Print this Article


අට ලෝ දහම - ලාභ: ලැබීම් නොලැබීම් සමව දරන්න

ලැබීම් නොලැබීම් සමව දරන්න

ලෝක ධර්මයන් අතුරෙන් ලාභය යනු තමන් විසින් බලාපොරොත්තු වන්නා වූ ආහාර පාන, වස්ත්‍ර මිල මුදල් කීර්ති, ප්‍රශංසා, ආදිය ලැබීමය.

අලාභ යනු ඒ ලැබූ දෑ නැති වීම හා ඉදිරියට නොලැබීමය. කලෙක බොහෝ ලාභ ඇතිව පොහොසත් ව සිටින තැනැත්තා වෙත කලෙක දී අලාභය පැමිණෙන්නේ ය. අලාභයෙන් හෙවත් දිළිඳු බවින් පීඩිත තැනැත්තා වෙත කලෙක ලාභය පැමිණෙන්නේ ය. මේ ලෙස ලාභ අලාභ දෙක චක්‍රයක් සේ කැරකෙන්නේ ය.

අප තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ උන්වහන්සේගේ කීර්ති ඝෝෂාව දස දෙස පැතිරුණි. පුදසත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබෙන්නට විය. මේ පිළිබඳව ත්‍රිපිටකයේ ඛුද්දක නිකායෙහි ප්‍රථම භාගයේ සඳහන් සුන්දරී සූත්‍ර දේශනාවේ දී විවරණය කර තිබේ.

බුදුරජාණන් වහන්සේට ලැබෙන මේ ලාභ, කීර්ති, ප්‍රශංසා ඉවසන්නට දරාගන්නට බැරි සමාජයේ පිරිසක් ද විය. විශේෂයෙන් පිරිවැජියන් ඒ අතර විශේෂ ය.සුන්දරී නම් පරිබ්‍රාජිකාව උපායෙන් මරණයට පත් කොට ඇයගේ සිරුර ජේතවනාරාමයේ දිය අගලෙහි සැඟවිය. ඉන් පසු ඔවුහු කොසොල් රජු හමුවී. “අපේ පරම්පරාවේ සිටිය ලස්සනම, හොඳම කෙනා සුන්දරී. ඇය දවස් කිහිපයක දී සිට ආගිය අතක් නැහැ. ඒ නිසා අපට සැකයක් තියෙනවා ඇය මරණයට පත් කර ඇතැයි කියා” යි පැවසූහ. සුන්දරී ජේතවනාරාමයට යන්නට එන්න වූ නිසා ඇය ගේ මරණය ගැන ජේතවනාරාමයේ වැඩ සිටින බුදුහාමුදුරුවෝ සහ ශ්‍රාවක පිරිස පිළිබඳ සැකයැ”යි ද පැවසූහ.

ඔවුන් විසින් ම දිය අගලෙහි සඟවා තිබූ ඇය ගේ සිරුර ගොඩ ගනු ලැබුවේ ය. ඒ මොහොතේ දී වර්තමාන ලෝකයේ සිද්ධ වන කාර්යයක් සිදු වුණි. වර්තමානයේ සාමාන්‍යයෙන් කවුරු හරි පුද්ගලයෙක් මේ ආකාරයට මරණයට පත් වූ විට ඒ සිදුවීමේ සත්‍ය, අසත්‍යතාව විමර්ශනය කරන්නේ නැත. ප්‍රාණයේ නිරුද්ධ සිරුර තැන් තැන්වලට රැගෙන ගොස් ප්‍රදර්ශනය කරමින් අයුතු ලෙස සමාජ පුද්ගල ප්‍රයෝජන ලබන්නට උත්සාහ කරති. සුන්දරී පරිබ්‍රාජිකාවගේ මරණයත් මොවුන්ට හොඳ අවස්ථාවක් විය. ඒ තථාගතයන් වහන්සේට හා ශ්‍රාවකයන් වහන්සේලාට කිසියම් ආකාරයක තද බල සමාජ විරෝධතාවක් ගොඩනැඟීමටය. සුන්දරී පරිබ්‍රාජිකාවගේ සිරුර ප්‍රදර්ශනය කරමින් බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක භික්ෂූන් වහන්සේට ඔවුහු දොස් කීහ. බුදුහාමුදුරුවන්ට සහ ශ්‍රාවක භික්ෂූන්ට ශීලයක් නැහැ. මේ සුන්දරී පරිබ්‍රාජිකාවගේ මරණයට අනිවාර්යයෙන් ම වගකිව යුතු වන්නේ ඔවුන් පමණයි”යැයි කියා මතයක් ගොඩනැගූහ. මේ වගේ අවස්ථාවක දී සත්‍ය අසත්‍යතාව සොයා බැලීමකින් තොරව පෘතග්ජන මනුෂ්‍යයෝ සාමාන්‍යයෙන් කරන්නේ ලෝකයා විසින් කියන දේ සත්‍ය ආකාරයට පිළිගැනීමය. එදා සමාජයත් ඒ අදහස සම්පූර්ණයෙන් ම පිළිගැනුණි. සමාජ විරෝධතාවක් ගොඩනැගුණි.

