Print this Article


දානයෙහි අනුසස් ලියා නිම කළ නොහැක

දානයෙහි අනුසස් ලියා නිම කළ නොහැක

" සියල්ල දන් දෙන වෙස්සන්තර රජතුමා අන්තිමට තම දේවියද දානය සඳහා පිදීමට හිත හදා ගන්නේ කෙතරම් අමාරුවෙන් විය හැකිද? එවැනි පිරිපුන් මනසක් සකස් කර ගෙන දන් දෙන උදවිය අද ලෝකයේ නැති තරම්ය. පුහුමාන්නය, ලෝක අපවාදයෙන් බේරීමට තම තමා ගේ නම්බුකාරකම්, බලපුලුවන්කාරකම් පෙන්වීමට දන් දෙන උදවිය වැඩිය. හිත හදාගෙන රොටී කෑල්ලක් වුවත් දානය සඳහා පිදීමට හැකි උදවියට වකුටු කළ අතක් දිගු කරන්නාක් මෙන් දිව්‍ය ලෝකයෙහි පහළ විය හැකි බව ජාතක කතා ආශ්‍රයෙන් මනාව පැහැදිලි වේ. "

ලොව වෙසෙන සෑම සත්වයෙක්ම යමක් ලැබේනම් කැමතිය. එහෙත් බොහෝ විට යමක් පරිත්‍යාගයට අකැමැතිය. එය සැම සමාජයකටම ආවේණික ගති ලක්ෂණයකි. මෙම අවේණික ගති ලක්ෂණය ඡේදනය කොට යමක් දීම සඳහා පෙළඹෙන්නේ නම් එය ජයකි. මානසික වශයෙන් මහා විප්ලවයකි. “දානංච යුද්ධං ච සමාන මාහු” යන පාඨ ආශ්‍රයෙන් පැහැදිලි වන්නේ එම මානසික විප්ලවයයි.

ශ්‍රී ලාංකීය, තායිලන්ත, බුරුම, වියට්නාම්, ජපන්, චීන, ආදි බෞද්ධ ලෝකය තුළ කා අතරත් සාකච්ඡාවට බඳුන් වන අති සුන්දරතම වචනය දානයයි. එය එම කලාපීය ජනයා ගේ ජීවන ප්‍රතිපදාවේ අනිවාර්ය අංගයක් බව පසක් වන්නේ අන් කවරකින්වත් නොව උන්වහන්සේ නමින් අදත් පිදෙන මහා දන් ආශ්‍රයෙනි. බුද්ධ දේශනාවේ අන්තර්ගත කරුණුවලදී දානයට ප්‍රධාන තැන හිමි වී ඇත. පාරමී ධර්මවල පළමු අංකය ද සතර සංග්‍රහ වස්තු, දස රාජ ධර්ම, දස සක්විති වත්, දස පුණ්‍ය ක්‍රියා ආදී සැම ධර්ම විග්‍රහයක දීම පළමුව විග්‍රහ වන්නේ දානය පිළිබඳවයි.

දානය දිය යුත්තේ ඉමහත් සද්ධාවෙනි. දානයක් දීමට පළමුව ලෝභ, ද්වේෂ , මෝහ තුනී කළ යුතුමය. සිත පිරිසුදු වෙනවා සේම ගතද පිරිසුදු විය යුතුය. තම නිවසේ දානය දෙන්නේනම් එම නිවස පිරිසුදු කිරීම කරනුයේ බාහිරින් ද තමා පිරිසුදු බව පෙන්වීමටයි. මේ සඳහා යොදා ගන්නා වස්තුවද පිරිසුදු විය යුතුය. එය සංකේත කරමින් ඔබ පූජා කරන දානයට උඩින් සුදු වස්ත්‍රයක් වසනු දැක ඇතැයි සිතමි. ඒ පිළියෙල කළ දානය පිරිසුදු බව ප්‍රකාශ කිරීමටයි. ඒ විතරක්ද නොවෙයි තමන් තමාගේ චර්යා පද්ධතියද යම් ප්‍රමාණයකට සකසා ගෙන (පේවී) දානයට සූදානම් විය යුතුය.

