Print this Article


යසස: යසස දසත පැතිරීයාමට නම්

යසස දසත පැතිරීයාමට නම්

පුද්ගලයෙකුගේ පිනට යසස ලැබෙන බවත්, දුර්විපාක අනුව අයස ලැබෙන බවත්, බුදු දහම පැහැදිලි කරයි.සංසාර චාරිකාවේ නිරත වන අප විසින් අතරමගදී අපට හමුවන පිරිසට නින්දා අපහාස කර තිබෙනවා නම්, අනිවාර්යෙන්ම එහි ප්‍රතිවිපාක ඒ ආකාරයෙන් භුක්ති විඳීමට සිදුවන බව අමතක නොකළ යුතුයි.

සෙසු පුද්ගලයන්ගේ යසස නැතිවන ආකාරයටත් ,අයස ඇතිවන ආකාරයටත් කටයුතු කරන පුද්ගලයන් සමාජයෙහි කොතෙකුත් දැකිය හැකියි. එවැනි ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ යසසද යම් දවසක පිරිහීමට පත්වන බව ඔවුන් නොසිතන කාරණාවක්.

පුද්ගලයාගේ චර්යාව, බාහිර තේජාන්විත බව, සැප සම්පත් බහුල ජීවිතය,පරිවාර සම්පත්තිය, පෞරුෂත්වය යන සියලු කාරණාවන් යසස තුළ අන්තර්ගතව පවතී. සාමාන්‍ය ජීවිතයේදීත් ඔහුගේ ක්‍රියාකරකම් අනුව යසස පැතිරී යයි.

යසස පිරිහෙන ඇතැම් අවස්ථාවල මානසිකව කඩා වැටෙයි. චිත්ත පීඩාවන් විඳිමින් කාලය ගෙවයි. යසසින් පිරෙන විට ඇතැම් පුද්ගලයන් ආඩම්බර වෙයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා ,ප්‍රශංසා, සැප, දුක් , යනසෑම සිදුවීමක්ම තාවකාලික බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.සිල්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ කල්‍යාණ කීර්ති රාවයක් පැතිරී යන බවත්,දුසිල්වත් පුද්ගලයාට එවැනි කීර්තිමත් බවක් නොලැබෙන බවත් අවබෝධ කරගත යුතුයි. අප ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ කීර්ති ඝෝෂාව තුන් ලෝකය පුරා විහිදී පැතිරී ගිය ආකාරයත්, සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරමින් ලබාගත්තාවූ උතුම් ගුණාංගයන්ට අනුව උන්වහන්සේගේ කීර්තිය හෙවත් යසස පැතිරී ගිය ස්වභාවය විශ්ලේෂණය කරන විට පැහැදිලි වෙයි.

සාමාන්‍ය ජන ජීවිතයේදීද පුද්ගලයාගේ ක්‍රියාකාරකම් මත යසස පැතිරී යයි. ඔහු හෝ ඇය යහපත් ,සිල්වත් ,ගුණවත් ජීවිතයක් ගත කරනවා නම්,සටකපට මායම්වලින් තොරව අවංක ජීවිතයක් ගත කරනවා නම්,සෙසු පුද්ගලයන්ට නින්දා අපහාස නොකොට ගුණ ධර්මයන්ගෙන් යුතු පරාර්ථකාමී ජීවිතයක් ගත කරනවා නම්,ඔහුගේ යසස දසත පැතිරී යයි. දුසිල්වත් පුද්ගලයාට එවැනි කීර්ති රාවයක් පැතිරෙන්නේ නැත.නිරන්තරයෙන් ඔහු සමාජයෙන් කොන්වෙයි. බලයෙන්, කුලයෙන් ,වංශයෙන්,රූපයෙන්, අධ්‍යාපනයෙන් ,හැකියාවෙන් , ජනප්‍රියත්වයෙන් ඉහළට පැමිණියත්,ඔහු කීර්තියෙන් යසසින් ඉහළට පැමිණෙන්නේ නැත. ඉන්ද්‍රිය අසංවරව පාපධර්මයෙන්ගෙන් යුක්තවීම නිසා දුෂ්ශීල වෙයි. ගුණ ධර්මයන්ගෙන් පහළ තත්ත්වයක ජීවත් වෙයි.

