Print this Article


හඳුනාගත හැකි ද මිනිසා

හඳුනාගත හැකි ද මිනිසා

සත් පුරුෂ බව බැලූ බැල්මට හඳුනාගත නොහැකි දෙයකි. තිරිසන් සතකුගේ ඉරියව්වලින් ඒ සතා කුමක් කිරීමට සැරසෙන්නේ දැයි වටහා ගැනීම අසීරු නැත. මී ගවයෙක් කිපුණු වෙලාවට, සුනඛයෙක් බුරාගෙන එන ආකාරයට, ආදි ලෙස ඊළඟ මොහොතේ කුමක්වේදැයි තේරුම් ගත හැකිය. නමුත් මනුෂ්‍යයා කුමක් කරන්නේ දැයි හඳුනා ගැනීම අසීරු ය. ඔහු ඇතැම්විට සිනහසෙමින් සතුරුකම් කරයි.

යම් කෙනෙක් ජීවත්වන නිවස අවට පරිසරය, ප්‍රදේශයේ පරිසරය, රටේ පරිසරය පුද්ගලයාගේ මානසික හා කායික සංවර්ධනයට, ආර්ථික දියුණුවට බලපෑම් ඇති කරයි. මේ නිසා ඕනෑම පුද්ගලයකු තමන් ජීවත්වන පරිසරය ඉතා පිරිසුදුවට හා ක්‍රමාණුකූලව තබා ගැනීම කළ යුතු වන්නේ ය. කොපමණ වෙහෙසකරවී, ආවේග වී තම නිවසට පැමිණිය ද එය හිත නිවන සතුට ගෙනෙන තැනක් විය යුතු ය. තම ආත්ම සංවර්ධනයට එහි ඇති බලපෑම ඉතා සුභවාදී වන්නේ ය.

නිවස අභ්‍යන්තරයේ ද, බාහිරව ද කැලි කසළ බැහැර කිරීම් ආදිය නිසි ලෙසට සිදු නොවන්නේ නම් මැසි මදුරු කැරපොත්තන්, සමඟින් රෝග ඇති වී ජීවිත තර්ජන පවා සිදුවේ. නීල හරිත ගහකොළ ඇසට සිතට ප්‍රබෝධය ගෙන දෙයි. සතුටු දායක හා සාමකාමි අවට පරිසරය චිත්ත ඒකාග්‍රතාවයක් මෙන්ම සුන්දර මානසික පසුබිමක් සකස් කර දෙයි.

නිවසින් බැහැර වෙනත් සේවාස්ථානයක සේවය කළද තමා සේවය කරන තැන සෙසු අයගේ හොඳ හිත දිනාගෙන කටයුතු කරනවා සේ ම අවට පිරිසුදුව පිළිවෙළට තබා ගැනීම ඉතා සුවිශේෂී වටිනාකමක් ඔබට ලබා දේ. බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ වත්තක්කන්ධචය තුළ ආරාමයක් පිරිසුදුව, පිළිවෙළට තබා ගන්නා ආකාරය පැහැදිලි කර දී තිබේ.

‘සක චිත්තං පසීදීතී’ යනුවෙන් ආරාමය නිතර ඇමදීමෙන් හා සෝදා පිරිසුදු කිරීමෙන් තමන්ගේ සිත පිරිසුදු වන බව හා ‘පර චිත්තං පසිදීති’ එය දැක අන්‍යයන්ගේ සිත ද පැහැදෙන බව දේශනා කර තිබේ. ‘දේවතා පසීදන්තී’ යනුවෙන් දෙවියන් පවා පැහැදෙන බව දේශනා කර තිබේ. තමන්ට දේව ආශිර්වාදය ලබා ගැනීමට නම් අවට පරිසරය පිරිසුදු කර ගැනීම ප්‍රථමයෙන් කළ යුතු ය.

