Print this Article


අයස: අපකීර්තිය තාවකාලිකයි

අපකීර්තිය තාවකාලිකයි

අයස යනු අපකීර්තියයි. අපකීර්තිය ලෙස සඳහන් වන්නේ දුස්සීලයෙක්, ලෝභයෙක්, මසුරෙක්, අහංකාර පුද්ගලයෙක්, ගුණමකුවෙක් ආදි වශයෙන් පැතිර යන රාවයයි. මේ අයස නිසා පරිවාර සම්පත් නැතිවී අන් පිරිසෙන් කොන්වීමක් සිදුවේ. බුදුරජාණන් වහන්සේ අයස හමුවේත්, යසස හමුවේත් මැදහත්වයි කටයුතු කළේ. ඒ සඳහා බෞද්ධ සාහිත්‍යයේ සහ සූත්‍රදේශනා තුළ බොහෝ උදාහරණ තිබෙනවා.

අප දන්නවා බුදුරජාණන් වහන්සේටත් අයස ලැබුණා. උන්වහන්සේ ඒවා බැහැර කළා. සුන්දරි නගර සෝභිනියගේ කතාව අප දන්නවා. ඇය නිගන්ඨයන් විසින් ඝාතනය කර ජේතවනාරාමයේ මල් ගොඩක් තුළ සැඟවූවා. ඉන්පසු බුදුරජාණන් වහන්සේට චෝදනා කළා ඇය සඟ පිරිස විසින් ඝාතනය කළ බවට. එවිට ආනන්ද තෙරුන් කියනවා. ස්වාමිනි, මේ ගමෙන් අපි යමු. මේ ගමේ මිනිසුන් ඔබවහන්සේටත්, මහා සංඝයාටත් බොහෝ දෝෂාරෝපණය කරනවා කියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දය, අප මේ ගමෙන් ඈත්ව, වෙනත් ගමකට ගියත් ඒ ගමේ මිනිසුන් අපට මේ ආකාරයෙන් චෝදනා කළොත් නැවතත් ඒ ගමෙනුත් යන්න වෙනවා. අපකීර්තිය කියන දෙයින් සැඟවෙන්න බැහැ. ලෝක ස්වභාවධර්මය එයයි.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේදී අපකීර්තිය,එසේත් නැතිනම් අයස පැමිණි අවස්ථාවලදී ශෝකයට, කනගාටුවට පත්වී ජීවිතය එපාවී වනගත වෙන්න ඕනෑයි තීරණය කළේ නැහැ. උන්වහන්සේ වදාළා “මේ ලෝකයේ නින්දාවට පාත්‍ර නොවුණ කෙනෙක් නැහැ” කියා. අප සාමාන්‍ය ජීවිතයේදී කියනවා ඵලඇති රුකට තමයි මිනිසුන් ගල්මුල්වලින් ගහන්නේ. ඵල නැති රුකට කවුරුත් ගල් ගහන්නේ නැහැ කියලා. ඒ වගේ මේ ලෝකයේ අපකීර්තිය ලැබෙන්නේ යමක් කරන, යම් ශක්තියක් සහිත මේ සමාජයට යමක් කළ හැකි පිරිසටයි. එය බුද්ධිමත්ව තේරුම් ගත යුතුයි. ඒ වගේම අකුණක් වැදෙන්නේ උස් ගොඩනැගිල්ලකට මිස වලකට නොවේ. ගුණමකුවෙක්, ලෝභයෙක්, දුස්සීලයෙක් කියා අනෙකාගේ දෝෂ දර්ශනයට ලක්වෙන්නේ ඔහු තුළ යම් ශක්තියක් අන්‍ය පිරිසට වඩා තිබෙන නිසයි. ඒ අයට තමයි අපකීර්තිය එන්නේ.

