Print this Article


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 16: කුසලතා දියුණුවේ සාර්ථකත්වය

කුසලතා දියුණුවේ සාර්ථකත්වය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවෙසෙන සමයෙහි කෝකාලික නම් දේවදත්ත පාර්ශ්වයේ භික්ෂුවක් අරභයා දද්දර ජාතකය දේශනා කළහ. සැවත්නුවර දෙව්රම් වෙහෙරෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්මය මැනවින් හදාරා අනතුරුව ධර්ම දේශනා පවත්වති. කෝකාලික තෙරුන් වහන්සේ ද තමන්ට ධර්මය දේශනා කිරීමට නොහැකි බව දැන දැනත් “ඇයි අපිට බණ කිව නොහැකිද? අසන අය වෙතොත් අපටත් බණ කිව හැකි නොවේද?” යනාදි වශයෙන් මහා හඬින් ඝෝෂා කරමින් දෙව්රම් වෙහෙර එහා මෙහා ගමන් කළේය.

මෙම ඝෝෂාව ඇසූ භික්ෂූන් වහන්සේලා “ඇවැත් කෝකාලිකයෙනි එසේනම් අද දින ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නැයි” දන්වා සිටියහ. කෝකාලික තෙරුන් වහන්සේ ද එබස් අසා හොදින් දන් වළදා මනා සිවුරක් හැඳ පොරවාගෙන ධර්මය දේශනා කරන්නට සූදානම්ව සිටියහ. ධම්මස්සවන කාලො අයං භදන්තා.... යනුවෙන් ධර්මය ඇසීම සඳහා කාලඝෝෂණය කළ කල්හී දෙව්රම් වෙහෙර වැසී බොහෝ භික්ෂූන් වහන්සේ බණ ඇසීම පිණිස දම්සභා මණ්ඩපයට රැස් වූහ.

කෝකාලික හිමියන් ද වෘද්ධ භික්ෂූන් වහන්සේට නමස්කාරකොට විසිතුරු කැටයමින් ඔපවත් වූ විජිනිපතක් රැගෙන ධර්මාසනාරූඪව බණ කියන්නට පටන් ගත්තේය. මාතෘකා කළ ගාථාවෙන් පළමු ගාථා පදය දේශනා කළ හැකි වුව මුත් දෙවන ගාථා පදය සිහියට නඟා ගැනීම කළ නොහැකිවිය.

බණ කීමට තබා මාතෘකා ගාථාව වුව සිහියට නඟා ගැනීමට නොහැකි වීමෙන් ලජ්ජාවට පත් කෝකාලික භික්ෂුව ධර්මාසනයෙන් බැස පලාගියේය. අනතුරුව වෙනත් භික්ෂූන් වහන්සේ නමක් පැමිණ ධර්ම දේශනාව පවත්වන ලද අතර මෙම සිද්ධිය දැනගත් බුදුරජාණන් වහන්සේ ඒ හා සබැඳුණු අතීත කථාව ගෙනහැර දැක් වූ සේක. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ සිංහ රාජයෙකුව ඉපිද තම පිරිස සමඟ ගල් ගුහාවක වාසය කළහ.

එම ගුහාව ආසන්නයේ පිහිටි වෙනත් ගුහාවක කැණහිලෙක් ද වාසය කළේය. දිනක් මහා වැස්සකින් අනතුරව බොහෝ සිංහයෝ බෝසත් සිංහ රජුවෙත ගොස් සිංහනාද කොට රජු සමග විනෝද වීමට පටන් ගත්තෝය. සිංහයන්ගේ සිංහ නාදය ඇසූ අසල ගුහාවක වාසය කළ කැණහිලාද හඬ නගා විනෝද වීමට පටන්ගත්තේය. කැණහිලාගේ හඬ ඇසූ සිංහයෝ එයින් ලජ්ජාවට පත්ව සිංහ නාදය නවතා මුවෙන් නොබැන සිටියහ. මෙය දුටු බෝසත් සිංහයාගේ පුත් වූ එක් සිංහ පෝතකයෙක් තම පිය රජු වෙත ගොස් කවර හේතුවක් නිසා මෙතෙක් විනෝදයෙන් සිටි සිංහ පිරිස එක්වරම නිහඬ වූයේ දැයි විමසා සිටියේය.

