Print this Article


ලොව සැබෑම වාසනාවන්තයා

ලොව සැබෑම වාසනාවන්තයා

" ජරා, මරණ දුකින් ගැලවී යා හැකි වෙනත් ලෝකයක්ද නොමැත. සසර ගමන නවතාලීමට හැකි කිසිදු යන්ත්‍රයක් බිහිවී නොමැත. නමුදු මිනිස් සිතෙහි පිරිහීම නවතාලන ජරා, මරණ, දුකින් ගැලවිය හැකි සසර ගමනින් අතමිදීමට මඟ කියාදෙන දහම අසන්නට අපට වාසනාව තිබේ. පෘථග්ජන ලෝකයේ දියුණුවත් තථාගත ශ්‍රී සද්ධර්මය මුණ ගැසීම නිසා අප ලද වාසනාවත් කිසි දිනක සැසඳිය හැකි දෙයක් නොවේ. කෑමට යමක් නැතත්, අඳින්නට වටිනා වස්ත්‍ර නැතත්, අහස් කුසට විහිදුන මන්දිර නැතත්, කෝටි ගණන් මිල මුදල් නැතත් ඔබට ද ලොව සැබෑම වාසනාවන්තයෙක් වීමේ වාසනාව හිමි ව තිබේ."

චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට ඇසෙන්නේ බුදු සසුනක දී පමණි. බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් පමණි. ඉතා දුර්ලභ වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය, යම් කෙනෙකුට අසන්නට ලැබේ නම් ඔවුන් සැබැවින් ම මනුලොව වාසනාවන්තයෝ ය. යම්කිසි කෙනෙක් ඒ ධර්මයේ හැසිරෙන්නට අවස්ථාව ලද්දෝ නම් ඔවුහු මහා භාග්‍යවන්තයෝම ය. මන්දයත් මිනිස් ලොව ලැබිය හැකි වටිනාම සම්පත ඔවුහු ලද බැවිනි.

කල්ප ගණනකින්වත් කිව නොහැකි වූ මේ දීර්ඝ සසර ගමනේ දී අප නොකළ දේ නම්, ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නො කිරීම මය. විටෙක ඔබ සක්විති රජෙකු ලෙසින් මුළු ලෝකයම පාලනය කරන්නටත් ඇති. විටෙක කසල ශෝධකයෙකු ලෙසින් කුණු කාණු අදින්නටත් ඇති. රජ සිටුවරුන් සේ මහා දන් දෙන්නටත් ඇති. එසේම එම ජනපදවල සිඟමන් යදින්නටද ඇති .එසේ කෙතරම් සැප වින්දත්, කෙතරම් දුක් වින්්දත් චතුරාර්ය සත්‍යාවබෝධය නොකිරීම නිසා අපට මේ සසර ගමනේ නැවත නැවත ඉපදීමට සිදුව ඇත.

නිරයේ ඉපදුනේ නම් සසර ගමනේ අත්විඳිය හැකි භයානකම ඉරණමට මුහුණදීමට සිදුවේ. බඩගින්න, පිපාසය, සංසිඳුවා ගැනීමට ලැබෙනුයේ ගිනි ගුලි සහ ලෝදිය විනා ප්‍රණීත ආහාර නොවේ. කරන ලද පාප කර්මයන් වෙනුවෙන් ඔවුනට විඳවීමට ඇති දුක් විපාක සුළුපටු නොවේ.

තිරිසන් ලෝකයද මෙලෙසින් ම දුක්ඛිතය. භයංකරය. බොහෝ සත්ත්වයන් සිටින්නේ එකිනෙකාගේ ගොදුරු ලෙසිනි. නිරන්තරයෙන් භයෙන්, තැති ගැනීමෙන් කල්ගෙවති. බොහෝ සත්ත්වයෝ කුසගින්නේ කල් ගෙවති. පේ‍්‍රත ලොව ද දුක් ගොඩකි. ඔවුන්ගේ ආහාරයට සෙම පිඬක් සොයා ගැනීම පවා අතිශයින් ම දුර්ලභ ය. ඒ තිරිසන් ලෝකයෙනුත්, පේ‍්‍රත ලෝකයෙනුත් අත්මිදී මිනිසත් බව ලබන්නට ඔබට මහත් වූ වාසනාවක් තිබිය යුතු ම ය.

එහෙත් මිනිස් ලොව දුකය. සමහරුන් උපතින්ම අන්ධය, බිහිරිය, කොරය. ඇතැමෙකුට දෙපා නැත, අත් නැත. අංග විකලය. මේ අතර මන්ද බුද්ධිකයෝද, නොයෙකුත් විෂමාකාර රෝගීහුද වෙති. මිනිස් ලොව ඉපැදුන ද ඔවුහු ඔබ ලද වාසනාවට හිමිකරුවන් නොවෙති. වර්තමානයේ පවා ඇතැම් රටවල මිනිස්සු දිනකට එක් ආහාර වේලක් පවා සොයාගත නොහැකිව අනන්ත දුක් විඳිති. බොහෝ දෙනෙක් කුසගින්නේ මිය යති. ඇතැමුන් දින ගණන් අසනීපව බොහෝ දුක් විඳ මිය යති. සමහරු ගංවතුර, නාය යෑම්වලට, යුද්ධවලට හසුව මිය යති. සසරේ රැස්කළ පින්වල මහිමයෙන් ඒ අවාසනාවන්ත ස්වභාවයෙන් ඔබ මෙතෙක් ගැලවී තිබේ.

