Print this Article


පහන් සිතක කවි

මා ආදර දුවේ පුතේ

රන්වැලි සෑ ශ්‍රී මහ බෝ ශ්‍රී දළදා හිමිගේ
පුද ලබමන් වැජඹෙයි යහ මග අපගේ
තිසරණ සරණ ලබමින් පෙරටම අපගේ
ජීවිත ගොඩනගා ගත යුතු වෙයි සුමගේ

දඹදිව් තලයේ සිට ගෙන ආ සෑසි හිමිගේ
මනරම් දහම පිහිටි ලක්වැසි අපගේ
චිරාත් කාලයක් වැජඹෙන ශ්‍රී ලක් මවගේ
බුදුදම පිළිවෙතින් පුද ලක් දූ පුතුගේ


තිළිණය

ළා ගොයමට පොද වැස්සක් විලසින්
මල් පොද වැස්සෙන් පිළිගමු දරුවන්
මොහඳු ඝණඳුර පලවා හරිමින්
දිරිදෙමු පිබිදෙති හෙට ජය ගනිමින්


හෙළ කලාකරුවාණෙනි

බැති බර සිතක අත මත කටු මිටි රඳවා
දුටු මුණි ගුණය ගල් පව්වක මතු කරවා
මතු පරපුරට දැක ගැනුමට සිත අලවා
සතු කර දුනි මෙලක පෙරසිටි සෙල් කරුවා

කරුණා දෙනෙත් යුග ලොව්තුරු සුවය බෙදා
පිරෙනා බැතිය මත නෙතු අඟ කඳුළු මුදා
හැරෙනා දෙනෙත් යුග මොක්පුර ගමන සදා
පුරනා පිළිවෙතට දුන්නා නිවන සදා


සුබාසිරි

ලබාගත් නව පදවි ඇසුරින්
නොබා නොපැකිල කරන සේවය
තවත් ඉදිරියටම කෙරේවා
තබා පියවර වඩිනු මාවත
දෑසමන් මල් සුවඳ දේවා
සුබාසිරි මෙලෙසින් ගෙනෙන්නෙමි
මහිමි යහතින් චිරංජීවා


නික්ම යාම

සතර පෙර නිමිති දැකලා කල කිරිලා
ජන්න සමඟ කන්ථක අසුපිට නැඟලා
මහ බෝසතුන් නේරංජන නදිය බලා
ඇසළ මහේ සඳ එළියේ පිටත් වෙලා

එදා පටන් අපමණ වෙහෙසක් දැරුවා
දස මරසෙන් පරදවා නිති ජය ලැබුවා
සාවුරුද්දකින් සම්බුදු පදවිය ලැබුවා
සසර ගමන වළකන මාවත දෙසුවා


නාහිමි ගුණ සමරමි

වියත් දැනුම ෂඩ්බස පරමේස්වර
මහත් අග්ග පණ්ඩිත උත්තරීතර
දෙඅත් නළලෙ බැඳ දෙදනම පාත් කර
මහත් බැතින් නමදිමි මා හිමි ඥානිස්සර