Print this Article


සිත තිබෙන තැනකොතැන ද?

සිත තිබෙන තැනකොතැන ද?

ඒ ශෝක ජනක මොහොතකි. විශ්මය ජනක පුවතකි. පසුගියදා මොළය මිය ගිය තම පුතුට සසරේ මතු භවයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා’යි යන පැතුම මව්පියන්ට පහළ වන්නට ඇත. ඒ නිසාම ඔවුහු උතුරායන පුත්‍ර ස්නේහයෙන් වැගිරෙන කඳුළු වැල් සඟවා ගෙන සිදු කළ පින්කම විශිෂ්ටය.

මේ තරුණ දරුවාගේ හෘදය වස්තුවෙන්, වකුගඩුවලින් , අක්මාවෙන්, දෙනෙතින් තවත් මිනිසුන් ජීවිත ලැබීය.

අයෙක් හදිසි අනතුරකින් මිය ගියොත් හෘදය තවත් අයෙකුට බද්ධ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙවැනි ඉන්ද්‍රියයන් ලබා ගන්නේ මියගිය අයෙකුගෙන් පමණයි. මොළය මැරුණු පුද්ගලයා කෙසේවත් ජීවත් වන්නේ නැහැ. නමුත් පුද්ගලයාගේ හෘදය වස්තුවට ක්‍රියා කරන්න පුළුවන්. එහෙත් ස්වසනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

බුදු දහමට අනුව සිතයි කයයි යනුවෙන් නාම රූප දෙකකි. එය විද්‍යාවට අනුව බාහිරව පෙනෙන්න ඇති කය සහ නොපෙනෙන සිතයි. එසේනම් ජීවිතය ගැන දැනගන්න පහසු වුණත් සිත ගැන දැනගන්න අපහසුයි. සිත සහ කය ගැන වෙන වෙනම ඉගෙන ගැනීමෙන් සිත තැන්පත් කරගන්නට පහසු වෙයි. බුදු දහමේ මනෝ විද්‍යාත්මකව ඉගැන්වෙන කායික පැත්ත විස්තර කර තිබෙයි. මොළයේ තැන්පත්බව සිරුරේ පද්ධති දොළහකින් ක්‍රියාත්මක වෙයි.

බුදු දහමට අනුව චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය , ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය , කාය විඤ්ඤාණයෙන් යම් දෙයක් දකින්නට සිත් දාහතක් අවශ්‍යයයි. චක්ඛු විඤ්ඤාණය ඉන් එකකි. අනෙක් සිත් දාසයම ඇති වන්නේ වස්තු රූප වෙතයි. නමුත් එය සඳහන් කර ඇත්තේ අටුවාවල පමණයි. සිත් පහළවී, නැතිවී මුලු සිරුරේම කාය විඤ්ඤාණය පහළ වෙයි. සිතකින් යමක් දැක ගන්න තවත් සිත් දාසයක් ඇතිවිය යුතුයි.

තැන තැන ඇවිදින සිත එක තැන නැහැ. එය පහළ වන්නේ අසුරු සැනින්. සමහරුන්ගේ මොළයේ ගෙඩි වැනි දෙයක් ඉවත්කළ විට ඇතිවන ආබාධයන් නිසා පොතක් කියවන්න පවා අපහසු වෙන්නට පුළුවන්. එයට හේතුව මොළයේ ඇති කොටස් මඟින් අකුරු හඳුනා ගැනීම අපහසු වීමයි. මොළයේ යම් කොටසක් ඉවත් කළ විට එය සිදුවෙයි. එවිට සිත ක්‍රියාකරන්නේ මොළයට සම්බන්ධවයි.

විශුද්ධි මාර්ගයට අනුව කෙනෙකුගේ සිත බලන්න හෘදයේ පාට බලන්නැ’යි පවසනවා. එය රතුපාට නම් ප්‍රසන්න සිතක්. කලුපාට නම් තරහ සිතක්. එයින් අදහස් කරන්නේ සිත එතැන ඇතිබව නෙමෙයි. ලේවල පාට සිත අනුව වෙනස් වන බවයි.

රුධිර ධාවන පද්ධතිය ගැන සඳහන් කිරීමේදී හෘදය වස්තුවත්, ස්වසන පද්ධතියත් මඟින් ස්වසනය සිදු වෙයි. මේ පද්ධති බොහෝ විට පරිපාලනය කරන්නේ මොළයයි. එහි විවිධාකාර කොටස් නිසා පුද්ගලයා පාලනය කරයි. ඒ අතුරෙන් ස්පල්ප ප්‍රමාණයක් සිත පාලනය කරයි. හෘදයේ මාංශ පේශීන්, බඩවැල්වල මාංශ පේෂීන් සිත මඟින් පාලනය කරන්න බැහැ.

අපේ සිරුරේ යම් දෙයක් ඇණුන විට (ස්පර්ශය) එය මොළයේ වම් පැත්තෙන් දැනුම් දෙයි. මේවා මොළයේ තැනින් තැනට බාර වී ඇත. නිදසුනක් ලෙස යම් ආලෝකයක් යම් වස්තුවකට පතිත වුවොත් එය අපට පෙනෙනවා. ඒ පණිවුඩය හඳුනාගන්නේ මොළයේ පිටුපස ඇති කොටසයි. නවීන විද්‍යුත් උපකරණ මඟින් මේ බව සනාථ වී තිබෙයි.

නමුත් ඇවිදින්න, අත දිගු කරන්න, සිටගන්න , දිග ඇදෙන්නට සිත ඉවහල් වෙයි. හෘදය පාලනය කරන්නේ මොළයෙහි කුඩා කොටස කින් මිස සිත එයට මැදිහත් වන්නේ නැහැ. හුස්ම ස්වල්පයක් සිතෙන් පාලනය කළත් කතා කිරීම, සිනා සීම වැනි අවස්ථාවකදී බොහෝ වේලාවක් යෙදුණොත් අප වෙහෙසට පත් වෙනවා. හේතුව සිරුරේ ඇතුළත ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ ඔක්සිජන් ප්‍රමාණය කොපමණද ැ’යි අප දන්නේ නැති නිසයි. මොළයේ ඇති රසායනික මධ්‍යස්ථානවල ඇති ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට අනුව හුස්ම ක්‍රමානුකූල වෙයි. ශරීරයේ ඇති මොළය විසින් සිදු කරනු ලබන්නේ ඉතා දියුණු, සංකීර්ණ ක්‍රියාදාමයන් වෙයි.

සමහරු සිතන්නේ හෘදයේ සිත තිබෙන බවයි. එය පෙර අපරදිග පැරැණි මතයක්. එය ජීවිතය පවත්වා ගැනීමට ඉවහල් වෙයි. හෘදය වස්තුවට සිත නැතිවත් තනිව ක්‍රියා කරන්න පුළුවන්. එසේනම් මෙයින් පෙනෙන්නේ හෘදයේ සිත නැති බවයි.

නමුත්, සිත මේ සෑම දෙයක් සම්බන්ධවම දිව ගියත් සිතට නිශ්චිත තැනක් ඇති බව දැනගන්නට බැහැ.