සිව් පාවුන් අතර උසස් යැයි සම්මත අප වැනි පිරිසක් ඉදිරියේ කැණහිලෙකුගේ නොමනා හැසිරීම හේතුවෙන් අප සියලු දෙනාම නිහඬ වූයේ යැයි දන්වා සිටියේය. දේවදත්ත හිමියන් හා උන්වහන්සේගේ අතවැසි පිරිස බුදුරදුන්ගේ අවවාද අනුශාසනා බැහැර කොට බුදුවදනට අභියෝග කරමින් කටයුතු කළ පිරිසකි. දෙව්රම් වෙහෙර වැසි භික්ෂු පිරිස ධර්මය අධ්‍යයනය කරමින් කටයුතු කරන අතර කෝකාලික භික්ෂුව ඒ කෙරෙහි කිසිඳු උනන්දුවක් නොදක්වා ධර්මය ප්‍රගුණ කළ භික්ෂූන්ට අවමන් වන අයුරින් කටයුතු කළ බව මෙම ජාතක කථාවෙන් පැහැදිලි වේ.

තමා අවංකවම ධර්මය ප්‍රගුණ නොකොට ධර්මධර භික්ෂූන්මෙන් තමාටත් ධර්මය දේශනා කළ හැකි යැයි වහසි බස් දෙඩීමෙන් පැහැදිලි වන්නේ උන්වහන්සේගේ නොහික්මුණු ස්වභාවයයි. ශික්ෂාකාමී සෙසු භික්ෂූන් වහන්සේලා කෝකාලික භික්ෂුවගේ හැසිරීම කෙරෙහි උපේක්ෂා සහගත වූ අතර උන්වහන්සේටම තමාගේ තරම අවබෝධ කරගැනීමට අවස්ථාව උදාකර දුන්නහ.

ධර්මය දේශනා කිරීම අතිශය දුෂ්කර කර්තව්‍යයකි. ඒ සඳහා මනා පෙර පුහුණුවක් අවශ්‍ය වේ. එවැනි පුහුණුවක් නොමැතිව ධර්මාසනයක වාඩිවීමෙන් අන්‍යයන්ගේ ගැරහුමට ලක්විය හැකිය. කෝකාලික භික්ෂූවගේ අවධානය යොමු වූයේ බාහිර කරුණු කෙරෙහිය. උන්වහන්සේ තමා පොරවන සිවුරේ පැහැය ගැනත් අලංකාර විජනිපත කෙරෙහිත් උනන්දු වූවා මිස ධර්මාවබෝධය කෙරෙහි අවධානය යොමු නොකළහ.

ධර්ම දේශනා කිරීම අතිශය දුෂ්කර වූත් පින්වැඩෙන පින් කමකි. ධර්ම දේශනා පුණ්‍ය කර්මය සම්බන්ධයෙන් අතීතයේ සිටම දේශක - ශ්‍රාවක දෙපිරිස විසින්ම අනුගමනය කළ වැදගත් චාරිත්‍ර වාරිත්‍ර රැසක් දක්නට ලැබේ. මෙම උතුම් ශාසනික සම්ප්‍රදායන් හා චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මනා අවබෝධයක් හා පරිචයක් නොලැබීමේ හේතුවෙන් වර්තමානයේ ඇතැම් ධර්ම දේශකයන්ගේ දේශනාවන්හි ගුණාත්මක භාවය හීන වෙමින් පවතී. ධර්ම සන්නිවේදනයෙහිලා අනුගත විධික්‍රම රැසක් බුද්ධ දේශනාවෙහි ඇතුළත්ව තිබේ.

ධර්ම සන්නිවේදකයන් විසින් කළයුතු වන්නේ එම උපදෙස් භාවිතයට ගෙන තම දේශන කුශලතාව වර්ධනය කරගැනීමයි. නිසි පුහුණුවකින් තොරව කෙරෙන ධර්ම දේශනා මගින් ශ්‍රාවක අවබෝධයට හානි කරන අතරම බුදුරදුන්ගේ ධර්මය ද සාවද්‍ය ලෙස නිර්වචනය කිරීම සිදු වේ. ධර්මය අසන්නන් අතර විවිධ තරාතිරමේ ශ්‍රාවකයන් සිටිය හැකිය. ඇතමෙකුට ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබිය හැකිය.

