Print this Article


මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට කප් සිටුවීම ජූලි 24 වනදා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට කප් සිටුවීම ජූලි 24 වනදා

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන ශ්‍රී නාථ ,ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි, යන සිව් මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය මෙම වර්ෂයේ වනාහි කටක රවි විසිහතර භාග වූ චන්ද්‍රමාස ක්‍රමයෙන් නිකිණිමස පුර පෑළවිය නම් තිථිය ලත් සඳුදින ශූද්ධ සුර්යෝදයාදි පැය දෙක (02) පසුවී විනාඩි 25 ට හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් ජූලි 24 වෙනි සඳුදින පෙරවරු (6) හය පසුවී විනාඩි 58 ට උතුරු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තිබෙන ලද ‘පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන්හි ප්‍රධාන කොට ඇති සියලු විහාරදේවාලයන්හි පූර්වාභිමත්ව ඇසැළ “කප්” සිටුවීම සුභ බව මහනුවර ඇසළ පෙරහර 2017 සම්බන්ධව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත්කර ඇති විස්තර ප්‍රතිකාවෙන් ප්‍රකාශ කර ඇත. එම විස්තරය අනුව ජූලි 29 වෙනි දින කුඹල් පෙරහරද අගෝස්තු 3 වෙනි දින රංදෝලි පෙරහරද අගෝස්තු 7 වෙනි දින දියකැපුම්, පෙරහරද අගෝස්තු 08 වෙනිදින සිරිත් පරිදි දවල්පෙරහරද පැවැත්වේ.

දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහර පිළිබඳව ශී‍්‍ර දළදා මාළිගාවේදී පවත්වන ලද සාකච්ඡාවකදී මෙම විස්තර දියවඩන නිළමේ විසින් ප්‍රකාශයට පමුණුවන ලදී. මෙම සාකච්ඡාවට සතර දේවාල බස්නායක නිළමේවරුන් ඇතුළු ශී‍්‍ර දළදා මාළිගාවේ කාර්යාල මණ්ඩල ප්‍රධානීහුද රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වූහ.