Print this Article


අකම්පිත වන්නට නම්...

අකම්පිත වන්නට නම්...

ලෝකයේ පවතින සදාතනික සත්‍යය දුක බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ ලෝකය පිහිටා තිබෙන්නේ දුක මතයි. කායික සුව පහසුව මානසික සුව පහසුව නැතිකම එක් පැත්තකින් දුක බවට පත්වෙනවා.

අතෘප්තිමත් බව දුක බවට පත්වෙනවා. ඇතැම් විට මිනිසුන්ට කෙතරම් සැප තිබුණත් තෘප්තිමත් නැහැ. අතෘප්ති කරයි . බුදුරජාණන් වහන්සේ වදාළ ලෙස අතෘප්තිමත් ලෝකය තණ්හාවට පාක්ෂිකව කටයුතු කිරීම හේතුකොටගෙන නිරන්තරයෙන්ම ඇතිවෙන්නේ දුකයි.

දුක පිළිබඳ සඳහන් කිරීමේදී , බෝධිසත්ත්වයන් වහන්සේ සසරේ අවසන් ආත්ම භාවයේ ගිහි කල ලබන්නට පුළුවන් හැම සතුටක්ම ලැබුවා. එමෙන්ම බුද්ධත්වය උදෙසා සිරුරට අපමණ දුක්දෙමින් දුෂ්කර ක්‍රියා කර දුක් වින්ඳා. මෙලෙස දුකත්, සැපත් අපමණ වින්දා

විශේෂයෙන් සාමාන්‍ය ලෝකයේ තිබෙන සැප වැනසීයාමෙන් දුක ඇතිවෙනවා. එවිට අප මධ්‍යස්ථ භාවයෙන් කටයුතු කළ යුතුයි. අටලෝ දහමෙන් අකම්පිතවීම යනු දුකක් ඇති වූවිට එයින් කම්පා නොවී කටයුතු කිරීමට ඇති හැකියාවයි.

අප සැප යනුවෙන් සිතන දේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. සැප හෝ දුක ලැබෙන්නේ අනිත්‍යතාවය නිසයි. මොහොතකින් සැප වෙනස්වීම ගැන කල්පනාකරන්න පුළුවන්නම් අපට දුක පිළිබඳව කම්පා නොවී ඉන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ් දුක්ඛ සත්‍ය මඟින් ඉපදීම , ලෙඩවීම, මරණය, අපි‍්‍රියන් හා එක්වීම, ප්‍රියයයන් හා වෙන්වීම දුක බව දේශනා කර වදාළා. එනම් පංච උපාධානස්ඛන්ධයම දුක් සහිත බව පෙන්වා දුන්නා.

ප්‍රියයයන් ඇසුරු කරන්නට ලැබීම සතුටක්. නමුත් එය හැමවිටම ලැබෙන්නේ නැහැ. අප්‍රියයන් හා එක්වීම සිදු වෙනවා. එය දුකක්. මේ යථාර්ථය අපට තේරුම් ගන්න පුළුවන්නම් අකම්පිතව ජීවත්වන්නට පුළුවන්.

විශේෂයෙන් තරුණයන්, තරුණ මදය නිසා ඔවුන් කිසිදා වියපත් නොවන බව සිතනවා. ලෙඩ වෙන්නේ මැරෙන්නේ නැතැ’යි වැරැදි හැඟීමෙන් සිටින්නේ තරුණමදය නිසයි. හැබැයි, මේ තරුණකම අපට සැමදාම තබාගන්නට බැහැ. බාහිර වශයෙන් තරුණකම සම්පතක්, සැපතක්. තරුණ සිරුර සුන්දරයි , පෘෂ්ඨිමත්, මතක ශක්තිය වැඩියි. හැබැයි ක්‍රමයෙන් තරුණ විය තමන්ගෙන් ගිලිහී යද්දී එය දුකක් බවට පත් වෙනවා. සැපක් ලෙස සිතූ දේ දුකක් බව වැටහෙනවා. ක්‍රමයෙන් වයෝවෘද්ධ වෙනවා. හිසකෙස් ඉදී වැටී, සම රැලිවී, පෙනීම දුබල වෙනවා. දත් හැලෙනවා. මේවා ලොවේ සදාතනික ධර්මතාවයන්. එහෙත් මේ නිසා පුද්ගලයා දුකට පත් වෙනවා.