නිසි පුහුණුවකින් තොරව කෙරෙන ධර්ම දේශනය මෙන්ම දේශකයාත් එවැනි ප්‍රාඥයන්ගේ ගැරහුමට පාත්‍රවිය හැකිය. කෝකාලික භික්ෂුව ධර්ම දේශනාවෙහිලා පරිචයක් ඇති සෙසු භික්ෂූන්ගේ ගැරහුමට ලක් අයුරු ජාතක කථාවේ එන වර්තමාන පුවතින් සනාථ වේ. තමාගේ තරාතිරම ගැන අවබෝධයක් නොමැතිව කටයුතු කිරීමෙන් උසස් සමාජයේ ගැරහුමට ලක්විය හැකි බව අතීත කථාවෙන් තහවුරු වේ. එහි එන කැණහිලා හා සිංහයන් අයත්වන්නේ සමාජ පන්ති දෙකකටය.

සංස්කෘතින් දෙකකටය. මෙම අනන්‍යතාව මැනවින් වටහා නොගත් කැණහිලා වෙනත් සමාජ සංස්කෘතික අංගයක් අනුකරණය කරන්නට යෑමෙන් ගැරහුමට ලක් විය. මෙහිදී සිංහයන් සමූහය අනුගමනය කළ පිළිවෙත බුද්ධිගෝචරය. කැණහිලාගේ හඬ ලෑම හමුවේ එම පිරිස නිහඬ පිළිවෙතක් අනුගමනය කළහ. තමන්ගේ සමාජ පන්තියට අයත් නොවන එවැනි නොහික්මුණු කැණහිලෙකුගේ හඬ ගෑමකට ප්‍රතිචාර දැක්වීම ප්‍රබුද්ධ යැයි සැළකෙන සිංහ පිරිසට නොමනා යැයි කල්පනා කොට නිහඬ වූයේ යැයි උපකල්පනය කළහැකිය.

අතීත කථාවෙහි එන කැණහිලා සේ ඇතැම් පුද්ගලයන් තැන නොතැන නොසළකා කටයුතු කිරීමෙන් සමාජ ගැරහුමට ලක්වන අයුරු කොතෙකුත් දක්නට ලැබේ. ගිහි වුවද පැවිදි වුවද තම තත්ත්වයට උචිත කටයුතුවල නිරතවිමෙන් සමාජ සම්භාවනාවට පත්වේ. විවිධත්වය සමාජයක ආවේණික ලක්ෂණයකි. එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකිය. විවිධත්වය සමාජයේ සාමාන්‍ය ලක්ෂණයක් හෙයින් ඒ මත පදනම් වූ ඇතැම් සමාජ ආයතන වෙනස් කිරීම අතිශය දුෂ්කර වූවකි. එයට අනුගත වෙමින් තමාගේ අනන්‍යතාව මැනවින් හඳුනාගෙන ක්‍රියා කිරිම බුද්ධිගෝචර වේ. ධර්මය දේශනා කිරීමේ කුශලතාවක් නොමැතිව එයට යොමු වීමෙන් කෝකාලික භික්ෂුව ධර්ම කථික භික්ෂූන්ගේ අපවාදයට ලක්විය. තමාට අයත් නොවන හැසිරීම් අනුකරණය කරන්නට යාමෙන් කැණහිලා ද අවමානයට භාජනය විය. කුශලතාවන් වර්ධනය නොකරගෙන ඇතැම් වගකීම් භාරගත් විට එය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වීමෙන් ආයතනයටත් තමාගේ පෞරුෂයටත් හානි වන බව මෙම කථාවෙන් පැහැදිලිවන තවත් උපදේශයකි. තම භූමිකාව හා අනන්‍යතාව මැනවින් වටහාගෙන එයට අනුරූපිව කුශලතා දියුණු කිරීමෙන් සාර්ථකත්වයට පත්විය හැකිවේය යන්න දද්දර ජාතකයෙන් ලබෙන සමස්ත ආදර්ශයයි.


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 15: පරමාදර්ශය