Print this Article


කරණීය මෙත්ත සූත්‍රයෙන් : තැනට සුදුසු නුවණ ජීවිතය ලස්සන කරයි

කරණීය මෙත්ත සූත්‍රයෙන් :

තැනට සුදුසු නුවණ ජීවිතය ලස්සන කරයි

ස්ථානෝචිත බව ජයග්‍රාහී අනාගතයක ආරම්භයයි. ප්‍රශ්නයකදී, අභියෝගයක දී කලබල වීම, තිගැස්සීම, මන්දෝත්සාහී වීම, පසුබෑම සුදුසු නොවේ. අවශ්‍ය වන්නේ බුද්ධිමත්ව සිතීමයි. කරුණු විමසීමයි. තමන්ට අයහපතක් නොවන, අනුන්ට ද අයහපතක් නොවන වඩාත් සුදුසුම තීරණය ගැනීමයි.

‘නිපකෝ’ ගුණය නම් තැනට සුදුසු නුවණ ඇති බවය. එනම් ස්ථානෝචිත ප්‍රඥාවය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දේශනා කොට ඇතත් පොදුවේ ගිහි පැවිදි සැමට ඉතා වැදගත් ඉගැන්වීමකි. දෛනික ජීවිතයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල සාර්ථකත්වයට මහගු උපදේශනයකි.

අවස්ථාවට ගැලපෙන, නිවැරැදි චින්තනය, ඊට අදාළ ක්‍රියාකාරීත්වය, ස්ථානෝචිත කතාව, ජීවිතය ලස්සන කරයි.

චරිතයට ගැලපෙන පරිසරය, භාවනාවට සුදුසු පරිසරය, බාධක හඳුනාගැනීම, ඒ පිළිබඳව අදාළ උපදෙස් ලබා ගැනීම, අල්ප කෘත්‍ය බව, ඉන්ද්‍රිය සංවරය ආදී කරුණු සලකා බැලීම භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ නමකට වැදගත් ය.

නිවන් ලබා ගැනීම සඳහා අදාළ කරුණු විමසීම, එනම් උචිත සාධක ළංකර ගැනීම හා අනුචිත කරුණු බැහැර කිරීම ‘නිපක’ ගුණ ඇත්තාගේ වගකීමකි.

ඉගෙන ගන්නා දරුවන්ට ද මේ මහැඟි ගුණයකි. ඉගෙනුම සඵල කර ගන්නට ස්ථානෝචිත ප්‍රඥාව අත්‍යවශ්‍යය. ඉගෙනීමට බාධාවන දෙයින් දුරස් වීම එහිදී ඉතා වැදගත් වේ. කලණ මිතුරන් හඳුනා ගැනීම, වීර්යවන්තබව, අවශ්‍ය උපදේශන ලබා ගැනීම, ඉගෙනුම් කාරක උපකරණ සම්පාදනය, ස්ථානය, පරිසරය සැලකීම අත්‍යවශ්‍ය ය.

බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවිතයේ සැලසුමක් නැත. උදෑසනින් පිබිදී මොහොතක් සිතන්න. අප අදහස් කරන දේ ක්‍රියාත්මක කිරීමේදී බලාපොරොත්තුවන ප්‍රතිඵලය කුමක්ද? ඒ සඳහා අවශ්‍ය කරන දේ මොනවාද? බාධක, වැට කඩොළු මොනවාද? විසඳා ගැනීමට අනුගමනය කළ යුතු නිවැරැදි ම ක්‍රමවේදය කුමක් ද? සිතන්න. මේ ආකාරයෙන් අවධානය යොමු නොකොට කරන ලද කාර්යයන් සාර්ථක වූයේ ද? අසාර්ථක වූයේ ද? පිළිතුර ප්‍රත්‍යක්ෂය. ඒ කරන ලද කාර්යයන්ගෙන් සියයට අනුවකටත් වඩා අසාර්ථක වීමය. විවාහයට පෙර සහකරු හෝ සහකාරිය ගැන අධ්‍යයනය කළා ද? හිතුමතේ, දුර දිග නොසිතා, නොවිමසා කළ විවාහ නිසා මොනතරම් පවුල් ජීවිත අවුල් වී ඇති ද?

සතිය, එසේත් නැතිනම් සිහිය නොමැති කමින්, අපරීක්ෂාකාරී බවින් ඇතිවන රිය අනතුරුවල භයානක බව මොනතරම් ද? ගංගා, ඇළ, දොළවල මතු නොව මහා සාගරයේ දිය නාන්නට ගොස් අනතුරු කරගන්නා තරුණ දරුවන් කොපමණ සිටිනවාද? තැනට සුදුසු නුවණ, අවබෝධය තිබෙනවා නම් මේ ඛේදවාචක උරුම වන්නේ නැත.