පුද්ගලයකුගේ දියුණුවට සත් පුරුෂ ආශ්‍රයද ඉතා වැදගත් ය. සත් පුරුෂ බව බැලූ බැල්මට හඳුනාගත නොහැකි දෙයකි. තිරිසන් සතකුගේ ඉරියව්වලින් ඒ සතා කුමක් කිරීමට සැරසෙන්නේ දැයි වටහා ගැනීම අසීරු නැත. මී ගවයෙක් කිපුණු වෙලාවට, සුනඛයෙක් බුරාගෙන එන ආකාරයට, ආදි ලෙස ඊළඟ මොහොතේ කුමක්වේදැයි තේරුම් ගත හැකිය. නමුත් මනුෂ්‍යයා කුමක් කරන්නේ දැයි හඳුනා ගැනීම අසීරු ය. ඔහු ඇතැම්විට සිනහසෙමින් සතුරුකම් කරයි. අවිහිංසාවාදයේ පියා ලෙස විරුදාවලී ලද මහත්මා ගාන්ධි තුමා ඝාතනය කරන්නට පෙර ඒ ඝාතකයා දනගසා වැඳ නමස්කාර කළ පුවත අපි අසා ඇත්තෙමු.

‘ගහනං හේතු මසුන්සා’

යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඉතා සැඟවගත්, රහසිගත අදහස් තිබෙන මනුෂ්‍යයා කියන දේ නොකරන, නොකියන දේ කරන පුදුම සත්ත්වයෙකු බවයි. ඒ නිසා මිනිසා තේරුම් ගෙන තම දිවි පෙවෙත ගෙවිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ආශ්‍රයට සුදුසු සත් පුරුෂයෝ නැතිනම් පාප මිත්‍රයන් ඇසුරු නොකර හුදකලාව ජීවත් වන ලෙසටය. එය ඉතා ප්‍රඥා ගෝචර ය. පවින් මිදෙන්නේ ය. අජාසත්ත රජුට කල්ප ගණනාවක් අවීචි මහා නරකාදියෙහි දුක් විඳින්නට සිදුවුණේ දෙව්දත් තෙර වැනි අසත්පුරුෂයන්ගේ ඇසුර නිසා ය.

චූල පදුත්තම සූත්‍රයේ දී අසත්පුරුෂයා කුමන ආකාරයේ කෙනෙක්දැයි හඳුනා ගන්නට කරුණු අටක් ඉදිරිපත් කර තිබේ.

ඔහුට ධර්මය පිළිබඳ අවබෝධයක් නැත. ශ්‍රද්ධාවක් නැත. අනුවණ ය.

අසත්පුරුෂයා නිතර ඇසුරු කරන්නේ අනුවණ, අධාර්මික, අඥානයන්ම ය.

ඔහු නිතරම අනුන්ට විපතක්, හානියක්, අයහපතක් ම සිදු කිරීමට මාන බලයි.

තමන්ට මෙන්ම අනුන්ටද අනර්ථය පිණිස, හේතුවන දේ කතා කරයි. අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරයි.

අසත් පුරුෂයා හිතාමතාම බොරු ගොතමින් කියන අයෙකි.

හේ කටට එන බොරු ප්‍රබන්ධ කරමින් කියයි. විවිධ පුද්ගලයන්ට අපහාස කරයි. හිස් වචන කතා කරයි. පරුෂ වචන කියයි. අන් අය බිඳවන්නට කේළාම් කියයි.

ඔහු අනුන්ගේ ජීවිතවලට හානි කරයි. වැරැදි දේම අගයයි.

මෙලොව පරලොව පිළිබඳ හා කර්මය, පින් පව් මෙන්ම භවය පිළිබඳව අසත්පුරුෂයාට අවබෝධයක් නැත. හේ දන් නොදෙයි. පරිත්‍යාගශීලී නොවෙයි. වගකීමෙන් තොරව කටයුතු කරයි.

මෙබඳු අසත්පුරුෂයන් ආශ්‍රය නිසා කෙනෙකුගේ ජීවිතය විනාශ වීමට පුළුවන. මේ නිසා සත්පුරුෂ ඇසුරම තෝරාගත යුතු ය. සත්පුරුෂයා කුලය නිසා උදම් අනන්නේ නැත. අනුන් කෙරෙහි නිකරුණේ දොස් පවරන්නේ නැත. බොරු නොකියන්නේ ය. අන්‍යයන් භේද නොකරන්නේ ය. අනුන්ට ද ඒ මාවත ගමන් කරන්නට මග කියා දෙන්නේ ය. අනුන් හෙළා තලා කතා නොකරන්නේ ය. මිනිස්කම අගයන්නේ ය. මේ කරුණු දැන සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුනාගෙන ජීවිතය යහපත් ලෙස සකස් කර ගන්නට උත්සාහ කරන්න.