කුසලයට පමා
නොවන්න
අලංකාරේ ධම්මසමුද්ද හිමි
" මිය යන මොහොත සතුටින් ගත කරන්නට නම් තරුණ විය, මැදිවිය උසස් ජීවන රටාවකට අනුව
සකස් කර ගත යුතු වෙනවා. ජීවිතය හා මරණය අතර කාලය තුළ යහපත් ලෙස ජීවිතය හැඩ ගසා ගත
යුතු වෙනවා. ධර්මය කියවන්න, ධර්මය අසන්න, එවිට ප්‍රඥාව පහළ වෙනවා."
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයෙක, දිනක් අලුයම් වේලාවේ
එක්තරා දෙවියකු පැමිණ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ජීවිතය මරණය කරා ඇදී යනවා.
ජීවත් වෙන්න තිබෙන්නේ ඉතාම සුළු කාලයයි. ජරාව විසින් සත්ත්වයින් මරණය කරා කැඳවාගෙන
යන මේ ගමනේ දී ආරක්ෂා වෙන්න කිසිම තැනක් නෑ. මරණය අභියස මේ බිය දකින කෙනා කුමක් කළ
යුතු ද? යි විමසනවා.
එවිට බුදුරජාණන් වහන්සේ,
“ජීවිතය මරණය කරා ගෙනයනු ලබනවා. ජීවත් වෙන්න තිබෙන්නේ සුළු කාලයයි. ජරාව විසින්
මරණය වෙත ගෙනයනු ලබන සත්ත්වයාට ආරක්ෂා වෙන්නට තැනක් නෑ. මරණය අභියස තිබෙන මේ බිය
දකින කෙනා අමා මහ නිවනින් සැප ලබනු කැමැතිව ලෝකාමිසය අතහැර පින් දහම් කළ යුතු
වෙනවා.”
එම දෙවියාට පැහැදිලි කරනවා.
මරණය පිළිබඳව කරන විස්තරයක දී එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඉතා බුද්ධිමත්,
කුලවත් අශ්වයින් විශේෂයක් උපමාවට ගෙන දහම් දේශනා කර තිබෙනවා. මෙම අශ්වයින් අජානීය
කුලයට අයත්, අශ්වයින් අතරින් අජානීය අශ්වයා වේගය හා බුද්ධිය අතින් ද විශිෂ්ටයි.
ස්වාමි ගරුත්වයෙන්ද විශිෂ්ටයි. මෙම අශ්වයින් උපමා කර මරණය පිළිබඳව අප දැනුම්වත් විය
යුතු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
පළමු ගණයේ අජානීය අශ්වයා ඉතා බුද්ධිමත්. පිට උඩ නැගි අසරුවා කෙවිට ඔසවන විට ම මේ
සතා යා යුතු දුර ගැන හා යා යුතු මාර්ගය පිළිබඳව දැන ගන්නවා. මරණයක් ගැන ආරංචි වූ
සැනින්, මම ද මැරෙන අයෙකියි සිතා මැරෙන බව දැන කුසල් රැස්කර ගන්නවා. පැහැපත් ලෙස
ජීවන රටාව සකස් කර ගන්නවා. හේ මරණයට බිය නොවෙයි. ඊට සතුටින් මුහුණදීමට ආත්ම
ශක්තියකින් යුතු වෙනවා. මේ අශ්වයා යා යුතු ඉදිරි මග තීරණය කරන්නේ කෙවිටේ
සෙවනැල්ලටයි.
දෙවැනි ගණයේ අජානීය අශ්වයාද බුද්ධිමත් පළමු අශ්වයාට පමණක් දෙවැනියි. අසරුවා කෙවිට
ගෙන කොඳු ඇට පේළියේ ලොම් බුරුත්ත අතරට කෙවිට යවා එය සොලවා කිති කවනවා. ඒ සමඟ
අශ්වයාට යා යුතු දුර හා පළාත ගැන අවබෝධයක් ලැබෙනවා. මේ අශ්වයාට උපමා කරන පුද්ගලයා
මළ මිණියක් දෑසින් දකිනවා. එයින් තමා ද දිනෙක මිය යන බව අවබෝධ කරගන්නවා. කුසල් රැස්
කරනවා. යන ලොවකට ගෙන යාමට කුසල් පොදි බඳිනවා.පාපයෙන් මිදෙනවා. සිත, කය, වචනය රැක
ගන්නවා. දාන, ශීල, භාවනාවන්හි යෙදෙනවා.