සෑම බෞද්ධයෙක්ම පාහේ පරිහරණය කරනු ලබන මංගල සූත්‍රයෙන් පරිත්‍යාග සංකල්පය වගේම පුද්ගල බද්ධ යුතුකම් හා වගකීම් සමුදායක් ඉටු වේ. “පූජා ච පූජනීයානං” මෙම වචනයෙන් යමෙක් පිදීමට තවෙකෙනකුට සිතුවිලි පහළ වන්නේද පරිත්‍යාග චේතනා නිසාය. එසේ නොවන්නේ නම් එකිනෙකාට ගරු කිරීමක්. සැළකීමක් නැත. අන් අයට ගරු කිරීම යනුවෙන් අදහස් වන්නේ අනෙකාගේ වහලෙක් වීම නොව එම පුද්ගලයාට සවන්දීම, අවනත වීම, නම්‍යශීලි වීම,අදහස්වලට ගරු කිරීම ආදියයි. එසේ පිදිය යුතු,ගරු කළ යුතු උදවියට ගරු කිරීම සුචරිතවාදී සමාජයක ලක්ෂණයකි.

අප සමාජයේ වැඩිපුරම දාන චේතනාව උපදින්නේ මව්පියන් නිසාය. බොහෝ දරුවන් ජීවත්ව ඉන්න මව පියාට උපස්ථාන කරනවාට වඩා, ගරු කරනවාට වඩා උනන්දුවක්, ආශාවක් ,කැමැත්තක්, දක්වන්නේ මව්පියන් මිය ගිය පසු දාන මානනාදිය පූජා කිරීමටයි. ජීවත්වන අම්මා, තාත්තා දෙදෙනා කෙරෙහි දරුවන්ගේ සැළකිල්ලක් නොවුනත් මිය ගිය පසු නම් අනිවාර්යයෙන්ම දන් දීමට පෙළඹෙනවා ඇත. මව්පියන්ට තම දරුවන් කෙරෙහි සෙනෙහෙවන්තකම උපදින්නේ ද පරිත්‍යාග චේතනාව නිසාය. දරුවන්ට පරිත්‍යාගය මුලින්ම හුරු කරන්නේද මව්පියන්ය. එය පෙරළා අපේක්ෂා කිරීමක් නොකළත් දරුවන් ගේ යුතුකම වන්නේ ඒ සඳහා ප්‍රත්‍යුපකාර කිරීමයි. එය හැඟීමෙන්ම කිරීමෙන් දාන චේතනා මල්ඵල ගැනීමෙන් මහත් කුසලයක්ද අත්පත් වේ.

