UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමෙන් ලොව දිනමු

බොදු පුබුදුව

තිස්ස තිස්ස මේ අහන්න
අකුසල් කම් දුරැරලන්න
දුනු ඊතල බිම දමන්න
ඒ මුවාට යන්න දෙන්න

රැස් දහරින් පොසොන් සඳේ
සිරිලක් මෑණිය සැනසේ
මිහිඳු සමිඳු දෙසූ දහමේ
ගුණ සුවඳයි මතු වන්නේ

අරිට්ඨ අනුලා යන දෙදෙනා
පැවිදි බිමට ඇතුළත් වූවා
දඹදිව සිට තෙර සඟමිත්තා
සිරිමහ බෝධිය වැඩමෙව්වා


අපේ පන්සල

රුක්ගොමු, මල්ගොමු තුරුලතාවලින්, පැන් පිරුණු පොකුණුවලින් යුතු, සන්සුන් පරිසරයකින් සැදුම්ලත් අපේ පින් කෙත වූයේ තෙල්ලඹුර ශී‍්‍ර ඛෙත්තාරාම පුරාණ මහා විහාරයයි. වසර දෙසියකට වඩා ඉපැරණි ඛෙත්තාරාම විහාරය අලංකාර කඳු මුදුනක පිහිටා ඇත. ඉදිරි පසින් කෙත් යායක් ද වේ. මෙනිසා අපේ පන්සල “ඛෙත්තාරාම” යන නාමයෙන් හැඳින්වේ.

ඉපැරණි විහාරස්ථානයක් වන “ඛෙත්තාරාම” පින් බිම තුළ සාධු ජනයාගේ මන වඩන ත්‍රිවිධ චෛත්‍යය වැඩ හිඳිති. මෙයට අමතරව ධර්ම ශාලා මන්දිරය, දේව මන්දිරය, ආවාස මන්දිරය, ගිනිහල් ගෙය, දාන ශාලාව, වච්ච කුටි, ඝන්ඨාර කුලුණ, මලසුන්ගෙය, ආදිය වේ.

අපේ විහාරස්ථානයේ අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, තෙල්ලඹුරේ ශ්‍රී අරියවංස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, කොක්මාදුවේ ශී‍්‍ර සරණපාල යන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලා විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස අප්‍රමාණ කැප කිරීමක් කළහ. වත්මන් විහාරාධිපති අතිපූජ්‍ය ලේල්වල ඉන්ද්‍රජෝති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විහාර අභිවෘද්ධිය සඳහා විශාල කැප කිරීමක් කරති. විහාර ආරාම දියුණු කිරීම, ශී‍්‍ර සීලානන්ද දහම් පාසල පවත්වා ගෙන යාම, දුරුතු පූජෝත්සවය කමිටුව මඟින් වාර්ෂික දුරුතු මහා පෙරහර සිදුකිරීම, සතර පේරුවේ දායක කාරකාදින්ගේ කුදුමහත් කටයුතු ඉටුකර දීම පන්සලෙන් සිදුවන සේවාවන්ගෙන් ස්වල්පයකි.

විහාරස්ථානයේ වැඩ සිටින නේවාසික භික්ෂූන් වහන්සේලාවන, පරිවේනාධිපති ශාස්ත්‍රපති පලල්ලේ සරණජෝති හිමි, විදුහල්පති ශාස්ත්‍රපති හම්මෑලියේ මහින්ද හිමි, මතුගම ඉසුරුජෝති හිමි යන හිමිවරුන්ගේ සේවය මිල කළ නොහැකිය.

මෙම පන්සල තවදුරටත් ඉදිරියට ගෙන යාමට විහාරාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය, ධෛර්යය ,වාසනාව ලැබේවා’යි ප්‍රාර්ථනා කරමි.


