Print this Article


බුදුපිළිමයේ උපත - 72:  ආයු සංස්කාරය අත්හැරීම

බුදුපිළිමයේ උපත - 72: 

ආයු සංස්කාරය අත්හැරීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

"“ආනන්දය තමා පිහිට කොට තමා, පිළිසරණ කොට අනුන් පිහිට නොකොට අනුන් සරණ නොකොට දහම් පිහිට කොට වාසය කරව්"

බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිබ්බාන යට (පිරිනිවන්පෑමට) පෙර වදාළ කරුණු රාශියක් ලේඛන ගතවී පවතී. එවන් ප්‍රකාශයක් මෙසේය.

“ආනන්දය තමා පිහිට කොට තමා පිළිසරණ කොට අනුන් පිහිට නොකොට අනුන් සරණ නොකොට දහම් පිහිට කොට වාසය කරව් (මහා පරිනිබ්බාන සුත්ත පි. 156-158)

මෙම දේශනයෙන් අසිරිමත් බුද්ධ චරිතය පිළිබඳ විශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කරගත හැකිවේ. පළමුවැන්න නම් තථාගතයන් වහන්සේ වෙත කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් කෙරෙහි නායකත්වය තබා ගැනීමේ අපේක්ෂාවක් හෝ අන්‍යෝන්‍යයෝ මා ම උදෙසත්වා යන බලාපොරොත්තුවක් හෝ නොතිබීමයි. කිසිවක් කිසි අයුරකින් නොසඟවා සම සිතින්, සම මෙතින් විවෘත ද්වාරව ධර්මය දේශනා කිරීම දෙවැන්නයි. පුද්ගලික අපේක්ෂා සපුරා ගැනීමට බමුණු ගුරු කුලවල එවකට පැවති ගුරුමුෂ්ටි ක්‍රමයක් බුදු දහමෙහි නොවීම තෙවැනි කරුණයි. අතීත හේතුන් ප්‍රභව කොට ඇති බුද්ධ ශරීරය පවා ජරා, ව්‍යාධි ස්වභාවයන් නොඉක්ම වූ බව දැක්වීම ඊළඟ කරුණයි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ නොකළ දේ පිළිබඳ අදහස් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කරුණු දැක්වූහ.

කෝසම්බි නුවර අසල ඇට්ටේරිය වන ලැහැබක විසූ තථාගතයන් වහන්සේ දිනක් ඇට්ටේරිය කොළ ටිකක් අතින් ගෙන මහණෙනි, මාගේ මේ අතින් ගත් ඇට්ටේරිය කොළ හෝ ගස්වල ඇති ඇට්ටේරිය කොළ හෝ වැඩි ද කියා භික්ෂූන් වහන්සේගෙන් විමසූහ. ස්වාමීනි, ගස්වල ඇති ඇට්ටේරිය කොළම වැඩියැයි භික්ෂූන් වහන්සේ උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, එමෙන් මා විසින් දැන නො නොදෙසූ දහම් බොහෝය. දෙසූ දහම් අත ඇති ඇට්ටේරිය කොළ මෙන් ටිකය. මහණෙනි, නොදෙසන ලද්දේ කුමක් නිසාද? මහණෙනි, එය වැඩදායක නොවෙයි. මඟ බඹසරට මුල් නොවෙයි. කලකිරීම – විරාගය නිරෝධය, උපසමය, අභිඥාව සම්බෝධිය නිබ්බානය සඳහා හේතුවෙයි. එබැවින් දේශනා කරන ලදී. (සංයුත්ත නිකාය පි. 5)

ආයු සංස්කාරය අත්හැරීම

ධර්මය වශයෙන් කිසිවක් නොසඟවා ලොවට දේශනා කළ තථාගතයන් වහන්සේ එය තම තමන් විසින්ම ප්‍රායෝගිකව ප්‍රයෝජන ලැබිය යුත්තක් බව ශ්‍රාවකයන්ට නිතරම පෙන්වා දුන්හ. බේලුව ගමෙහි අන්තිම වැසි සමය ගත කළ භාග්‍යවතුන් වහන්සේ දිනක් විසාලාවෙහි පිණ්ඩපාතයෙහි යෙදී “ආනන්දය, දිවා විහරණය සඳහා චාපාල චේතිය වෙත යමුයි දැන්වූහ. භික්ෂූන් පිරිවරා ගෙන එහි වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ මෙවැනි දේශනාවක් කළහ.