එසේනම් දැන් තමන් ගැන යමක් සිතිය යුතුව ඇත. සසර ගමනේ බොහෝ දෙනෙකුට නො ලැබෙන මාහැඟි අවස්ථාවක් ඔබ ලබාගෙන ඇති බවයි. එහෙත් මෙම අවස්ථාව තවත් හෝරා කිහිපයකින් හෝ දින කිහිපයකින් හෝ වසර කිහිපයකින් හෝ අපට අහිමි වී යනවා නොවේද? එලෙසින් මිනිස් ලොව ජීවත්වීමේ වාසනාව අවසන් වනවිට යළිත් එම වාසනාව ලබන අය බොහෝ අල්පය. අතිශයින්ම විරලය.

ලක්දිව උපන් අපට සතුටුවිය හැකි බොහෝ කාරණා තිබේ. එනම්, ගෞතම බුදු සසුන බොහෝ කලක් සුරැකෙන්නේ ලක්දිව බවත්, එය සුරැකිය යුතු බවටත් අප සම්බුුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුන් පිරිනිවන් මඤ්චකයේ දී වදාළ සේක. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බෝධියට පත්වන්නට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ජීවමාන ශාඛා රත්නයද, ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් ස්වර්ණමාලි මහා සෑ රජුන්ද, ශී‍්‍රමත් ලලාට ධාතුන් වහන්සේද. දකුණු අකු ධාතුන් වහන්සේද, වාම දළදා වහන්සේ ද, දකුණු දළදා වහන්සේද, කේෂ ධාතුන් වහන්සේද ඇතුළු බොහෝමයක් උතුම් ධාතුන් වහන්සේගේ ජීවමාන ආශිර්වාදය ලබන්නට අප පෙර පින් කර තිබේ.

මෙකී සියලු කාරණා මගින් කියවෙන්නේ අප ලබා ඇති මිනිස් දිවියේ වටිනාකම නොවේද? ඒ මිනිස් දිවිය අර්ථවත් කර ගන්නට දැන් අපට ගෞතම බුදු සසුන මුණ ගැසී තිබේ. වත්මන් ලොව කෝටි හයසියයකට අධික මිනිසුන් ජීවත් වුවද එයින් බුදු සසුනක සුවය ලබන්නට වාසනාව ලබන්නේ ඉතාම සුළු පිරිසකි. දිර්ඝ සසර ගමනේදී ධර්මය අවබෝධ කළහැකි මෙම අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් ම කුඩා කාලයකි. එම උතුම් අවස්ථාව ‘ක්ෂණ සම්පත්තිය’ ලෙසින් බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. බුද්ධිමත් මිනිසෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අසන්නට ලැබෙද්දී ඔහු ඒ කෙරෙහි පහදීනම් ‘මටත් මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන්’ යැයි සිතා ඔහු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණෙයි නම්, ඒ තැනැත්තාට පරම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ලද හැකි වේ.

මිනිසත් භාවය ලැබූ තැනැත්තා එහි වටිනාකම හඳුනාගත හැක්කේ ශ්‍රී සද්ධර්මය තුළින් පමණි. ජීවිතය ගැන ඉතා නිවැරැදි දැනීමක් ලබා ගැනීමට නම් පිරිසුදු බුද්ධ දේශනාවන්ට සවන් දිය යුතුය. ක්ෂණ සම්පත්තිය ලැබීම ගැනත්, ක්ෂණ සම්පත්තිය අහිමි වීම ගැනත්, ශ්‍රී සද්ධර්මය තුළ ඉතා පැහැදිලිව දක්වා ඇත.

වර්තමාන ලෝකය ඉතාමත් ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවැතියද මිනිස් සිත ශීඝ්‍රයෙන් පිරීහීම කරා යයි.එම පිරිහීම නවතා ලන්නට අද ලොව බිහිවන කිසිදු උපකරණයකට හැකියාව නොමැත. ජරා, මරණ දුකින් ගැලවීමට යා හැකි වෙනත් ලෝකයක්ද නොමැත. සසර ගමන නවතාලීමට හැකි කිසිදු යන්ත්‍රයක් බිහිවී නොමැත. නමුදු මිනිස් සිතෙහි පිරිහීම නවතාලන ජරා, මරණ, දුකින් ගැලවිය හැකි සසර ගමනින් අතමිදීමට මඟ කියාදෙන දහම අසන්නට අපට වාසනාව තිබේ. පෘථග්ජන ලෝකයේ දියුණුවත් තථාගත ශ්‍රී සද්ධර්මය මුණ ගැසීම නිසා අප ලද වාසනාවත් කිසි දිනක සැසඳිය හැකි දෙයක් නොවේ. කෑමට යමක් නැතත්, අඳින්නට වටිනා වස්ත්‍ර නැතත්, අහස් කුසට විහිදුන මන්දිර නැතත්, කෝටි ගණන් මිල මුදල් නැතත් ඔබට ද ලොව සැබෑම වාසනාවන්තයෙක් වීමේ වාසනාව හිමි ව තිබේ.

එනිසා දැන් ඔබ ක්ෂණ සම්පත්තිය කුමක්දැයි නිවැරැදිව තේරුම් ගත යුතුය. ඔබ ජීවිතය තේරුම් ගැනීමට හැකියාව තිබෙන බුද්ධිමත් මිනිසෙකු නම් එකම සුදුසුකමක් දැන් ඔබ තුළ සම්පූර්ණ වී ඇත. සසරින් එතෙර කරවන චතුරාර්ය සත්‍ය ධර්මය ඉතා පිරිසුදු ලෙස ශ්‍රවණය කරන්නට ලැබේනම්, ඉගෙනීමට ලැබේනම් පරම දුර්ලභ වූ ධර්මය ඔබට මුණ ගැසී ඇත.

ඒ තුළින් තෙරුවන් කෙරෙහි අවංක ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවක් ඔබේ හදවතේ පැන නගී නම් ඔබ ඉතා ම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ලබාගත් කෙනෙක් බවට පත්වන්නේය.