Print this Article


මේ තරම් සියුමැලිද කළු ගල් ...

මේ තරම් සියුමැලිද කළු ගල් ...

සැදෑ හිරු බැස ගිහින්ය. රැයේ ඇඳුන අඳුර ඉරා සුදු සඳ රැස් ගලා එන නිමේෂයේ මා සිත දැහැන් ගත වනු දැනේ. හමන මද නල සමඟ මුසුව ගිය මගේ සිතිවිලි කලාවැව ඉස්මත්තේ ගල් පවුර මත පතිත විය. මා අබියස ඇත්තේ අසිරිමත් බුදුරුවකි. ඒ අවුකන සම්බුදු පිළිරුවයි.

මගේ දෙසවන් ඇදී ගියේ ගුවන් විදුලියෙන් විකාශනය වූ ගී පැදි පෙළකට ය. ඒ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ මධුර මනෝහර හඬිනි. ගී පදවැල් රජී වසන්ත වෙල්ගම ද, සංගීතය දර්ශන රුවන් දිසානායක ද සපයා ඇත. මේ කලාකරුවන් තිදෙනාගේ තුලාබර මෙහෙය නිසාම සෙල් කරුගේ විශිෂ්ටත්වයට ද ගීතයෙන් සාධාරණයක් ඉෂ්ඨ වී ඇතැයි සිතේ.

ගොරහැඩි කළු ගලින් නෙලූ කුළුණුබර බුදුරුවට දෙනෙත් දුන් කලාකරුවාගේ මෙහෙය අපමණය. ඔහුගේ කය කවදා කොතැක හෝ වැලි අතර වැළලී ගිය ද නාමය අමරණීය වන්නේය. ඔහුගේ නාමය සඳහන්ව නැතත් ප්‍රතිභා පූර්ණ ප්‍රතිමාව ලොවක් පුදුම කරවයි. ඒ නිසාම නිර්මාණ කරුවා කවුරුන්දැ’යි ගී පද රචකයා ඔහු සොයා යයි.

මේ තරම් සියුමැලිද කළු ගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

සැබවින්ම ඔහු සරලය. අව්‍යාජය. කලාවැව සමීපයේ ඉලුක් ගස් සෙවණෙහි මැටියෙන් තැනු පැල්පත ඔහුගේ නිවහනයි. එහි පැදුරක් මත වාඩිවී විඩාව නිවනා ඔහු රිදුම් දෙන දෑත් දෙපා පිරි මදියි. මිටියත් , කටුවත් සමඟ ගැටී මතුවූ කරගැට ඇතැම්විට ඔහුට වේදනා දෙන්නට ඇත. අපමණ දුක්ඛ දෝමනස්සයන් හමුවේ දිවි ගෙවනා ඔහු අනියත බවේ පාඩම මෙනෙහි කරන්නා සේ මැරෙන ඉපදෙන රළෙහි යථාව උපේක්ෂාවෙන් විඳ ගනියි. කලාකරුවාගේ ශෝචනීය බව රසික හදවත වැළඳගන්නා ලෙස සංගීතය සපයන දර්ශන රුවන් දිසානායකයන්ගේ කැපවීම අගැයිය යුතුය.

කලා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

අවුකන පිළිරුව තනා නිම කරන කලාකරුවා නැවත පිය මනින්නේ ඉසුරුමුණිය වෙතය. එහි තනන සුන්දරිය සැබැවින්ම සුන්දරය. ඇය කොහේදැ’යි පද රචකයා ඇසූ විට ඔහු තාම තනිකඩ බව පවසමින් සිනාසෙයි. ඇතැම් විට ඉසුරුමුණියේ තනන පෙම්වතිය ඔහුගේ හද ඇඳි සිතුවමක් විය හැකිය. බුදු දහමට අනුව පුහුදුන් මිනිසාගේ තැන තැන දුව පැන ඇවිදින සිත මෙබඳුය.

ඉසුරුමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා

බුදු පිළිම නෙළන්නටත්, බොදු ගී ගයන්නටත්, ගී පැදි ලියන්නටත් කලාකරුවෝ පෝෂණය වූයේ බුදු දහමෙහි ආභාෂයෙනි. තෙරුවන් ගුණ හදවතින් විඳිනා ඔහු ජීවිතයේ අනිත්‍ය පසක් කර ගනී. පාඨකයාට ද පසක් කර වන්නට උත්සාහ කරවයි.