“පුත්ත දාරස්ස සංගහො” – තමන් ගෙන් යැපෙන අඹුදරුවන් රැක බලා ගැනීමද, ඔවුන් පෝෂණය කිරීමද යුතුකම් සේම වගකීම් වන අතර ඒ සඳහා දාන චේතනාව තිබිය යුතුම ය. එසේ දාන චේතනාව නොවේනම් ඔවුන්ට සංග්‍රහ කිරීමට නොසිතේ. උදාහරණ ලෙස මච්ඡරිය කෝසිය, සිටාණන්ගේ කතා වස්තුවත්, මට්ටකුණ්ඩලී කතා වස්තුවත් ගෙනහැර දැක්විය හැකිය. මංගල සූත්‍රයෙන් පැහැදිලි කරන තවත් කාරණයක් වන්නේ “ඤාතකානංච සංගහො “ යන්නයි. නෑයන් දිනිය හැක්කේ දීමෙන්ම පමණක් බව සංස්කෘත කියමනකින් ප්‍රකට වෙනවා සේම නෑයන් සඳහාද යමක් පරිත්‍යාග කිරීමට ලෝභ චේතනා දුරු විය යුතුය. තම නිවසට එන නෑයාට හදපිරි සෙනෙහසින් ආමන්ත්‍රණය කිරීම සහ බත බුලතින් සංග්‍රහ කිරීම උතුම් මංගල කරුණකි. මංගල සූත්‍රයේ සඳහන් බොහොමයක් මංගල කරුණු කටපාඩම් කිරීමට පමණක් තිබෙන ඒවා නොවේ. ඒවා හැකි පමණ ක්‍රියාවෙහි යෙදවීමට ඇති කරුණුය. ම.නි. මහානාම සූත්‍රයේදී බුදුරදුන් පෙන්වා දුන්නේ මහානාම, ඔබ යම් කෙනෙක්ට පහදිනවාද ඒ තැනැත්තාට දිය යුතුය. මහානාම ඔබ යම් ස්ථානයකට පහදින්නේ ද එම ස්ථානයට දිය යුතුය. මේ කවරාකාරයෙන් වුවත් මහානාම ඔබ දීම හෙවත් දානය පුරුදු පුහුණු කළ යුතුමය. අතහැරීම නම් වූ සසර බැමි සිඳ බිඳ දැමීම පුරුදු පුහුණු කළ හැකි එකම ක්‍රමවේදය වන්නේ යැයි පහදා දෙන ලදී. ජාතක පොතේ සඳහන් බොහොමයක් කතා ඉදිරිපත් වී ඇත්තේ දානයේ ආනිශංස පහදා දීමටයි. එයින් ඇති සුන්දරතම ජාතකය ලෙස සැළකිය හැක්කේ වෙස්සන්තර ජාතක කතාවයි. එහි සියල්ල දන් දෙන වෙස්සන්තර රජතුමා අන්තිමට තම දේවියද දානය සඳහා පිදීමට හිත හදා ගන්නේ කෙතරම් අමාරුවෙන් විය හැකිද, එවැනි පිරිපුන් මනසක් සකස් කර ගෙන දන් දෙන උදවිය අද ලෝකයේ නැති තරම්ය. පුහුමාන්නය, ලෝක අපවාදයෙන් බේරීමට තම තමා ගේ නම්බුකාරකම්, බලපුලුවන්කාරකම් පෙන්වීමට දන් දෙන උදවිය වැඩිය. හිත හදාගෙන රොටී කෑල්ලක් වුවත් දානය සඳහා පිදීමට හැකි උදවියට වකුටු කළ අතක් දිග් කරන්නාක් මෙන් දිව්‍ය ලෝකයෙහි පහළ විය හැකි බව ජාතක කතා ආශ්‍රයෙන් මනාව පැහැදිලි වේ.

දානයේ ආනිශංස මොනවාදැයි ඔබ නිවැරදිව දන්නේ නම් අතට ගන්න බත් පතෙන් බලු කපුටු ආදීන්ට වත් බත් තුලක් නොදී අනුභව නොකරයි. දානය පිළිබඳ කදිම උපමාවක් ඇත. මේ මහ පොළොව පොතක් නම් මහා සාගරය තීන්ත කූඩුවක් නම් මහා මේරු පර්වතය පෑනක් නම් එම පෑනෙන් මහපොළොව නමැති පොතෙහි සාගරය නමැති තීන්ත ගෙන ලීවත් මහ පොළවත්, සාගරේ ජලයත්, මහා මේරු පර්වතයත් ගෙවී සිඳී අවසන් වේ. එහෙත් දානයෙහි ආනිශංස ලියා නිම කළ නොහැක. වසර 2561 ගියත් බෝධිසත්වයන් වහන්සේ පිරූ පාරමී දම්වල බල මහිමය කෙතරම්ද කිවහොත් කියා නිම කළ නොහැකි තරම්ය.

දිනකට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන දානය කෙතරම්ද? එය ප්‍රමාණ කළ නොහැකිය. එම නිසා පුරුදු විය යුත්තේ අවබෝධයෙන් පින්කම් කිරීමටය. එය පුද්ගලයාගේ මෙලොවත් පරලොවත් දෙලොවම සරුසාර කිරීමට හේතු වේ. “ඉද නන්දති පෙච්ච නන්දති.....කත පුඤ්ඤෝ උභයත්ථ නන්දතී” යන ගාථා පාඨයෙන් කියැවෙන්නේ එසේ පින් කරන දවිය දෙලොවම මහත් අභිරුචියෙන් ජීවිතය ගත කරන අතර සතුටින් හා ප්‍රමෝදයෙන් ජීවිතය ගත කරනු නොඅනුමානයි.

දානයෙන් පමණක් ජීවිතය සරසා නොගෙන සීලය ද ප්‍රගුණ කර භාවනාමය ඤාණය ද වැඩිදියුණු කරගෙන මෙලොව පරලොව ජය ගැනීමට වෙහෙසීම ඔබ සතුය.