UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පොතානේ ධම්මානන්ද නා හිමි

අනුරාධපුර නැගෙනහිර නුවර ගම් පළාතේ කනදරා කෝරළේ එලිමැද තුලානේ පොතාන නම් වූ ගම් පියසේදී 1943 ජූලි මස 13 වෙනි දින උපතලද ගුණපාල කුමාරසිංහ කුමරුවාගේ පියා කුමාරසිංහ සුද්දහාමි මහතාය. මව නංහාමි මහත්මියයි. පවුලේ දරුවන් දහදෙනෙකුගෙන් තුන්වැනියා වූ ගුණපාල කුමරුවා අනුරාධපුර ඉහලගම විද්‍යාලයට ඇතුලත්ව සිව් වැනි පන්තිය දක්වා ඉගෙනුම ලැබීය.

ලාබාල කාලයේදීම පන්සල , මහසඟරුවන ඇසුරට පත් ගුණපාල දරුවා පොතානේ උපනන්ද හිමියන්ගේ මැදිහත් වීමෙන් අනුරාධපුර පූර්වාරාමයට කැඳවාගෙන ආවේ ඔහු සසුන්ගත කිරීමේ එකම අභිප්‍රායෙනි. බණ දහම් ඉගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා ගම්පහ බෙම්මුල්ල බණ්ඩාර වටවල විද්‍යාකර පිරිවෙනට ඇතුළත් විය.

හේන්පිටගෙදර ඥාණානන්ද නාහිමියන් උපාධ්‍යාය කොට හේන්පිටගෙදර පියනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1956 නොවැම්බර් 12 වැනි දින පොතානේ ධම්මානන්ද නමින් සසුන්ගත වූ මේ කුමරුවා බණ්ඩාරවටවල විද්‍යාකර පිරිවෙනේ අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනට ඇතුලත්ව ප්‍රාචීන විභාගය සමත්වූහ.

1964. මැයි 31 වෙනි දින උපසම්පදාව ලැබු පොතානේ ධම්මානන්ද හිමියෝ 1969 ජුනි 12 වැනි දින අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙහි (දැනට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය) ත්‍රිපිටකවේදී උපාධිය හැදෑරීම සඳහා ඇතුළත් වූහ. මේ සමඟම ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේගේ ධර්මාන්තේවාසී බවටද පත් උන්වහන්සේ එතැන් පටන් පස්වසරක් අටුවා, ටීකා සහිත ත්‍රිපිඨක බුද්ධ ධර්මය හැදෑරූහ. 1974 දී උපාධිය ලබාගත් පොතානේ ධම්මානන්ද හිමියෝ 1976.ජුනි 01 වැනි දින අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙහි කථිකාචාර්ය හා විනයපාලක ධුරය දරමින් සාර්ථක අධ්‍යාපන පරිපාලන සේවාවක නිරතවූහ. උන්වහන්සේ විශ්‍රාම යන තුරුම ධර්මපීඨයෙහි එම තනතුරු දරමින් වැඩ විසීම විශේෂත්වයකි.

දැනට වසර 40 කට වැඩි කාලයක් (1975 සිට) අනුරාධපුර පූජනීය පෙදෙසේ පිහිටි පූර්වාරාමයේ වැඩ වාසය කරන පොතානේ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රදේශයට රජරටට සිදුවූ සේවාව අති විශාල වූවකි.

ප්‍රදේශවාසී ජනතාවට උන්වහන්සේ නැතුවම බැරිය. ගැඹුරු කටහඬින් යුත් සුමධුර ධර්ම දේශනාව සිත්ගන්නා සුළුය. උන්වහන්සේ දක්ෂ දේශකයකි. විචිත්‍ර ධර්ම කථිකයෙකි. මධුරභානී පරිත්‍රාණ දේශකයෙකි. උන්වහන්සේ විනයධරය. එබැවින් උන්වහන්සේ ආදර්ශමත් මහ තෙරනමක් ලෙස අපි හඳුනාගනිමු.

වසර 25 ක් පුරා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ (දැනට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය) වැඩ වසමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දහස් ගණනකට ධර්ම ඤාණය ලබා දෙමින් ධර්මධර, විනයධර, බුද්ධිමත් සඟ පරපුරක් බිහිකිරීමට සිදු කළ ශාසනික මෙහෙවර සුවිශාලය. එපමණක් නොව උන්වහන්සේ විසින් ඉටුකළ සමාජ මෙහෙවරද අතිමහත්ය.1976 ජුනි 01 දින සිට උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක ධූරයට පත්වූහ. එසේම නිකායේ කාරක සංඝසභික , ජ්‍යෙෂ්ඨ අනු විජ්ජක, උපරිමානු විජ්ජක ධූරයෙන්ද පිදුම් ලැබූහ.

අනුරාධපුර පූර්වාරාම දහම්පාසලේ සමාරම්භයේ පටන්ම එහි ප්‍රධානාචාර්ය ධූරයද දරති. උන්වහන්සේ අනුරාධපුර පුෂ්ප දාන සමිතිය, අනුරාධපුර බෞද්ධ මණ්ඩල, අනුරාධපුර දිසා සිල්මාතා සංගමය, අනුරාධපුර සහනසේවා සංගමය, එළිමැද ඥාති එකමුතුව, ආදී සංවිධානවල අනුශාසකත්වය දරමින් විශාල සේවාවක් සිදු කළහ. එසේම මධ්‍යම නුවරගම් පළාත ශාසනාරක්ෂක බල මණ්ඩලය හා අනුරධපුර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහිද ජාතික භික්ෂු පෙරමුණේ අනුරාධපුර දිසා විධායක සභාවේද සභාපති තනතුරු දරමින් විශාල සේවාවක් සිදු කළහ. ගුවන්විදුලියේ සම්භාවනීය ධර්මදේශකයෙකු වූ උන්වහන්සේ ,ඉන්දියාව, තායිලන්තය, බුරුමය ආදි රටවල ධර්මදූත මෙහෙවරයන් සඳහා වැඩම කොට ඇත. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ යාවජීව සාමාජිකයෙකු වන පොතානේ ධම්මානන්ද නාහිමියෝ සමාජ, ආගමික, ශාසනික කටයුතුවල අත්දැකීම් බහුල පරිනතභාවයක් සහිත නාහිමි නමකි.

දැනට රාමඤ්ඤ මහා නිකායේ උතුරු හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයද හොබවන පොතානේ ධම්මානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 74 වැනි විය සපුරයි. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා.


උතුරු මාගල නන්දසිරි නා හිමි

පොල්පිටිමූකලාන අශෝකාරාමාධිපති බෙන්තර වළල්ලාවිට කෝරළය නැගෙනහිර වැල්ලබඩපත්තුව යන දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හිටපු විදුහල්පති, මුළු දිවයිනටම සාමවිනිසුරු ,ශාස්ත්‍රපති, සද්ධර්මවාගීශ්වරාචාර්ය පණ්ඩිත සිරි අභයතිස්ස වංශද්වජ උතුරුමාගල නන්දසිරි නාහිමිපාණන් වහන්සේ පසුගිය ජූලි 01 වනදා ජන්ම දිනය සැමරූහ.

1944 ජූලි මස 1 වන දින දකුණු සිරිලක ගාලු දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ උතුරුමාගල ග්‍රාමයේ එස්. සරබියෙල් දයානන්ද හා ටී.ඇලිස් නෝනා යන දෙපළට ලැබුණු පින්වත් පුත් කුමරාට එස්. සුමිත් දයානන්ද ලෙස නම් තැබිණි. ශිෂ්‍යත්ව විභාගයෙන් හා ප්‍රවේශ පරීක්ෂණයෙන් සමත්ව ප්‍රථමයෙන් අධ්‍යාපනය ලැබූ උතුරුමාගල රජයේ විදුහලට සමු දී කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විය. තමාගේ මෑණියන් මෙලොව හැර ගියද ඉන් අධෛර්යමත් නොවූ උන්වහන්සේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග විශිෂ්ට ලෙස සමත් විය.

1976 ඔක්තෝම්බර් 22 වන දා හල්ගහවේල්ල අභය ශී‍්‍ර වර්ධනාරාමයේදී එහි විහාරාධිපතිව වැඩ විසූ කරන්දෙණිය පළාතේ ප්‍රධාන සංඝ නායක උතුරුමාගල පඤ්ඤාවංශ නාහිමි, දෙමටගොඩ මල්ලිකාරාමාධිපති හා පොල්පිටිමූකලාන අශෝකාරාමාධිපති ගෞරවාර්හ කරන්දෙණියේ විමලජෝති නාහිමි හා වර්තමාන දෙමටගොඩ මල්ලිකාරාමාධිපති කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක බොරලංකඩ විමලතිස්ස නාහිමිපාණන් වහන්සේ යන නාහිමිගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් වූ සේක.

අනතුරුව 1972 ජුනි මස 23 වනදා බලපිටිය මාදු ගඟේ ස්වේජින් සීමා මාලකයේදී උපසම්පදාව ලැබූහ.

උන්වහන්සේගේ ජය භූමිය ලෙස සැලකිය හැක්කේ පොල්පිටිමූකලාන අශෝකාරාම විහාරස්ථානයයි. උන්වහන්සේ 1976 නොවැම්බර් 11 වනදා අප විහාරස්ථානයට වැඩම කරන්නේ විහාරස්ථානයේ කඨින පුණ්‍යෙීත්සව දිනයේදීය. එම පින්කමෙන් පසුව ගුරු හිමියන් නැවත වැඩම කිරීමෙන් පසු අශෝකාරාමය මුල්කරගෙන සිය ආගමික හා ශාසනික කටයුතු ආරම්භ කිරීමට උන්වහන්සේ කටයුතු කළහ.

අශෝකාරාම විහාරස්ථානයට උන්වහන්සේ වැඩම කොට වසර පණහක් සැපිරීමත් ,පැවිදි දිවියට පත්වී වසර පනහක් සපිරීමත් පසුගිය වසරේදී අති උත්කර්ශවත් අන්දමින් සිදුකරනු ලැබිණි. මෙම කාලය තුළ උන්වහන්සේ විසින් ඉටුකරන ලද ජාතික ,ආගමික, අධ්‍යාපනික, හා විශේෂයෙන්ම ශාසනික සේවය අතිමහත්ය.

කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වු උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත්, බෞද්ධ අධ්‍යාපන ඩිප්ලෝමාව හා අධ්‍යාපන ඩිප්ලෝමාව ආදි අධ්‍යාපනික සුදුසුකම් ලබා ආචාර්යවරයෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු,විදුහල්පතිවරයෙකු, ගුරු උපදේශකවරයෙකු වශයෙන් අධ්‍යාපනික ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කර තිබේ. අශෝකාරාමස්ථ සිරි විමලසිරි දහම් පාසැලේ ප්‍රධානාචාර්යවරයා ලෙස වසර ගණනාවක් සේවය කළ උන්වහන්සේ ගුරුවරු පුහුණූ කිරීමට තම සේවය ලබා දුන් සේක. එමෙන්ම වර්තමාන සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසල්වල අනුශාසකවරයා ලෙසද විශාල සේවයක් කරති. ජාඇල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරනු ලබන අතර කලක් විහාරාධිපති සංගමයේ සභාපති ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කළහ.

රටට, දැයට, සමයට වැඩදායි විශාල ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක්ද උන්වහන්සේ දායාද කර තිබේ. ඒ අතර විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුරු හා විදුහල්පති තනතුරු දරන භික්ෂූන් වහන්සේද වෙති. විශේෂයෙන්ම ලෝක මට්ටමේ ධර්ම ප්‍රචාරක ස්වාමීන් වහන්සේද වෙති. රජයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රවල විවිධ තනතුරු දරන ගිහි ශිෂ්‍ය පිරිස්ද බොහෝය.

විහාරස්ථානය සියලු අංගෝපාංග සහිත දර්ශනීය විහාරස්ථානයක් බවට පත්වීම උන්වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵලයකි.

උන්වහන්සේ සසුන හා පළාතට කළ මෙහෙවර වෙනුවෙන් කරන්දෙණිය පළාතේ අධිකරණ සංඝ නායක පදවිය ස්වකීය නිකාය මගින් පිරිනැමුණු අතර ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් 2002 වසරේදී ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත යන ගෞරව සම්මානය පිරිනැමිණි.

උතුරමාගල නන්දසිරි නාහිමිපාණන් වහන්සේට තුණුරුවන් බෙලෙන් දෙව් රැක වරණින් නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා!

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]