මේ හේතුවෙන් උන්වහන්සේලාට පිණ්ඩපාතය ලැබුණේ නැත. නින්දා අපහාසම ලැබුණි. නොයෙක් චෝදනාවන්ට ලක් වුණි. එවිට භික්ෂූන් වහන්සේලා “අපට පිණ්ඩපාතයේ වඩින්නට පුළුවන්කමක් නැහැ. අපට මේ සමාජ විරෝධතාව ඉවසා දරා ගැනීමට ද පුළුවන්කමක් ඇත්තෙ නැහැ”යි බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළහ. ඒ මොහොතේ දී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ,

නින්දා අපහාසවලට බිය වෙන්න එපා. මේවා ටික කාලයකින් අතුරුදහන් වෙනවා. සමහර ප්‍රශ්නවලට උත්තර කාලය විසින් ලබාදිය යුතු වෙනවා. සමහර ප්‍රශ්නවලට අපි උත්තර සෙවූ මුත් පිළිතුරක් සොයන්න පුළුවන්කමක් ඇත්තෙ නැහැ. ඉවසා සිටින්න. අසත්‍යයට ලෝකය තුළ කවදාවත් පවතින්න පුළුවන්කමක් ඇත්තෙ නැහැ යනුවෙනුයි.

සාමාන්‍ය සමාජය ටික කාලයක් යන විට සත්‍යය කුමක් දැ යි තේරුම්ගත්තා. තථාගත බුදුරජාණන් වහන්සේ මෙන්ම ශ්‍රාවක භික්ෂූන් නිවැරැදි යැයි අවබෝධ කර ගත්තා.

සාමාන්‍ය පෘතග්ජන වූ අප මෙවැනි ප්‍රශ්නයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා නම් කවදාවත් ම අකම්පිත විය යුතු නැහැ. ලෝකයේ සදාකල්හිම ලාභය හෝ කීර්තිය හෝ ප්‍රශංසාව ලැබෙන අය ඇත්තේ නැහැ. විටක කීර්ති ප්‍රශංසා ලැබෙන විට යම් ආකාරයකින් අලාභ අපකීර්ති ලැබෙනවා.අපට පොදු වූ ධර්මතාවයක් ද පවතිනවා. එනම් සාමාජීය වශයෙන් ජීවත්වන විට ලැබෙන ප්‍රශ්න. එමෙන් ම පූර්ව කර්මය. කොයිතරම් නම් උසස් තත්ත්වයක ජීවත් වූවත් පෙර සංසාරය තුළ කර තිබෙන සමහර කුසල කර්මයන් වඩාත් බලවත් වෙනවා. සමහර අකුසල කර්මයන් ගෙන් කොහෙත් ම ගැළවෙන්නට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට වූවත් ඒ දේට ඒ ආකාරයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අප සාමාන්‍ය පෘතග්ජනයන් ලෙස ආත්ම ශක්තිය ගොඩනගාගෙන නිවැරැදි තැනක සිටියොත් ලෝකයාගෙන් ලැබෙන නින්දාවට මෙන් ම ලාභයට මුහුණදීමේ ශක්තිය ලැබෙනවා.