මිතුරන් ඈත් වෙනවා. නිරතුරු ප්‍රසංසාව ලැබෙනවා. සීලය කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. මෙසේ තමා සමාදන් වූ සීලය ඔහුට මහත් ධනයක් වෙනවා.

ශ්‍රැත ධනය – ඒ වගේම මේ ආර්ය ශ්‍රවකයා බහුශ්‍රැත තැනැත්තෙක්. භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට, කැටිකොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය බොහෝ කොට අසා දරාගෙන ඉන්නා කෙනෙක්. ධර්මය දරාගත් පමණින් කෙනෙක් බහුශ්‍රැත වන්නේ නැති බව අප දන්නවා. ඔහු නුවණින් විමසමින් දරාගත් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වෙන්න ඕන. මෙලෙස බොහෝ දහම් කරුණු දරාගෙන යම් තරමින් හෝ ඒ ධර්මය නුවණින් අවබෝධ කර ගන්නවාද ඒ සැදැහැති ශ්‍රාවකයාගේ ශ්‍රැත ධනයයි.

ත්‍යාග ධනය – තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා ගිහි ගෙදර වාසය කරන්නේ ලෝභකම, මසුරුකම අත්හරින සිතකින් යුතුවයි. මසුරුමල දුරු කරන සිතින් ගිහිගෙයි වාසය කරන ඔහු තමන් සතු දෙයින් කොටසක් අන් අයට පරිත්‍යාග කරනවා. (මුත්ත චාගෝ) දන් දෙන්නම කියා කොටසක් අත්හැර තිබෙනවා (පායතපාණි) අත් දෙක සෝදාගෙන සිටින්නේ, ඕනෑම අවස්ථාවක දන් දෙන්න සූදානමින් (වොස්සග්ගරතෝ) දන් දීමෙහි ඇලී වාසය කරනවා (යාචයෝගෝ) ඔහු යමක් ඉල්ලන්නට සුදුසු කෙනෙක් (දානසං විභාගරතෝ) ඔහු දන්දීමෙහි ඇලී වාසය කරනවා. මෙය තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ ත්‍යාග්‍ය නම් වූ ධන සම්පත්තියයි.

ප්‍රඥා ධනය – බුදුරජාණන් වහන්සේ වදාළේ (පඤ්ඤාවන්තස්සායන්ං ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස) ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසා වන බවත්, දුෂ්ප්‍රාඥයින් සඳහා නොවන බවත්ය. එලෙසම ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා ප්‍රඥාාව උපදවා ගැනීම පිණිස කළයුතු දෙයද භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. එනම් නිවනට පමුණුවන රහතුන්ගේ ධර්මය අසා දරාගෙන ඒ අනුව අප්‍රමාදීව නුවණින් විමසීමයි. මෙලෙස ධර්මයට අනුව නුවණින් විමසන ශ්‍රාවකයා සියලු සංස්කාරයන්ගේ හටගැනීමත්, නැතිවීමත් දැකීමට හැකිවන අයුරින් තම නුවණ දියුණු කර ගන්නවා. මෙලෙස දුක් ක්ෂය කිරීම අරමුණු කරගෙන චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස දියණු කර ගන්නා ප්‍රඥාව ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥා ධනයයි.

ලොව සැබෑම ධනය වූ මේ පස් ආකාර ධනයන් උපදවා ගැනීමට සමත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා තමාගේත්, අන් අයගේත් යහපත පිණිස දියුණුව පිණිස පිළිපන් පුද්ගලයෙකු බව භාග්‍යවතුන් වහන්සේ සුන්දර උපමාවකින් මෙසේ පෙන්වා වදාළා.

හිමාල පර්වත රාජයා ඇසුරු කොටගත් මහා වෘක්ෂයෝ කරුණු පහකින් වැඩෙනවා. දියුණුවෙනවා. එනම් අතු, කොළ, දළු වලින් වැඩෙනවා. සිවියෙන් වැඩෙනවා. පොත්තෙන් වැඩෙනවා. ඵලයෙන් වැඩෙනවා. අරටුවෙන් වැඩෙනවා.

එලෙසම ශ්‍රද්ධාවන්ත, ශ්‍රාවකයකු ඇසුරු කරන ඔහුගේ අඹුදරුවෝ ඤාති මිත්‍රාදීන් ඇතුළු ඔහු අනුව දිවි ගෙවන අන් අයද ඔහු අනුකරණය කිරීම හේතුවෙන් ශ්‍රද්ධාවෙන් වැඩෙනවා, සීලයෙන් වැඩෙනවා, ශ්‍රැතයෙන් වැඩෙනවා, ත්‍යාගයෙන් වැඩෙනවා, ප්‍රඥාවෙන් වැඩෙනවා. තවද මෙලෙස තමාගේත්, අන් අයගේත් යහපත පිණිස පිළිපන් ලොව සැබෑම ධනයට හිමිකම් කියන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මරණින් මතු දෙව්ලොව ඉපිද සතුටු වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළා. (මහාසාල සූත්‍රය අං. නි.)

ඒනිසා අපත් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසා කොට වදාළ මෙලොව පරලොව යහපත පිණිස පවතින, ලොව සැබෑම ධනය වන ශ්‍රද්ධා ධනය, සීල ධනය, ශ්‍රැත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය යන පස් ආකාර වූ ධනයන් උපදවාගත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකු වීමට උත්සාහවත් වෙමු.