සමාජයක ජීවත් විමේදී යසස බොහෝ සෙයින් වැදගත් වෙයි. අම්මා තාත්තා යහපත් යසසකින් කීර්තියකින් යුක්තව ජීවත්වනවා නම්,දරුවන්ගේ අභිමානය රැකෙයි. පුද්ගල චරිතය කීර්තියකින් යුක්තව ගොඩනඟා ගන්නේ නම්,එය තමාට පමණක් සීමා නොවී තම පරපුරටම වැදගත් වෙයි.

පෙරදිග ලෝකයේ පහළ වු යසසින් ශ්‍රේෂ්ඨ අග්‍රගණ්‍ය අධිරාජයා ධර්මාශෝක රජතුමායි. ඔහු ධර්මය නොදන්නාකමෙන් යුධ වැද රටවල් අල්ලා ගැනීමට කටයුතු කරමින් දිග් විජය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට උත්සාහ කළත් , පසුකාලීනව නිවැරැදි වු හෙතෙම ධර්ම විජය ප්‍රතිපත්තියෙන් කටයුතු කිරීම නිසා කල්‍යාණ කීර්ති රාවය ලෝකය පුරා පැතිරී ගිය ආකාරය ඉතිහාසයෙන් විශ්ලේෂණය කරගත හැකියි. අශෝක අධිරාජයා සියලු යුධ කටයුතු හැර ධර්මයට පැමිණීමත් සමඟ ලෝකය පුරා පැතිරී ගිය කල්‍යාණ කීර්ති රාවය වර්තමානය වන විටත් ලෝකය පුරා ප්‍රචලිතවන ආකාරය දක්නට ලැබෙයි. එතුමාගේ ධාර්මික ජීවිතයට වර්තමානයෙහිත් සියලු දෙනා ගෞරව දක්වයි.එවැනි ආකාරයේ යසසක් ගොඩනැඟීමට නම්,පුද්ගලයා ධාර්මික විය යුතුයි.අධාර්මිකව විෂමාචාර ලෙස සමාජ විරෝධි කටයුතු වල නිරතවන අතැම් පුද්ගලයන් සමාජය තුළ අමුතුම ආකාරයේ තත්ත්වයක් මවාගෙන ජීවත් වුවත් ,එය තාවකාලිකයි. ඔවුන්ට මෙලොවත් ,පරලොවත් පසුතැවීමට සිදු වෙයි. කුඩා කල සිටම දරුවන් පින් දහම්වල නිරත කරවීම දෙමව්පියන්ගේ වගකීමක් වෙයි. අතීත රජදරුවන් වූ දුටුගැමුණු, මහසෙන් වළගම්බා, පැරකුම් වැනි අතීත රජදරුවන්ගේ පැතිරී ගිය කීර්ති රාවය සදා අමරණීයව පවතී.

වීතරාගී, වීතදෝසී, වීතමෝහී මහරහතන් වහන්සේලා වන සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාත්, මහාකාශ්‍යප , අනුරුද්ධ, ආනන්ද යන මහරහතන් වහන්සේලාත්, ලංකාවට බුදු දහම වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ අතුළු මහරතහන් වහන්සේලා සංසාරයේදී රැස්කරගත් බොහෝ පින් දහම් අනුව ගෞතම බුද්ධ ශාසනයෙහි උතුම් මහරහතන් වහන්සේලා බවට පත්වෙමින් උන්වහන්සේලාගේ යසස ශාසනයෙහි පැතිරී ගිය ආකාරය පෙනේ.

එම නිසා ගුණයත් සමඟ සම්බන්ධ වූ උදාර ලක්ෂණයක් ලෙස යසස හඳුනාගත හැකියි. ඒ සඳහා පින් රැස් කළ යුතුය. සමාජයේ ජීවත්වන පුද්ගලයා ගුණධර්මවලින් අංග සම්පූර්ණ වන විට ඔහුගේ යසස පැතිරී යයි.