කම්මල්කරුවාගේ වත

උදයම පිබිදී කම්හලට වී ගිනි දලු මැද ඔහු යකඩ තලයි. ඒ හඬ තමන්ගේම දෙසවනින් කෙසේ විඳදරා ගන්නද? යකඩ තැලෙන හඬින් අපේ ගත කිළි පොලා ගියද ඒ හඬ ඔහුට ඉතාමත් ලැදිය. රජවරුන්ට පවා ඔහුගේ සේවය නැතිවම බැරිය. කුඹුර කොටන ගොවියාද ආයුධ තනා ගන්නට ඔහුගේ පිහිට පතයි. ඒත් ඔහුට කිසි ඇගයීමක් නම් නැත. ඔහුගේ කරගැට නැගුණ දෑතින් සෑදෙන සැම දෙයක්ම අපට වටී. එහෙත් කිසිවෙකු ඔහු වර්ණනා කරන්නේ නැත. ඔහුගේ දෑතින් නිමැවෙන දෑ අපට නම් විශ්වකර්මයකි. විරාමයක් ගන්නටද ඔහුට ඉඩක් නැත. ඔහුගේ දහදිය කඳුළුවල වටිනාකම තැලෙන යකඩ තුළ සැඟවී ඇත.


පිළිවෙත් සුරකිමු

පන්සලකට ගිය විට එහි පිළිවෙත් සුරැකීම අපගේ යුතුකමකි. හාමුදුරුවන් වහන්සේ දුටු විට වන්දනා කිරීම, සුදු ඇඳුමින් සැරසී පන්සලට පැමිණීම, පාවහන්, හිස්වැසුම් නොපැළඳගෙන ඒම, පන්සල තුළ හඬ නඟමින් ඝෝෂා නොකිරීම ආදිය පිළිවෙත්ය.

ඒ වගේම අපි පන්සලේදී අනවශ්‍ය කතා නොකළ යුතුයි. මළු පෙත් ඇමදීමට ඇත්නම් ඒවා ඇමදීම, ධර්ම දේශනාවන් ශ්‍රවණය කිිරීම, පුද පූජාවන්ට සහභාගි වීම කළ යුතුය. ඒවා බෞද්ධ දරුවකුගේ ලක්ෂණයන්ය.


පොඩි සාධු

කිරි සුවඳ ගිලිහෙන්න මත්තෙන්
කහ සිවුර බර වැඩිද මන්දා
දුව පනින්නට වෙනද මෙන් බෑ
කසාවත මට බර වෙලා

උදේ ඒ කුරහන් සුවඳමයි
නමුත් දානෙලු බෙදන්නේ
අප්පච්චි කර මතින් යනු බෑ
මුතුකුඩේ ඉහලන නිසා

හතර වරිගයක් නිවන් යවනවලු
සසුනක් පවතින පිනක් නිසා
නොහැකියි ආයෙත් ඔට්ටු දුවන්නට
නිවන ළඟයි මට ඊට වඩා


ළමා ලොවට භාවනා

පුංචි දුවේ පුතේ, අද ලෝකය බොහෝ නවීකරණය වෙලා. ලෝකය පුරා සැරිසරන්න බොහෝම ටික වෙලාවයි යන්නේ. එතරම්ම තාක්ෂණය දියුණුවෙලා. නමුත් ඒ තාක්ෂණ දියුණුව මිනිස් මොළයට දරන්න බැරි තරම් බරක් වෙලා නේද?

ඒ නිසාම අද බොහෝ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ජීවිතයේ විවිධ ප්‍රශ්න වලදී දරා ගැනීමේ ශක්තිය අඩුවෙලා. තැනට සුදුසු නුවණ යොදන්න බැරිවෙලා. වැඩිහිටියෙක් දෙන අවවාදයට ඇහුම්කන් දෙන්න තරම් නම්‍යශීලිබව නැතිවෙලා. රස වින්දය යටපත් වෙලා. මේවා මේ ආකාරයට සිදුවෙන්නේ ඇයි? මේ සියලු දෙයටම එකම හේතුව අප යන මාර්ගය වැරැදි වීමයි. නිවැරැදි මාර්ගයෙන් ඈත් වීමයි.