නමුත්, එය යථාර්ථවාදීව කල්පනා කරන්නට ඕනෑ. ඉපදීම සිට මරණය දක්වා ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතය, ශරීරය වෙනස් වෙනවා යනුවෙන් සිතීමෙන් තමන්ට දුක හමුවේ කම්පා නොවී ජීවත් වන්නට පුළුවන්.

තරුණ කාලයේ තරුණ මදයෙන් මත් නොවී යහපත් ක්‍රියාවන්හි යෙදී තමන්ගේ සිත සකස් කර ගැනීමට පුළුවන්කම තිබිය යුතුයි. තමන් යම් මොහොතක රෝගී වන බව කල්පනාකර තවත් රෝගියෙකුට කිසිවිටකත් ගරහන්නේ නැතිව ජීවත් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතය තිබෙන තුරා ශරීරය රෝගයට ආයතනයක් බවයි. මේ ගැන දැනුම්වත්ව, තමාත් රෝගී වන බව සිතමින් තමන්ගේ සිත ශක්තිමත් කර ලැබූ මිනිසත්කමින් යහපත දියුණුකරන්නට, මධ්‍යස්ත භාවයෙන් කටයුතු කළ යුතුයි. යමෙක් කම්පාවෙන්නේ තමන් බලාපොරොත්තු වන සැප සදාතනික නැති නිසයි. එබැවින් අප අවිඤ්ඤාණික , සවිඤ්ඤාණික වශයෙන් සෑම දෙයක් සමඟම සතුටින් වාසය කළ යුතුයි. නමුත් මේ දේ වෙනස් වෙනවා එනම්, ප්‍රිය විප්පයෝගයට පත් වීමයි. අපි‍්‍රිය සම්පයෝගයට පත් වීමයි. නිදසුනක් ලෙස එක්තරා දවසක් බන්ධුල මල්ලිකාවෝ සැරියුත් තෙරණුවන්ට දානය පූජා කරන අවස්ථාවකදී දාසියක් අතින් ගිතෙල් හැලියක් බිමට වැටී කැඩී බිදී ගියා. මෙයින් බන්ධුල මල්ලිකාවගේ සිත බිඳී දාන පින්කමේ ප්‍රතිඵලයක් නැතැ’යි සිතූ සැරියුත් තෙරණුවෝ භුක්ත්තානුමෝදනා වේදී මල්ලිකාවෙනි, බිඳෙන දේ බිදෙන සුළු බැවින් සිත කම්පා කරගන්න එපා යැ’යි වදාළා. මෙහිදී ඇය තමන් දානය පූජාකරන අවස්ථාවේදී ලැබුණ හසුන පෙන්වා මෙසේ පැවසුවා. ස්වාමීනි, මා එසේ කම්පා වෙන ඇත්තියක් නෙවෙයි. ඔබ වහන්සේට මා දානය පූජා කරද්දී මගේ ස්වාමියා ඇතුළු දරුවන් තිස්දෙනා එකම යුද පිටියක මිය ගියා. නමුත් මා මෙහිදී කම්පා වුණේ නැහැ’යි සඳහන් කළා.

එසේනම්, අටලෝ දහම ලෝකයේ සදාතනික ප්‍රත්‍යයයි. දුක යනු අතෘප්තිමත් භාවයයි. කෙතරම් සැප ලැබුණත් ඒ ගැන තෘප්තිමත් නොවීම දුකයි. මිනිසුන් අපේක්ෂා තිබෙන දෙයින් සතුටුවෙන්න බැරිනම් කෙතරම් දේ තිබුණත් එය සෑම මොහොතකම දුකක් බව ධර්මයේ සඳහන් වෙයි. ඒ නිසා අපට මේ හැම අවස්ථාවකදීම කම්පා නොවී යථාර්ථය අවබෝධයෙන් ලෝකයේ සදාතනික සත්‍යය දුකක් වුණත් එය සැපක් බවට පත් කර ගැනීමට මධ්‍යස්ත සිතින් කටයුතු කිරීම වැදගත්.