Print this Article


නන්නාඳුනන අමුත්තෝ 

නන්නාඳුනන අමුත්තෝ 

මා උසස් අධ්‍යාපනය ලැබුවේ කේම්බ්‍රිජ් සරසවියේ, බොහෝ ධනවතුන් එහි සිටියා. කෝටිපතියන් , සිටුවරුන්, ආදිපාදවරුන්, වංශක්කාරයන් ආදි ධන කුවේරයන් සිටියා. ඔවුන්ගේ චර්යාවන් ගැන දුටුවා. ඇතැම් විට ඇසුවා. කලක් මා තායිලන්තයේ උතුරේ පිහිටි ඉතාම දිළිඳු ජනයා වෙසෙන පෙදෙස්වල සැරි සැරුවා. දුප්පත්කම ඉහවහ ගිහින් තිබුණු ඒ ප්‍රදේශවල පාරතොට මඩ කඩිතිවලින් පිරී තිබුණා. කේම්බ්‍රිජ් සරසවියෙන්, මේ දිළිඳු ගම්මානවලින් අපූර්ව වෙනසක් මා දුටුවා. ධන කුවේරයන් අතරින් නොදුටු දෙයක් ඒ දිළිඳු ජනයාගෙන් මා අත්වින්ඳා. තායිලන්තයේ එවකට දිළින්ඳන් බහුල ප්‍රදේශවලදීත්, ඉන්දුනීසියන් බාලි දූපත්වල දිළින්දන් බහුල ප්‍රදේශවලදීත් මා මේ හා සමාන අත්දැකීම් වින්දා.

බොහෝ සවස් කාලයන්හි උතුරු තායිලන්තයේ මා විසු සෙනසුන අවට තිබු දිළින්ඳන් වෙසෙන ගම්වල සැරිසැරුවා. හැම ගෙදරක්ම දිළිඳු පැල්පත්, ලී කොටන් මත්තෙන් තනා තිබූ පිදුරු සෙවිළි කළ ඒ පැල්පත්වල යට තට්ටුවල ගැමියන්ගේ මී හරකුන් ලැඟ සිටියා. මේ දිළිඳු පැල්පත්වල උඩ තට්ටුවේ විශාල සඳලු තලයක් බැගින් තිබුණා. ඒ දෙපස කුඩා කාමර කිහිපයක්. ඒ ගෙවල්වල පොඩි දරුවන් සතුටෙන්, සිනහවෙන්, සිටියා. කෙළි සෙල්ලම් කළා. උණ බම්බුවලින් සාදා පිදුරු සෙවිළි කළ වහලයෙන් යුතු මේ පැල්පත්වල ජනයා සෙනෙහසින් බැඳී සාමයෙන්, සතුටෙන් ජීවත් වුණා.

මේ වගේ තවත් සිදුවීමක් මතකයට නැඟෙනවා. මා ඊසාන දිග තායිලන්තයේ දුර බැහැර වන සෙනසුනක වාසය කරන කාලයේ නුුදුරු ගමක පැවැත්වුණු උත්සවයක් දැක ගන්නට තවත් භික්ෂුවක සමඟ එහි ගියා. ඒ ගමේ විදුලිය නැහැ. අප ගෙයක්, ගෙයක් පසු කරමින් ඇවිද යන අතරේ මේ දිළිඳු පැල්පත්වල සඳලුතලවල දුටුවේ අපූර්ව දර්ශනයක්. මේ තායි පැල්පත් කොටන් උඩ තැනූ කාමර කිහිපයකින් යුතු ශාලාවන්. සෑම පැල්පතකම පොල්තෙල් පහනින් එළිය වුණු සඳලුතලයේ පොඩි දරුවන්, වැඩිහිටියන් වාඩි වී සිටියා.

අත්තම්මලා, සීයලා, මුනුපුරු, මිනිපිරියන්, අම්මලා, තාත්තලා සමහර විට මී මුත්තලා, නැන්දලා, මාමලා අර්ධ කවයක හැඩයට බිම වාඩිවී සිටියා. එකිනෙකා කතා බහ කරමින්, පරණ විහිළු කතා කියමින් ඇති තරම් සිනාසුණා. සතුටෙන් සිටියා. විශේෂත්වය කුමක්ද? සෑම අවුරුද්දකම, සෑම දවසකම ගණන් කරන්නට බැරි අවුරුදු ගණනාවක් තිස්සේ ඒ විදියෙන්ම සිදුවුණා. පවුලේ ඇත්තන් රෑ බෝ වන විට එක තැනකට එක්කාසු වී කතා බහ කරමින් සිටියා.

මේ විදියට දුප්පත්කම ඉහවහා ගොස් තිබුණත් සතුටෙන් ඔකඳ වෙමින් තිබුණු මේ පැල්පත් පසුකර යන විට මගේ ළමා කාලය මොනතරම් දිළිඳුදැයි මට සිතුණා. ඒ දවස්වල අපටද රූපවාහිනී යන්ත්‍රයක් තිබුණා. ඒ කාලේ ලන්ඩන්වල රූපවාහිනී නාලිකා දෙකක් පමණයි තිබුණේ. මේ නාලිකා දෙකෙන් බලන්නේ මොන නාලිකාවද කියා ඒ දිනවල අපේ ගෙදරත් අඬ දබර ඇති වුනා. මේ කාලයේ නාලිකා කොයි තරම් ප්‍රමාණයක් තිබෙනවාද? කෙලෙස කටයුතු කරනවාදැයි මට නම් හිතා ගන්නවත් බැහැ. මේ වගෙ විවිධ ප්‍රශ්න නිසා එක ගෙදරක සිටියත් නන්නාඳුනන අමුත්තෝ වගේ ජීවත්වෙනවා. පවුලක අම්මා, තාත්තා දූ දරුවෝ, ආච්චිලා ,සියලු දෙනා අතරේ මොන තරම් බැඳීමක් ගොඩනඟා ගන්න පුළුවන්ද? ඒ සහයෝගය, සාමය ජීවිතවලට මොන තරම් සතුටක් ගෙන දෙනවාද? ජීවි බවක්, අර්ථවත් බවක් ගෙන දෙනවාද? සිතන්න.