Print this Article


ශාන්ති පදනම මෙහෙයවීමෙන් 29 වනදා පැවැත්වෙන පිච්චමල් පූජාව

ශාන්ති පදනම මෙහෙයවීමෙන් 29 වනදා පැවැත්වෙන පිච්චමල් පූජාව

අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ,ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරි, නුවරකළාවියේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන්ගේද අනුශාසනා පරිදි අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අබියසදී වාර්ෂිකව සිදු කෙරෙන පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය 27 වැනි වරටත් ජූලි මස 29 වෙනි දින සිදු කිරීමට ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියෝ කටයුතු යොදා ඇත.

කොටපොල අමරකිත්ති හිමියන්ගේ සංකල්පනාවකට අනුව 1990 වසරේ මැයි මස සිට ඇරඹී මෙම පුණ්‍යකර්මය සඳහා මුල් අවස්ථාවලදී සහභාගි වූයේ සුළු සැදැහැවතුන් පිරිසකි. එහෙත් මේ වන විට පිච්චමල් පූජාව සඳහා සැදැහැවතුන් ලක්ෂ ගණනක් සහභාගි වන බව වාර්තා වේ. එම පින්කම පිච්චමල් පූජාවට පමණක් සීමා නොකර ඊට සමගාමීව විවිධ පූජාවන් හා දානමය පින්කම් රැසක් ඇතුළත් දින දෙකක වැඩසටහනක් අනුරාධපුර මහමෙව්නා උයනේදී ක්‍රියාත්මක වේ.

ජූලි මස 29 වැනි දින පස්වරු 3.00 ට අනුරාධපුර ථූපාරාම චෛත්‍ය අසලින් පිච්චමල් පූජා මහා පෙරහර ඇරඹේ. එම පූජෝත්සවයට සැදැහවතුන් නන්දෙසින් නෙළාගෙන එන ලක්ෂ සංඛ්‍යාත පිච්චමල් රන්වන් පාත්‍ර විශාල ප්‍රමාණයක තැන්පත් කර අලංකාර මුතුකුඩ යටින් මහ පෙරහරින් ජය ශ්‍රී බෝ සමිඳුන් වෙත වැඩම කෙරෙන අතර, පිරිවානා පොත් වහන්සේ සහ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුවද විශේෂ අලංකාරවූ රන්සිවි ගෙයක තැන්පත් කර සාධු නාද මැද, සියලු පුද සිරිත් අනුගමනය කරමින් එම පෙරහරින් වැඩම කරවනු ලබයි. එය ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඩ සිටින උඩමළුව භූමියෙහි සුදු පලසක් ලෙසින් අඩියක් පමණ උසට පෙරහරින් වැඩම කර පිච්චමල් අතුරා බෝධි වන්දනාව පවත්වනු ලැබේ.

මෙවැනි පිච්චමල් පෙරහරක් මෙදින රාත්‍රියේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින මළුවේ සිට රුවන්වැලි මහ සෑය දක්වා පැවැත්වේ. මහ සෑ රදුන් පුදන්නට පිච්චමල්වලින් අලංකාර කරන ලද සෑ රදුන්ගේ අනුරුවක් හා රන්වන් පාත්‍රවල බහාලූ පිච්චමල්, මෙම පෙරහරින් සෑ මළුවට වැඩම කරති. ඊට අමතරව ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ වටා තෙරුවන් ගුණ පාඨ සඳහන් කරන ලද රන්බෝ පත්‍ර පළඳනාවක් පළඳවන අතර , රුවන්වැලි සෑ මළුවේ තැන්පත් කරන ලද විශේෂ අලංකාර මණ්ඩප 28 ක අටවිසි බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා අටවිසි බුද්ධ පූජා පින්කමක්ද පැවැත්වේ.

අනතුරුව රටට සෙත්පතා ධම්මචක්ක පවත්වන සූත්‍රය මහා සංඝ රත්නය විසින් සජ්ඣායනා කරනු ලැබේ. නන්දෙසින් පැමිණෙන පින්වත් ජනතාවට අනුරාධපුරයට පහසුවෙන් ළඟාවිය හැකි පරිදි විශේෂ දුම්රිය හා බස් සේවාවන් සූදානම් කර තිබෙන අතර, පූජා භූමිය තුළ සැදැහැවතුන්ට අවශ්‍ය නිර්මාංශ ආහාර පාන ලබා ගැනීම සඳහා දන්සැල් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබේ. බටහිර හා දේශීය වෛද්‍ය පහසුකම් ඇතුළත් ජංගම රෝහල රුවන්වැලි මහා සෑය ඉදිරිපිට තනවා පැමිණෙන රෝගීන්ට ප්‍රථමාධාර කිරීම පිච්ච මල් පූජාව කමිටුවේ විශේෂ වගකීම වේ. පානීය ජල පහසුකම් මහමෙව්නා උයනේ ස්ථාන ගත කර ඇත. මෙම පිච්චමල් පූජා කමිටුව මගින් පැමිණෙන ජනතාව උදෙසා සිදු කරෙන මහ ප්‍රජා සත්කාරයෙන් කොටසක් වේ.