Print this Article


සිව් බඹ විහරණ - උපේක්ඛා: සතුටු අසතුටු සැමට සම සිත

සිව් බඹ විහරණ - උපේක්ඛා:

සතුටු අසතුටු සැමට සම සිත

පාරමිතා ධර්මයක් වන උපේක්ෂාව බෝධි පාක්ෂික ධර්මයක් ද වෙයි. එය සතර බ්‍රහ්ම විහරණ විග්‍රහයට බඳුන් වන සිව්වන උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයයි. උපේක්ෂා විහරණය සසර කතරේ මැරෙන ඉපදෙන සත්ත්වයා හට එතෙර වන්නට උපයෝගී වන දහම් පහුරකි.

අටලෝ දහම හමුවේ අකම්පිත නොවීම, නොසැලීම උපේක්ෂාව හෙවත් මැදහත් බවයි.

ලෝක ධර්මයන් අතුරෙන් ආහාර පාන, වස්තුව, මිල මුදල්, භව බෝග සම්පත් ලැබීම ලාභයයි. මේවා අහිමිවීම අලාභයි. විටක බොහෝ ලාභ ලබන ධනවත් වූ තැනැත්තා විටක අලාභයට පැමිණ දිළඳු වන්නේය. තවත් මොහොතක දුක්ඛිත භාවයෙන් පෙළෙන තැනැත්තා භව බෝග සම්පත්, යස ඉසුරු යහමින් ලබයි. මහ පිරිසක් ඇත්තා, මද පිරිසක් ලබයි. තවත් මොහොතක බොහෝ ජනයාගේ ආදර ගෞරව බහුමානයට පත්ව පැසසුම් ලබයි. තවත් මොහොතක සමාජයෙන් පැසසුම් අහිමිව නින්දා ලබයි. මෙලෙස කායික මානසික සුවය නොලබන්නා දුකට පත් වෙයි. තවත් මොහොතක පුද්ගලයා දුක්ඛ දෝමනස්සයන්ගෙන් දුරස්වී සැපසේ වාසය කරයි. මෙලෙස සැප දුක් හමුවේ චක්‍රානුකූලව සත්ත්වයාට විපාක ලැබෙයි.

ලෝක ධර්මයන් හමුවේ ජීවත්වන පුද්ගලයා විසින් මනා දැනුමකින් වාසය කළ යුතුවේ. ලෝක ධර්මයන් පිළිබඳ දැනුමක් නැති අනුවණයා ලාභ, යසස, ප්‍රසංසා, සැප ආදිය ශාන්ත මනාප ධර්මයන් හමුවේ තමා උසස්කොට අන් අය පහත් කොට සලකා මාන්නයෙන් වැඩෙයි

අලාභය ,අයස, නින්දා, දුක ආදී අනිත්‍ය , අමනාප ධර්මයන් හමුවේ සත්ත්වයා තැවෙයි. ඒ නිසාම සිතේ ඊර්ෂ්‍යාව , වෛරය ආදී අකුසල ධර්මයන් බැඳේ. මෙලොව , පරලොව පිරිහීමට පත් වේ. උපේක්ෂාවෙන් කල් ගෙවන සත්ත්වයා විමසන නුවණින් අටලෝ දහම හමුවේ මධ්‍යස්ථව සමව වාසය කරයි. ඉන් නොසැලෙන්නා මධ්‍යස්ථව , උපේක්ෂා බ්‍රහ්ම විහරණය හෙවත් මැදහත්ව ශ්‍රේෂ්ඨව දිවි ගෙවන්නෙක් වෙයි. උපේක්ෂා ගුණ ධර්මය ජීවිතයට පුරුදු පුහුණු කරගත යුතු සුවිශේෂී ධර්මයකි.

ස්ත්‍රිය, පුරුෂයා, ගිහියන් , පැවිද්දන් වශයෙන් නිබඳවම සිහි කළ යුතු කරුණු පහක් බුදුන් වහන්සේ දේශනා කළ සේක.

මම දිරන ස්වභාවය ඇත්තෙක්මි. ජරාවට ගිය අයෙක් වෙමි’යි සිහිකළ යුතුයි. මම රෝගයන් හටගන්නා ස්වභාවය ඇති රෝගයන් නොඉක්ම වූ අයෙක් වෙමි. මම මැරෙන ස්වභාවය ඇති මරණය නොඉක්ම වූ අයෙක් වෙමි. ප්‍රිය වූ සියල්ලන්ගෙන් වෙන්වී යන මම කර්මය අයත්කොට ඇත්තෙක් වෙමි. කර්මය සුවදුක් කොට ඇත්තෙක් වෙමි. මෙලෙස නිබඳව මෙනෙහි කරන්නා ඇලෙන ගැටෙන ස්වභාවයෙන් දුරස්ව උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් බැබළෙයි.

උපේක්ෂාව වැඩුණු සිතක ස්වභාවය මෙබඳු යැ’යි සාරිපුත්ත සීහනාද සූත්‍රයට අනුව සඳහන් වෙයි. යම් පරිදි මහා පොළොවට පිරිසුදු දෙයක් හෝ අපිරිසුදු වූ මළ මූත්‍ර , කෙළ සොටු , ලේ සැරව දැමුවද මහ පොළොව ඉන් කිසිවිටකත් නොසැලෙයි. පිළිකුළට නොපැමිණෙයි. පොළොව සමවූ විපුල, මැදහත් , මහද්ගත වු අප්‍රමාණ වූ , අවෛරී වූ නිදුක් සිතින් වාසය කරයි. මෙලෙස ජලය, ගින්න, සුළඟ ආදී විවිධාකාර උපමාවන්ගෙන් ජීවිතයේ හරය තේරුම් ගත යුතුයි. ඒ සඳහා උපේක්ෂා බ්‍රහ්ම විහරණය වැඩි දියුණුවට උපනිශ්‍රය සම්පතක්ම වේවා.