UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යුග මෙහෙවරක ගුණ සුවඳ : හඟුරන්කෙත ධීරානන්ද පණ්ඩිත හාමුදුරුවෝ

යුග මෙහෙවරක ගුණ සුවඳ

හඟුරන්කෙත ධීරානන්ද පණ්ඩිත හාමුදුරුවෝ

තමන් වහන්සේ ප්‍රගුණ කළ විෂයය මගින් විද්‍යාර්ථීන්ට දුන් දැනුම මෙන්ම ඉතා දිගු කලක සිට බුදුසරණ පාඨකයාගේ දහම් පිපාසය සන්සිඳවීමට උදාර මෙහෙවරක් කළ සංඝ පීතෘවරයන් වහන්සේ නමකි.

ධර්ම ශාස්ත්‍රීය මෙන්ම ශාසනික යුග මෙහෙවරක නිරතව වැඩ සිටි කීර්තිමත් සංඝපීතෘන් වහන්සේ නමක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් දා (11) අපවත් වී වදාළහ. සුවහසක් විද්‍යාර්ථීන් ඇතුළු පාඨකයන්ගේ නැණ පහන් දැල්වීමට අප්‍රමාණ වෙහෙසක් ගත් මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම බලවත් පාඩුවකි.

නොදත් බොහෝ දේ මෙරට වැඩ සිටින පූජනීය සම්භාවනීය මහ සඟරුවනින් අසා දැනුම්වත්වීම කලක සිට මා ලත් පුරුද්දකි. එසේ අප විමසන ධර්ම විනයධර සංඝපීතෘන් වහන්සේ අතර මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන් වහන්සේද එක් නමක් වූ බව කෘතවේදීව සිහිපත් කළ යුතු වේ.

සතර පෝදාට නිකුත්වන ‘බුදුසරණ’ පුවත්පතට කලක සිට සෑම පසළොස්වක පෝදාකම උන්වහන්සේ ලියූ හරබර ලිපියක් ඇතුළත් විය. අදාළ පොහොය දින ඓතිහාසකත්වය විග්‍රහ කිරීම එම ලිපිමාලාවේ දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණයකි. ඉකුත් ඇසළ පසළොස්වක පෝදා බුදුසරණ 5 වන පිටුවෙහි පළවූයේ ‘සඟ සසුනේ මුලාරම්භයයි. බරණැස ඉසිපතනයයි’ මැයෙනි. ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසන්වරට ලියූ ලිපිය එය විය හැකි ය.

කවර තරාතිරමක කටයුතුවල නිරතවූවා වුවද අප කළ ඇරයුම කිසිවිටෙක පසෙකට නොතබා නියමිත දිනටත් දින කීපයකට පෙර උන්වහන්සේ ලිපිය ලැබෙන්නට සැලස්වූහ. ඒ එවන ලද සෑම ලිපියකම අවසානයේ ‘ඉඩකඩ තිබේ නම් සුදුසු පරිදි පළ කිරීමට මාගේ නිර්මාණයක් ඉදිරිපත් කරමි’ යනුවෙන් තැබූ සටහන මෙහි සටහන් කරනුයේ උන්වහන්සේ තුළ පැවැති උදාර නිහතමානිත්වය පැහැදිලි කිරීමටය.

හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු සඳහා ස්වකීය ජීවිතය කැප කළ ආකාරය ආදර්ශවත් ය. ඇසුරු කළ හැම දෙනා සුහදව, මෙත් සිතින් ඇසුරු කළහ. තමන් වහන්සේ ප්‍රගුණ කළ විෂයය මගින් විද්‍යාර්ථීන්ට දුන් දැනුම මෙන්ම ඉතා දිගු කලක සිට බුදුසරණ පාඨකයාගේ දහම් පිපාසය සන්සිඳවීමට උදාර මෙහෙවරක් කළ සංඝ පීතෘන්වරයන් වහන්සේ නමකි.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ පැවිදි උපසම්පදාව ලද හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි ලැබූහ. ඉන්දියාවේ ජවහල්ලාල්නේරු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූ ධීරානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රංශ රජයෙන් ලද ශිෂ්‍යත්වයකට අනුවද ශාස්ත්‍රීය අධ්‍යාපනයෙහි නිරත වූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අධ්‍යාපනය ලද ගිහි පැවිදි සිසුන් දිරිමත් කරමින් ඔවුන්ගේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවූ හෙයින් එබඳු ගිහි පැවිදි සිසුන් ‘බුදුසරණ’ට හඳුන්වා දුන් අයුරු ද විශේෂයෙන් සිහිපත් කළයුතුව ඇත.

රටට සමාජයට අත්‍යුදාර මෙහෙවරක් ඉටු කළ හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි පිරිසක් ජාත්‍යන්තර ආගමික සමුළුවකට සහභාගිවීම සඳහා ඉකුත් 07 වන දා චීනය බලා වැඩම කළහ. ලෝ දහම සනාථ කරමින් උන්වහන්සේ එහිදී අපවත් වී වදාළහ.

අපවත්වී වදාළ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය මෙරටට වැඩම වීට නියමිත ව තිබිණි.

උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳ සාතිශය සංවේගය පළ කරන අතර මහාචාර්ය හ¼ගුරන්කෙත ධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]