Print this Article


සැලෙන මනසට වන්දනාව සහනයකි

සැලෙන මනසට වන්දනාව සහනයකි

ජීවිතයේ මුහුණ දෙන අනේක විධ ප්‍රශ්න ගැටලු හමුවේ විටෙක අපි මානසිකව ඇද වැටෙමු. කළ යුතු දේ, නොකළ යුතු දේ, නොදැන වික්ෂිප්ත වෙමු. ඇතැමෙක් අවුල් වියවුල් වූ මනසට සහනයක් බලාපොරොත්තුවෙන් විවිධ මිථ්‍යා සංකල්පයන් පසුපස යමින් තවත් අවුලට පත්වෙති. දරුවන්ගේ කුස පුරවන්නට තිබු ධනය වැය කරමින් කපටි පුද්ගලයන්ගේ මායාකාරි වංචාවන්ට හසුවෙති. එහෙත් බෞද්ධයන් වන අපට තෙරුවන් සරණ හැර අන් සරණක් නැත. පංචශීල ප්‍රතිපදාවට මුල් තැන දෙමින්, ධර්මානුකූලව ජීවන පැවතුම් හසුරුවා ගන්නේ නම් ඒ ධර්මය විසින්ම අප ආරක්ෂා කරනු ලබන්නේය.

බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව, ථූප වන්දනාව, පිරිත් පින්කම් , දානමය පින්කම් ආදි ආගමික පුද පූජාවන් මගින් දැවුනු, තැවුනු සිතට සුවයක්, සහනයක් උදාකර ගත හැකි වන්නේය. දැහැමි ජීවිතයකට ආශිර්වාද ලබා ගත හැකි වන්නේය.

වළගම්බා රජ දවස බැමිණිටියා සාය අවස්ථාවේ සහනය පතා සමහර භික්ෂූන් වහන්සේ රුවන්වැලි මහ සෑ රදුන් අභියස වන්දනාමාන කොට සෙත් පිරිත් සජ්ඣායනා කළ බවක්ද,අනතුරුව දෙවියන්ට පින් දී ආශිර්වාද ලැබ සහනය ලබාගත් බවද වංශ කතාවල දැක්වේ. ඉතා දුෂ්කරතා මැද, දුරකතර ගෙවාගෙන මෙවැනි පින්කම් කළද අද අපට ඉතා පහසුවෙන් එවැනි වන්දනාමාන කටයුතු සඳහා සහභාගිවීමට අවශ්‍ය පහසුකම් ඇත.

අනුරාධපුර පින් බිමේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වඩා හිඳුවමින් විරාජමානව වැඩ හිඳින ස්වර්ණමාලී සෑ රදුන් උදෙසා උසස් පුජාවක් පවත්වන ආකාරය මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

පංචශීල ප්‍රතිපදාවේ පිහිටමින් මෙම පූජාව ඉෂ්ට සිද්ධ කරන්නේ නම් ලද හැකි අනුසස් බොහෝය. නෙළුම් මල් වට්ටියක් සකස් කර ගන්න. ඔබට හැකි පමණින් ගිලන්පස, දැහැත්, ඖෂධ ආදි අනෙකුත් පූජා ද්‍රව්‍යයන්ද පිළියෙළ කර ගන්න. හැකිනම් අෂ්ටපරිස්කාරයක්ද සූදානම් කරගන්න. දැන් ඔබගේ පවුලේ අය අසල්වැසියන් හෝ වන්දනා ගමනට සහභාගි වූ සියලු දෙනා සමඟ හෝ එක්ව මහා සෑ රදුන් ප්‍රදක්ෂිණා කරන්න. අඩුම තරමේ එක් වතාවක් හෝ ප්‍රදක්ෂිණා කළ යුතුවේ. එහිදී සිත සංවර කරගනිමින් සිතිවිලි විසිර යා නොදී බුදුගුණ සිහි කරමින් ‘ඉතිපිසො භගවා අරහං’ යන ගාථාව සජ්ඣායනා කරන්න.

ඉන්පසු සකස් කරගත් පූජා ද්‍රව්‍ය තැන්පත් කොට පහන් දල්වා සුවඳ දුම් පුජා කරන්න. හැකිනම් තෙරුවන් උදෙසා පහන් 24 ක් දල්වන්න. බුදුගුණ නමය වෙනුවෙන් පහන් නමයක් දහම්ගුණ උදෙසා පහන් හයක්, සඟ ගුණ උදෙසා පහන් නමයක් බැගින් දල්වන්න. අසීරු නම් ත්‍රිවිධ රත්නයේ ගුණ උදෙසා එක් පහනක් බැගින් හෝ දල්වන්න.

ඉන්පසු ඝටීකාර, සහම්පතී බ්‍රහ්මරාජයන්ගේ නමින් බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. අනතුරුව පිළිවෙළින්

සක් දෙවිඳුගේ නමින්, සතර වරම් දෙවිවරු නමින් (දෘතරාෂ්ට ,විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ) සෙන්පති දෙවිවරු නමින් (ඉන්ද්‍ර ,සෝම, වරුණ ආදි ලෙස ආටානාටිය සූත්‍රයේ දැක්වෙන ලෙස) මෛත්‍රි බෝධි සත්ත්වයන්ගේ නමින්, විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාගේ නමින්, සදෙව් ලොව වාසී සියලු දෙවියන්ගේ නමින්, නාග ලොව නාග රාජයින්ගේ නමින්, විෂ්ණු , කතරගම, සමන්, විභීෂණ, දැඩිමුණ්ඩ, කළු දේවතා බණ්ඩාර, ආදි භූමාටු මට්ටමේ බලවත් දෙවිවරුන්ගේ නමින්, ස්වර්ණමාලි චෛත්‍ය රාජයාගේ නමින්, බුදු සසුන සුරකින දෙවිවරුන්ගේ නමින්, තමන්ගේ ඉෂ්ටකාමී සම්මා දිට්ඨියෙන් යුක්ත දෙවිවරුන් නමින් බුදුරජාණන් වහන්සේ උදෙසා පහනක් බැගින් දල්වන්න.

දැන් සැදැහැ සිතින් බුද්ධ වන්දනාවේ නිරත වන්න. පන්සිල් හි හෝ ආජීව අෂ්ටමක ශීලයෙහි පිහිටා වන්දනා කොට දෙවියන්ට ආරාධනා කිරීමෙන් පසු පිරිත් දේශනාවක් පවත්වන්න. මෙහිදී විශේෂයෙන් තුන් සූත්‍රයද, ආටානාටිය සූත්‍රයේ ආරක්ෂක පිරිතද සජ්ඣායනය කොට දෙවිවරුන්ට පින් දෙන්න. දැන් තමන්ටත් දරුවන්ටත් ආශිර්වාද ලබා රුවන්වැලි මහා චෛත්‍යයෙහි පාදමට නළල තබා මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා වේවායි තෙවරක් ප්‍රාර්ථනා කරන්න. මවුපියන් හෝ වැඩිහිටියන් විසින් පුංචි දරුවන් ලවා එලෙස නළල තබා වන්දනා කරවන්න. මේ වන්දනාවෙන් ඔබට විශාල ආශිර්වාදයක්, ආරක්ෂාවක් සැලසෙනු ඇත.