මේ ලෝකයේ තථාගතයන් වහන්සේ ඇතුළු බොහෝ උතුම් ගුණාංග චරිත ඇති පිරිස දෙස බැලුවාම හැමෝම යම් යම් අවස්ථාවල ජීවිතයේ අපකීර්තියට නැත්නම් අයසට ලක්වූ පිරිස්. අපකීර්තියෙන් තොරව කීර්තියක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙනවා හැම වෙලාවේම මේ ලෝකයේ පවතින්නේ උස් පහත්වීම් මත. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. පල්ලමක් බැස්සොත් නැවතත් කන්දක් තිබෙනවා. සදාකාලිකව කීර්තිය හෝ අපකීර්තිය පවතින්නේ නැහැ. යම් කෙනෙක් යම් වෙලාවක අපකීර්තියට පත්වී ඔහු කලකිරී දුකට පත්වී, මගේ ජීවිතය අවශ්‍ය නැහැ කියා සිතනවාට වඩා ඔහු විසින් තමන්ගේ ජීවිතය අලුතින් ආරම්භ කරන්න, පැවතුනාටත් වඩා උතුම් ගුණාංග වලින් ඉදිරියේදී වැඩ කරන්න වීර්යයක්, ධෛර්යයක් ගන්නවානම් එයයි වැදගත්. එහිදී ලැබුණ අපකීර්තිය තුළ යමක් ඉගෙන ගන්න පුළුවන්. මේ අපකීර්තිය ඇත්තෙන්ම තමන්ට ලැබුණේ තමන් තුළ අහංකාරය, ගුණමකුකම, දුස්සීලබව තිබෙන නිසාද කියා සිතිය යුතු වෙනවා.

ඔහු ආයති සංවරයට පත්වෙන්න එය අවස්ථාවක් කර ගන්නවා නම් වටිනවා. ආයති සංවරය කියන්නේ සිදු වූ වැරැදි අඩුපාඩුකම්, අතපසුවීම් තිබේනම් ඒවා තේරුම්ගෙන නැවත එවැනි දේ සිදුනොවීමට ජීවිතය පවත්වා ගැනීමයි. යමෙක් තුළ ලෝභය, ගුණමකුකම, දුස්සීලබව තිබෙනවානම්, එය නිවැරැදි කරගත යුතු වෙනවා. එසේ නැතුව ඒ චෝදනා කළ පුද්ගලයන්ට වෛර කරන්න, පහර දෙන්න, ජීවිත නැතිකරන්න සිතීම නොකළ යුතුයි. පුද්ගලික ජීවිතය කඩාකප්පල් නොකර දහමෙන් නැමුණු කෙනෙක් ලෙස නිවැරැදිවීමයි වැදගත් වෙන්නේ.

අප සිතනවානම් යසස පමණයි ලැබිය යුත්තේ අයස අපට ලැබිය යුතු නැහැ කියා ඒ අදහස බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, කිර්ති, ප්‍රශංසා, ලාභ තියුණුයි කියා. එසේ වදාළේ කෙනෙක් අගය කරනවිට, පසසන විට ඔහු විසින් කල්පනා කළ යුතුයි මොහු මාව වර්ණනාවට ලක් කරනවා. ඒ සඳහා මම සුදුසුද? කියා.

එසේ සුදුසුකම් නැත්නම් මේ වර්ණනාව පටු පරමාර්ථයකින් සිදු වන්නක් කියා තේරුම් ගතයුතු වෙනවා. ඇත්තෙන්ම අප ළඟ වරදක් තිබී මේක ඔබේ වරදක් කියා යමෙක් පැවසුවොත් එය නිදානයක් පෙන්නුවා හා සමානයි කියා සිතිය යුතුයි. තමා තුළ වරදක් නැතිවම අපකීර්තියට පත්වූවානම් එය බැහැර කිරීමටද අප දක්ෂ වෙන්න ඕන.

සාමාන්‍ය ලෝකයා කීමට කියනවා අපනම් අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ කියා. නමුත් යම් අභියෝගයක් ජීවිතයට ආ විට එය ප්‍රායෝගිකව සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ අටලෝ දහමේ කරුණු මැනවින් තේරුම්ගෙන ජීවිතවලට ගලපා ගන්න අප දක්ෂ විය යුතු වෙනවා.