Print this Article


රජගහනුවර ඉදිවන වේළුවන ශ්‍රී ලංකාරාමය

රජගහනුවර ඉදිවන වේළුවන ශ්‍රී ලංකාරාමය

රජගහනුවර සිහියට නැගෙන විට අසිරිමත් සම්බුදු සිරිතේ සහ ශාසන ඉතිහාසයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිහියට නැගෙයි.

ජීවමාන බුදුපියාණන් වහන්සේ දවස රජගහනුවර සිදුවූ වැදගත් සිදුවීම් රැසක් වේ.


මුල්ගල තබන ලද අවස්ථාව

ප්‍රථම ආරාම පූජාව වු රජගහනුවර වේළුවනාරාමය බිම්බිසාර රජතුමා විසින් අත පැන් වත්කොට පිදීම නිසා ප්‍රථම ආරාමය ඇතිවී සම්බුදු සසුන චිරස්ථායි විය. රජගහනුවර ලට්ඨිවනයේදි දේශනා කරන ලද මහා නාරද කාශ්‍යප ජාතකය අවසානයේදි බිම්බිසාර රජතුමා ප්‍රධාන පිරිස සෝවාන් ඵලයට පත්වීමද සිදුවිය. ගෞතම බුදුරජාණන් වහන්සේ වස්කාල පහක් පමණ රජගහනුවර වැඩ විසීම සිදු වූහ.

සැරියුත්, මුගලන් දෙනම පැවිදිවීම, ආටානාටිය සූත්‍රය දේශනා කිරීම, මියගිය ඤාතීන්ට පින්දීමේ චාරිත්‍රය අනුදැන වදාළ භූමියවීම, නාලාගිරි දමනය සිදු කිරීම, ඉසිගිලි සූත්‍රය දේශනා කිරීම, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම (රජගහනුවර සප්තපර්ණි ගුහාව) ආදි ඓතිහාසික ස්ථාන රැසක් පිහිටි පුණ්‍ය භූමියකි.

දඹදිව වන්දනාවේ ගිය අපේ බෞද්ධයන් දඹදිව සෑම පූජනීය ස්ථානය කම අපේ භික්ෂූන් වහන්සේ වැඩ වසන අයුරු දැක ඇති. එහෙත් රජගහනුවර දී එය අද්දැකීමට නොලැබුණි. වන්දනාවේ ගමන් විඩාව සංසිදුවා ගැනීමට වැසිකිලි කැසිකිළි පහසුකමක් තේ වතුර කෝප්පයක් සපයා ගැනීමට යමක් උයා පිහා ගැනීමට හෝ පහසුකමක් එහි නොවීය.

රජගහනුවරදී නැරඹිය යුතු ස්ථාන රැසක් පවතින බව පළමුව සඳහන් කළෙමි. එහෙත් ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇති අපේ භික්ෂූන් වහන්සේ නමක් එහි නොමැති වීම වන්දනාකරුවන්ටද පාඩුවක් සේ පෙනේ. රජගහනුවර පැවැති අඩුව යම්තමින් හෝ සපුරාගන්නට හැකිවීම ගැන සතුටුවෙමි. අපේ අනාගත පරපුරට රජගහනුවර පූජනීය ස්ථානයක් ගොඩනැගීමට ආරම්භ කළෙමි.

ඒ සඳහා දැනටමත් කුඩා භූමි භාගයක් මිලදී ගෙන ඇත. වන්දනා කරුවන්ට අවශ්‍ය පහසුකම් එහි ගොඩනැගීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.

රජගහනුවර ඉදිවන වේළුවන ශ්‍රී ලංකාරාමය ගොඩනැගීම සඳහා දිරිගන්වමින් ආශිර්වාද කළ ඉන්දියානු ආනන්ද බෝධි සමාගමේ සභාපති, භාරතයේ ප්‍රධාන සංඝනායක සංකස්සනුවර දේවාවරෝහණ මෛතී‍්‍ර බුද්ධ විහාරාධිපති ආචාර්ය ජුලම්පිටියේ ඤාණරතන නාහිමි, රුක්මල්පිටියේ සද්ධාලෝක නාහිමි, ඇල්ගිරියේ සංඝරතන නාහිමි, පස්ගොඩ චන්දවිමල හිමි, දොඩංගොඩ රේවත නාහිමි, පැලවත්තේ සීවලී හිමි, මේධංකර හිමියන් ප්‍රධාන ඉන්දියානු මහා බෝධි සමාගම, ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස නාහිමි, විමලතිස්ස හිමියන් ශ්‍රී ලංකා මහාබෝධි සමාගම, කහවත්තේ සුමේධ හිමියන් ඇතුළු ඉන්දු ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ආනන්ද හිමියන් ඇතුළු මහා මහින්ද ධර්මදූත සංවිධානය, අස්සජි හිමියන් ඇතුළු ජපන් ශ්‍රී ලංකා බෞද්ධ සංවිධානය රොහන් සමරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික පින්වතුන් කෘතවේදීව සිහිපත් කරමි.

නවදිල්ලිනුවර ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාවේ පරිපාලන ලේකම් ලෙස වසර කීපයක් සේවය කළ අතර රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමය ගොඩනැගීමට ආරම්භ කිරීම මහත් සතුටක් ගෙන දෙන්නකි.