ළිං මැ¼ඩියාට ලෝකය නොපෙනේ. දකින්නේ ළිං පතුළ පමණි. ළිං මැඩියකු සේ ගෙවන ජීවිතයේ ඵලය කුමක්ද? අනතුර, අවධානම, අසාර්ථක බව පමණි. ලොව සිදුවන සිදුවීම්, වැදගත් චරිත, විමසන්න පුරුදු වන්න. පොත පත කියවන්න. ඒත් චරිත අභියෝග ජයගත් ආකාරය තේරුම් ගන්න. ඒ අවබෝධය අවස්ථාව ලද සැනින් ප්‍රඥාවන්ත ලෙස භාවිතයේ යොදවන්න.

මවුපිය, ගුරුවරුන් සාමාන්‍යයෙන් දරුවන්ට දඬුවම් දෙන්නේ නරකට නොවේ. යහපතටයි. එන දරුවෝ ඒවා නුරුස්සති. සමහරවිට ගුරුන්ට විරුද්ධව උසාවි පවා යති. ස්ථානෝචිතව සිතනවා නම්, අවබෝධයෙන් කටයුතු කරනවා නම් ප්‍රශ්න දුරදිග නොයයි. කළයුතු වන්නේ දඬුවමේ දී ආවේගශීලී වීම නොවේ. ඔවුන්ට වඩාත් සමීපවීමයි. කීකරුවීමයි. සිතට දැනෙන ක්ෂණික තරහව ආදරයක් බවට හරවා ගැනීමයි. එවැනි හැකියාවක් ඇති කෙනා දක්ෂයෙකි. ‘නිපකෝ’ ගුණ ඇත්තෙකි.

යම් උදවු උපකාරයක්, ඇවැසි මොහොතක පුද්ගලයාගේ මානසික පසුබිම හඳුනා ගන්න. සැනසිලිදායකව, නිදහස්ව සිටින අවස්ථාව වඩාත් සුදුසු ය. ඔහු ගැන කතා කළ යුතු සංවේදී ක්‍රමය ගැන සිතන්න. උපකාරය ඉදිරිපත් කරන ආකාරය සිතන්න.

සමහරු දරාගත නොහැකි වේදනාවකදී ආවේගයකදී සිය ජීවිතය ගැන නොසිතයි. එහි වටිනාකමක් නොදකියි. සියතින් ම දිවි සිඳ ගනියි. ඇතැම් විට අනුන්ද නසයි. ජීවිතයේ දැනුම් තේරුම් ඇති කවර අවධියක දී වුව දීඝීති කෝසල ජාතකය ආදර්ශයට ගත හැකිය. පුතෙකුට අම්මා තාත්තා තරම් වටිනා සම්පතක් තවත් තිබෙනවාද? ඒ උතුම් මව්පිය දෙපළ ඝාතනය කළ කෲර රජු සිය උකුලේ නිදා සිටින මොහොතේ දීඝායු කුමරුට ඔහු මරා දමන්නට ඕනෑ තරම් ඉඩ තිබුණි. ඇති වූ ආවේගයෙන් එක් අතකින් රජුගේ කෙස්වැටිය අල්ලා, අනිත් අතින් කඩුව ගෙන කුමරු මෙසේ සිතයි. ‘මගේ පියා මියයන මොහොතේ මට අවවාද කළේ තමන් කරන දෙය හොඳින් සිතා බලා පරීක්ෂාකාරීව කළයුතු බවයි. දුරදිග බලන ලෙසයි. ළඟ නොබලන ලෙසයි.”

ඒ අනුව ඔහු රජුගේ කෙස්වැටිය අතහරියි. එසවූ කඩුව ද පසෙකින් තබයි. කුමරුගේ ස්ථානෝචිත බව ජයග්‍රාහී අනාගතයක ආරම්භයයි. ප්‍රශ්නයකදී, අභියෝගයක දී කලබල වීම, තිගැස්සීම, මන්දෝත්සාහී වීම, පසුබෑම සුදුසු නොවේ. අවශ්‍ය වන්නේ බුද්ධිමත්ව සිතීමයි. කරුණු විමසීමයි. තමන්ට අයහපතක් නොවන, අනුන්ට ද අයහපතක් නොවන වඩාත් සුදුසුම තීරණය ගැනීමයි.

ඒ ගැන හොඳින් අධ්‍යයනය කිරීමයි. ඒ ස්ථානෝචිත බව මානසික හා කායික සුවයටත්, ජයග්‍රාහී ඉලක්කගත ගමන් මඟටත් මාර්ගය සදනු ඇත.