ආනන්දය, විසාලාව රමණියයි. උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්භ චේතිය, බහුපුත්තක චේතිය, සාරාන්දද චේතිය, චාපාල චේතිය රමණීයයි. මැනවින් ඉද්ධිපාද වැඩූ තැනැත්තහු විසින් කැමැතිනම් කල්පයක් හෝ එයට වැඩියක් කල් ජීවත් විය හැකි බව වදාළ සේක. (සංයුත්ත නිපාතය 5 ඉද්ධිපාද සංයුත්තය චාපාලවග්ග– වෙතිය සුත්ත පි. 10-17 , දීඝනිකාය 2 මහා පරිනිබ්බාන සුත්ත – පි. 160)

මෙය එක්වරක් නොව තෙවරක්ම නැවත නැවත ඒ අවස්ථාවේහිදි වදාළහ. එපමණක් නොව තමන් වහන්සේ අසූවස් බවත්, ජරා දුර්වල බවත්, පිළියමින් නඩත්තු කරන කරත්තයක් මෙන් ශරීරය දුබල බවත්, පලසමවත් සුවයෙන් වේදනාව යටපත් කොට පහසු විහරණය ලැබිය හැකි බවත් බේලුව ගමෙහි දී අනඳ තෙරුන් සමඟ භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ඊට ස්වල්ප දිනකට පෙරාතුවය. එබඳු ප්‍රකාශයක් කර තිබියදීත් චාපාල චෛත්‍ය ස්ථානයට පැමණි තථාගතයන් වහන්සේ මේ කරුණු එළිදරව් කිරීම නිමිති පහළ කිරීම අනඳ තෙරුන් ගේ අවධානයට ලක් නොවීය. කිසි අයුරකින් එය තේරුම් ගැනීමට අසමත් විය. තථාගතයන් වහන්සේගේ සෑම ඉරියව්වක් ගැනම හැම වචනයක් ගැනම දැඩි සුපරීක්ෂාකාරි වන අග්‍ර උපස්ථායක අනඳ තෙරුන් වහන්සේගේ අවධානය මාරාවේශයකින් මිස ප්‍රකෘති සිහියෙන් නොසිදු වූවක් ලෙස සූත්‍ර ධර්මයන්හිලා සඳහන් වේ. එළිදැක්වු කරුණුවල අර්ථය තේරුම් නොගත් බැවින් “ස්වාමීනි, බහුජනතාවට හිත සුව පිණිස තව කලක් ජීවත්වන සේක්වායි කියා භාග්‍යවතුන් වහන්සේ ට ආයාචනය කිරීම හෝ උන්වහන්සේගේ ප්‍රකාශයෙහි අරුත් විමසීමට භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් එතැනින් නික්ම ගිය නොබෝ වේලාවකින් අවසරදී එහිම වැඩහිඳ ආයුසංස්කාරය අත් හල සේක. එනම් මෙයින් තුන් මසක් ගතවීමෙන් තථාගතයන් වහන්සේගේ පරිනිවාර්ණය සිදුවෙතැයි තිරණය කළ සේක. චාපාල චේතිය ස්ථානයෙහි සිදුවු පන්සාළිස් වස් සපිරි බුද්ධ චරිතය හා සම්බන්ධ පරිනිර්වාන තීරණය සුත්‍ර පිටකයෙහි අවස්ථා කීපයකම සඳහන්ව තිබේ.

(දීඝ නිකාය – මහා පරිනිබ්බාන සුත්ත පි. 162-169 සංයුත්ත නිකාය – ඉද්ධිපාද සංයුත්තය චාපාල වග්ග –චේතිය සුත්ත පි. 10-17 උදාන – ජච්මන්ධ වග්ග – ආයු සංඛාර වොස්සජන සුත්ත පි. 250-254) බුදුන් වදාළ බුද්ධ චරිතය පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ සහ කීර්ති නාරම්පනාව පි. 213-214 (1999)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 71: බුදුරජාණන් වහන්සේ බේළුව ගමේ වස් විසීම