Print this Article


චිත්‍ර හා මූර්ති කලාවේදියා : ඇම්.සාර්ලිස්

චිත්‍ර හා මූර්ති කලාවේදියා :

ඇම්.සාර්ලිස්

තුන් සිංහලයේම අසහාය මහා චිත්‍රශිල්පියා වූ ඇම්. සාර්ලිස් මාස්ටර් බෞද්ධ චිත්‍ර කලාවේ ලක්ෂ සංඛ්‍යාත බොදු බැතිමතුන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් එදා උද්දාම කරවන ලදී.

වසර 137 ට පෙර අම්බලන්ගොඩ ආඳාදොළ දී වර්ෂ 1880 ජූලි මස 25 වැනි දින උපත ලැබූ මෙතුමා චිත්‍රකලාව, බෞද්ධ දර්ශනය, කාව්‍යකරණය, ලේඛන කලාව, ගීත නිබන්දන මෙන්ම පාලි සංස්කෘත වැනි විවිධ භාෂාවන් ප්‍රගුණ කර ඇත්තේ ය. ළමා වියේ සිටම චිත්‍ර කලාවට හුරු වූ මෙතුමා බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් චිත්‍රයට නැඟීමෙන් එකී චිත්‍ර රාමු සෑම බෞද්ධ නිවසකම බිත්ති සැරසීමක් ලෙස ප්‍රදර්ශනය විය. මුල් යුගයේ සිංහල වෙදකම ඉගෙනීමට රුචියක් දක්වන ලදී. පසුව එතුමා දකුණේ වැලිතර පුෂ්පාරාම විහාරාධිපති පාලි භාෂා සක්විති වැලිතර ඤාණතිලක මාහිමිපාණන්ගේ සිසුවෙකු ලෙස ඉගෙන ගන්නා අවදියේ චිත්‍ර කලාවත්, මූර්ති ශිල්පයටත් දක්ෂකම් දක්වන ලදී. එකල මේ තරුණ චිත්‍ර කලාවේදියා අතින් විශාල බිතු සිතුවම් රැසක්ම නිර්මාණය විය.

එවකට කොළඹ මරදානේ ටවර්හෝල්හි චිත්‍ර නිර්මාණ චිත්‍රකලා විශාරදයෙක් වූ ‘හෙන්රික්ස් ශූරීන්ගෙන්’ චිත්‍ර කලාව වැඩිදුරටත් හදාරා ඇති අතර එම ආභාෂයද ලැබී තිබුණ බවට එතුමාගේ චිත්‍රවලින් කැපී පෙනේ. මෙතුමා අතින් සිතුවම් නිමවූ විහාර අතර අශෝකාරාමය ඉසිපතනාරාමය, වේළුවනාරාමය, පූජාරාමය, සුදර්ශනාරාමය, පාන්ති විහාරය, වරාගොඩ විහාරය, බෝධිමළු විහාරය, ඉඳුරුවේ විහාරයත් බෙම්මුල්ලේ ශ්‍රීවර්ධන මහ පොත්ගුල් විහාරයත් වේ. එවකට තැපැල් මාර්ගික චිත්‍ර පාඨමාලා ඉගැන්වීමේ පාසලක්ද අරඹා තිබිණ. නවනාරි කුංජරය, පංචනාරි ඝටය, සප්ත නාරි පල්ලැක්කිය, අපූරු චිත්‍ර නිර්මාණ කංචුකයන් විය. එතුමා දක්ෂතම චිත්‍ර ශිල්පීන් රැසක්ම බිහි කළ අතර ජී.ඇස්. ප්‍රනාන්දු කාටුන් ශිල්පි ජී.ඇල් ගෞතමදාස ලේක්හවුස් දිනමිණ, සිළුමිණ චිත්‍ර ශිල්පි, ඇම්. නෝබට්, ලව්නේරිස් සහ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් අමුණුගොඩ චිත්‍ර ශිල්පි ඩී.ඇස්. ජයවර්ධනයන්ද වේ.

හෙළයේ මහා චිත්‍ර ශිල්පියෙක් වූ කැලණි විහාර බිතු සිතුවම් අඳින ලද සෝලියස් මැන්දිස් මහත්මාගේ සහ ඇම් සාර්ලිස් මාස්ටර් ගේ පිළිරූ නිර්මාණය කිරීමේ සත් ක්‍රියාව පිළිබඳව අපේ ගරු සංස්කෘතික ඇමැතිතුමාගේ අවධානය යොමුවේවායි පතමු.

ඇම්.සාර්ලිස් ගුරුදේවයාණන්ට නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු.