UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ බේළුව ගමේ වස් විසීම

බුදුපිළිමයේ උපත - 71:

බුදුරජාණන් වහන්සේ බේළුව ගමේ වස් විසීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

"වැසි සමය චාරිකාවෙන් වැළකී කිසියම් ස්ථානයක නතරවී සිටීමත්, අවුරුද්දේ ඉතිරි කාලය ගම් නියම්ගම්, ජනපද, නගර, රාජධානිවල චාරිකා කිරීමත් බුද්ධ චරිතයේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ ජීවිතයෙහි පශ්චිම භාගයෙහි ස්වභාවික අයුරින් මහලු බවටද ලෙඩ දුක් ආදියෙන් දුබල බවට ද, පත්වූහ. ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් වෙනසකට, සැලීමට පත් නොවූහ."

පරිනිර්වාණය දක්වාම නොකඩවා පරාර්ථ සේවයෙහි යෙදුනහ. ධ්‍යාන සමාපත්ති සුවයෙන් වේදනා මැඩගෙන ස්මෘතියෙන් සහ ප්‍රඥාවෙන් පිරිනිවන් පෑ මොහොත දක්වා ලෝකාර්ථයට කැපවූ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් කාලය පිළිබඳ තොරතුරු රාශියක් ත්‍රිපිටකයෙහි සඳහන් වන අතර ඒවා රාශියක්, සංග්‍රහාත්මකව මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අන්තර්ගතව ඇත. ඒ තොරතුරු අනුව තථාගතයන් වහන්සේ සිය අවසන් වැසි සමය ගත කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ බේළුව ග්‍රාමයයි. බේළුවගම ලිච්ඡවීන්ගේ ගණතන්ත්‍ර රාජ්‍යය වූ වෛශාලියට නුදුරින් පිහිටියකි. බුදුරජාණන් වහන්සේ බේළුව ගමෙහි වස් විසූ අතර විශාලාවට නුදුරුව හිතමිතුරන් ඇසුරෙහි වස්වසන ලෙස භික්ෂූන්ට අවසර දුන්හ. මේ වස්කාලය තුළ භාග්‍යවතුන් වහන්සේ බරපතල ලෙස ගිලන් වූහ. බුදුරජාණන් වහන්සේට මරණ මාත්‍ර වේදනා ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේ යහපත් සිහියෙන් මනා නුවණින් වේදනා විඳදරා ගනිමින් “මා උපස්ථායක වරුන්ට කතා නොකොට පිරිනිවන් පෑම සුදුසු නැත. එබැවින් වීර්යයෙන් මේ රෝගය මැඩ පවත්වමි”යි. සමාපත්ති බලයෙන් රෝගය මැඩ පවත්වා ජීවිත සංස්කාර අධිෂ්ඨාන කොටගෙන සුවපත් වූහ. සුවය ලබා නොබෝ දිනකින් විහාර සෙවනැල්ලෙහි අසුනක වැඩ සිටියහ. එතැනට පැමිණි උපස්ථායක ආනන්ද තෙර වැඳ පසෙකට වී “ස්වාමිනි” මම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දුටුවෙමි. පැවැත්ම දුටුවෙමි. එහෙම නමුත් ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේගේ අසනීපයෙන් තමන් තුළ ශෝක ඇති වූ බවත් භාග්‍යවතුන් වහන්සේ පශ්චිම අවවාදය වදාරා මිස නැතහොත් පිරිනිවන් නොපාන සේක්යැ යි සිතීමෙන් යන්තම් අස්වැසිල්ලක් ඇතිකර ගත හැකි වූ බවත් කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

ආනන්ද, භික්ෂු සංඝයා දැන් මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මම ධර්මය වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් හෝ කිසිවක් නොසඟවා භික්ෂූන්ට ධර්ම දේශනා කරමි. තථාගත ධර්මයෙහි ගුරු මුෂ්ටි නැත. මම භික්ෂු සංඝයා පාලනය කරමියි කියා හෝ භික්ෂු සංඝයා මා උදෙසා කියා හෝ කාට නමුත් අදහසක් තිබේනම් ඔහු භික්ෂු සංඝයා අරභයා යමක් කියනු ඇත. තථාගතයන් වහන්සේට එබඳු අදහසක් නැත. එනිසා ආනන්ද තථාගතයන් වහන්සේ භික්ෂූන් අරභයා කුමක් දෙසත්ද?

බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට තමන් වහන්සේ පිළිබඳ වදාළා වූ කරුණු ඉතා ප්‍රකටය. බුදුරජාණන් වහන්සේගේ ශරීරය වයෝවෘද්ධ භාවයට පත්වී ඇති අන්දම ආනන්ද තෙරුන්ට මෙසේ වදාළ සේක.

ආනන්ද මා දැන් මහලුයි. ජීර්ණයි. වෘද්ධයි. වයස්ගතයි. මම අසුවිය ඇත්තෙමි. දිරාපත් කරත්තයක් හුණු පතුරුවලින් පිළියම්කොට පවත්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ ශරීරයත් පිළියමින් පවතී. ආනන්දය තථාගතයන් වහන්සේ සියලු අරමුණු නොමෙනෙහි කිරීමෙන් ලෞකික වේදනා නිරෝධයෙන් පලසමවත් ලබා වාසය කරත් නම් එවිට පහසුව ලැබෙයි. ආනන්ද එබැවින් තමා පිහිට කොට තමා පිළිසරණකොට අනුන් පිහිට නොකොට අනුන් පිළිසරණ නොකොට දහම් පිහිටකොට දහම් පිළිසරණ කොට වාසය කරව්.

(මහා පරිනිබ්බාන සූත්‍රය පි. 156 – 158 )


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 70: දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]