තුන්වෙනි පන්තියේ අජානීය අශ්වයා මේ දෙදෙනාට පමණක් දෙවැනි වන සතෙක්. සිය පිට මත නැඟ
අසරුවා නිල අල්ලා කෙවිටෙන් තරමක් රිදෙන ලෙස අනිනවා. එවිට යා යුතු ප්‍රදේශය හා දුර
පිළිබඳව අශ්වයාට හොඳ අවබෝධයක් ලැබෙනවා. එතැන් සිට නිවැරැදි දිශාවට ගමන් කරනවා. මේ
අශ්වයාට උපමා කර ඇති තැනැත්තාට ඥාතියකුගේ මළ මිණියක් දෑසින් දැක ගන්නට හැකි වෙනවා.
ඒ සමඟ තමා ද මිය යන බව දැන එතැන් සිට ජීවන රටාව සකස් කරගන්නවා. කුසල් ධර්ම පූරණය
කරනවා. මරණය වෙනුවෙන් හිත හදා ගන්නවා. මෙහි මිය යන්නා තම මව් හෝ පියා විය හැකියි.
සිව්වැනි අජානීය අශ්වයා ඉතා දුර්වලයි. පිට මත සිටින අශ්වාරෝහකයා ඇට පෑදුණු තැන්වලට
කෙවිටෙන් තදින් පහර දෙනවා. එවිට යා යුතු තැන ගැන අශ්වයාට අවබෝධයක් ලැබෙනවා. මේ
තත්ත්වයේ අශ්වයාට උපමා කරන පුද්ගලයාට තමා මරණ මංචකයට වැටී ලෙඩ ඇඳේ දුක් විඳින විට
මිය යන බව අවබෝධ වෙනවා. ඒ මොහොතේ මරණයට බිය වී තැති ගන්නවා. ‘අනේ! මමත් තව ටික
දිනකින් මේ ලෝකය හැර යනවා නේද? යි ඔහු මරණය තේරුම් ගන්නවා. ඒත් බොහෝ ප්‍රමාදයි. ඒ
පමාව නිසා මෙලොව, පරලොව දෙලොවම පසුතැවීමට සිදු වෙනවා.
ධර්මයේ පිහිට පැතීමට, සීලවන්තයෙකු වීමට, ධර්මචාරී වීමට මරණය ළං වූ වයසට පැමිණෙන
තෙක් සිටිය යුතු නෑ. මහලු විය ජීවිතයේ අවසානම කාලයයි. පින් දහම් කරන්නට, කුසල්
වඩන්නට බොහෝ කරදර විය යුතු යි. අකල් මරණයකට ගොදුරු නොවුණේ නම් මහලු විය ඔබ සොයා ඒම
වැළැක්විය නොහැකියි. දත් වැටෙනවා. ඇඟ රැළි වැටෙනවා. මුළු ගතම රිදුම් දෙනවා. ඉවරයක්
නැති ලෙඩදුක්. ඉබේම කෙඳිරිලි පිටවෙනවා. කවර මොහොතක හෝ හුස්ම ටික පිටවෙනවා. මිය යන
මොහොත සතුටින් ගත කරන්නට නම් තරුණ විය, මැදිවිය උසස් ජීවන රටාවකට අනුව සකස් කර ගත
යුතු වෙනවා. ජීවිතය හා මරණය අතර කාලය තුළ යහපත් ලෙස ජීවිතය හැඩ ගසා ගත යුතු වෙනවා.
ධර්මය කියවන්න, ධර්මය අසන්න, එවිට ප්‍රඥාව පහළ වෙනවා. |