අද දවසේ බොහෝ නිවෙස්වල සියලුදෙනා එකට එකතුවෙලා බුද්්්ධ වන්දනාව කරන්නේ නැති තරම්. නිවසේ පිරිත් සජ්ඣායනාවක් කරන්න කාලයක් නැතිතරම්. හැමෝටම එක සීරුවට වැඩ. . . වැඩ. . . වැඩ. පුංචි විවේකයක් ලැබුණොත් සියලු දෙනාම සාලය මැද තිබෙන රූපවාහිනිය ළඟ වාඩි වෙලා සිතට රාග, ද්වේශ, මෝහ වැඩෙන අනවශ්‍ය දේ දෙස බලාගෙන සිටිනවා. කෑම ගන්නෙත් රූපපෙට්ටිය දෙස බලාගෙන. එතකොට පවුලේ තිබෙන එකමුතුකම අඩුවෙනවා. එක නිවසේ සිටියත් එකිනෙකා සමඟ කතා කරන්න අද අපට විවේකය නැහැ. දරුවෝ මව්පියන් සමඟ හෝ මව්පියන් දරුවන් සමඟ දවසේ ගෙවීගිය සිදුවීම් කතා කරන්නේ නැහැ. තම තමන්ගේ ජීවිතවල හිරවෙලා.

ඒ නිසා දරුවනේ ඔයාලා සුචරිතවත්, දැයට වැඩදායක දරුවෙකු වීමට හොඳ පුරුදු පුහුණු වෙන්න. අධ්‍යාපනය ලබන ගමන්, මව්පියන්ට වැඩිහිටියන්ට උදව් උපකාර කරන ගමන්, ඔබේ සිතත් සන්සුන් කර ගන්න. යම් ප්‍රශ්නයකදී ඔරොත්තු දෙන, දරා ගැනීමට ශක්තිය ඇති සිතක් හදා ගන්න. ඒ සඳහා ඔබට බුදු දහමෙන් ලැබෙන්නේ විශාල පිටිවහලක්. තමන්ගේ අධ්‍යාත්මික ගුණය වැඩිදියුණු කර ගන්න ඒ සඳහා ඔබ වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන්කර ගන්න. ඔබ අවදි වෙන වෙලාවට වඩා පැය බාගයක් උදෙන් නැගිටින්න. මුහුණ කට සෝදාගෙන විනාඩි 10 – 15 ක් පුංචි භාවනාවක් කරන්න. එහිදී ඔබගේ සිත සන්සුන් වෙනවා. ඉගෙන ගන්නා දේ හොඳින් මතක හිටිනවා. බොහෝ දෙවියන්ට, මිනිසුන්ට ඔබ පි‍්‍රය වෙනවා.අපගේ උතුම් කල්‍යාණ මිත්‍රයා වූ බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව අද අපි මෙසේ පුරුදු වෙමු.

මම වෛර නැත්තෙක් වෙම්මා, තරහා නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත්වෙම්වා.

මා මෙන්ම, මේ ගමේ සිටින සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා (ඉහත ආකාරයට)

මේ නගරයේ සිටින සියලු සත්වයෝ. . . ., මේ පළාතේ සිටින සියලු සත්ත්වයෝ . . ., මේ රටේ සිටින සියලු සත්ත්වයෝ . . .

මේ ලෝකයේ සිටින්නා වූ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක්පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා.

ආදී ලෙස සියලු ලෝක සත්වයාට ඔබගේ මෙත් සිත පතුරුවා හරින්න. එය ඔබගේ කායික මෙන්ම මානසික දුක් පීඩා දුරු කිරීමට මහඟු ඖෂධයක් වනු ඇත.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]