Print this Article


සිත තිබෙන්නේ හදවතේද?

සිත තිබෙන්නේ හදවතේද?

පෙරදිග මෙන් ම අපරදිග පැරැන්නෝද, සිත හෘදයෙහි පවත්නා බව ප්‍රකාශ කළහ. එහෙත් වෛද්‍ය විද්‍යාත්මක දියුණුවත් සමඟ ඒ මතය බැහැර විය. කිසියම් ප්‍රබල හැඟීමක් ඇතිවන විට පපුවට, හෘදයට යම් අපහසුවක්, ගැස්මක් දැනෙන නිසා එම පැරැණි මතය ඇති වන්නට ඇත.

ආශාව , ප්‍රබෝධය, බිය, කෝපය වැනි හැඟීම් ඇති වන්නේ හෘදයට නොව මොළයේ පිහිටි හයිපොතැලමස් (Hypothalamus) නමැති කොටසට බව පැහැදිලිව සනාථ කර ඇත.

බිය ඇතිවීම, දහදිය දැමීම හා තොල් වියළි වන්නේ හයිපොතැලමස් විසින් හෘදයේ මාංශපේශී ස්වීය ස්නායු පන්තියක් (Autonomic Nervous System) හසුරුවන නිසාය. මෙම හයිපොතැලමස් මඟින් හෘදයේ ස්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ඇසේ කණිනිකාව ඇතුළු තවත් නොයෙක් දේ පාලනය කරනු ලැබේ. ස්වසනයේ රිද්මය හා ගැඹුරු බව මොළයේ මිදැල්ල (Medulla) Pre – botzinger complex මඟින් ඇති කරන අතර එය පාලනය කරනු ලබන්නේ හයිපොතැලමස් මඟිනි.

ශරීරය පද්ධති දොළහක් මඟින් ක්‍රියා කරනු ලබයි. රුධිිර ධාවන පද්ධතිය, ස්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, මාංශ පේශී පද්ධතිය, බහිස්ශ්‍රාවීය පද්ධතිය, ප්‍රජනන පද්ධතිය , අන්තරා ස්වර්ග පද්ධතිය, වසා පද්ධතිය, ස්නායු ආදී මඟින් ලබාදෙන සංඥා මඟින් මේ පද්ධති පාලනය වන අතර සිත මඟින් පාලනය කරනු ලබන්නේ මාංශ පේශී පද්ධතිය පමණි. එමඟින් ශරීරයේ අභ්‍යන්තරික මාංශ පේශී (Soft Tissues)පාලනය කළ නොහැකිය.

පිබිදීම, අතපය දිග ඇරීම, හැසිරීම, ඔලුව හැරවීම වැනි ක්‍රියාවන් සිතෙන් පාලනය කළ හැකි වුවද අනෙක් අභ්‍යන්තර ක්‍රියා සිත විසින් පාලනය කළ නොහැකිවන අතර මොළය විසින් ඒවා පාලනය කරනු ලැබේ.

ජීවය පවත්වාගනු ලබන්නේ ශෛලයි. ශරීරයේ ශෛල ට්‍රිලියන් සියයක් පමණ ඇති අතර ඒවා ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමේ ආහාරය වන්නේ රුධිරයයි. මොළය ස්නායු ශෛල බිලියන් සියයක් පමණ ඇති අතර ශරීරයේ තප්පරයකට බිලියන් අටදාහක රසායනික ප්‍රතික්‍රියා සිදුවේ. මේ සියල්ල සිදු කරනු ලබන්නේ ජීවය (Life) පවත්වාගෙන යාමටය.

පුද්ගලයෙක් මියගොස් ස්වල්ප වේලාවක් හෘදය, වකුගඩු, අක්මාව, පෙනහළුවලින් රුධිරය සැපයීමෙන් පැය කිහිපයක් ඒවායේ ජීවය පවත්වාගත හැකි ය. එයට සිත සම්බන්ධයක් නැත. අවයව බද්ධ කළ හැකිවන්නේ ඒවායෙහි ජීව ගුණය තිබෙන නිසා ය. ආහාරය නැතිව සිතට ජීවය රැකගත හැකි නොවන අතර සිත නොමැතිව රුධිරය සැපයීමෙන් ජීවයට පැවැතිය හැකි ය. එබැවින් ජීවය යි, සිත යි වෙන්කොට හඳුනාගත යුතු ය. ලේ බැංකුවල ලේ කල්තබා ගත හැකිවන්නේ එබැවිනි.

ගතවුණු දශක හතරක කාලය තුළ සිත පිළිබඳ විවිධ පර්යේෂණ ගණනාවක් විද්‍යාඥයෝ සිදු කළහ. මොළයේ මැද කොටස දැලිස ආකෘතිය (Reticular formation) අවධානය, අවධිය, නිදිමත හා නින්ද යන සිතැඟි අවස්ථා ඇති කරනු ලබන බව සොයාගෙන ඇත. මෙය මුහුණේ මාංශ පේශීන්ට සම්බන්ධතාවයක් දක්වනු බැවින් සිතෙහි වෙනස්කම් මුහුණින් පිළිබිඹු වේ. කනගාටුව, ප්‍රීතිය, බිය, සැකය වැනි ආවේග මුහුණින් පිළිබිඹු වන බව අපි දනිමු. මුහුණේ මාංශ පේශීන් තැලමස් හා දැලිස ආකෘතිය (Reticular formation) මඟින් පාලනය කෙරේ. මොළයේ ඉදිරි කොටසින් (Frontal lobe) කල්පනා කිරීම, තර්කය, තීන්දු ගැනීම, නිර්මාණ වැනි දේ සිදු කරනු ලබන බව දැනගෙන තිබේ. Broca’s Area කොටසින් භාෂාවක් කතා කිරීම , භාෂාවට ඇහුම්කන් දීම සිදු කරන බැවින් එය ශෛල්‍ය කර්මයකින් ඉවත් කළහොත් අනිත් දෑ කළ හැකි වුණත් භාෂාවට අහුම්කන් දීම හෝ කතා කිරීම සිදු කළ නොහැකි බව පර්යේෂණ මඟින් සොයාගෙන ඇත. එහෙත් ඔහුට පොතක් කියවා තේරුම් ගත හැකි අතර අකුරු ලිවීමට හැකි ය. Wernike’s area කොටස ශෛල්‍යකර්මයකින් ඉවත් කළ විට අකුරු හඳුනා ගැනීමට හෝ ලිවීමට නොහැකි වන අතර ඇහුම්කන් දීමට හා කතා කිරීමට හැකි බව සනාථ කරනු ඇත.

මෙම කරුණු ගැඹුරින් වටහා නොගෙන සිත ඇත්තේ හදවතේ යැයි කීමට ඉක්මන් වීමට ප්‍රඥාගෝචර නොවේ. බුදුරජාණන් වහන්සේ එවැනි ප්‍රකාශයක් කිසිම තැනක හෝ කිසිම සූත්‍රයක දේශනා කර නැති බවත් අභිධර්මය ඉගෙන ගන්නා අය මතක තබා ගත යුතු ය. සිත වස්තු රූපය ඇසුරු කරන බවත් වස්තු රූපය හෘදය වස්තුව නොවන බවත් තේරුම් ගත යුතුය.