Print this Article


බුදුපිළිමයේ උපත - 70: දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

බුදුපිළිමයේ උපත - 70:

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව


සාරානාත්හි අශෝක ස්ථම්භයේ ශීර්ෂය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අසිරිමත් බුද්ධ චරිතයෙහි සුවිශේෂි වූ දිනයක් ලෙසින් සටහන් වී පවතී.

බුද්ධගයාවේ සත්සතිය ගත කරමින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ කිලෝමීටර් දෙසිය පනහක් පමණ දුර ගෙවා පා ගමනින් සාරානාත් හෙවත් නූතන සාරානාථයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ ඈත වඩිනු දුටු පස්වග තවුසන් සිතුවේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සියලු දුක් විඳීම් ඉවත දා නැවතත් සැපවත් ජීවිතයට පත්වී ඇති සේයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නොදැක්වීමට පළමුව ඔව්හු කතිකා කරගත්හ.


ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් සාරානාත්
බුද්ධ ප්‍රතිමා වහන්සේ

එසේ වුවද බුදුරජාණන් වහන්සේ විසින් පස්වග තවුසන් සමීපයට වැඩම කරවන ලද අවස්ථාවේදී ඔව්හු සිය කැමැත්තෙන්ම නැගිට බුදුරජාණන් වහන්සේට ගෞරව හා පුද සත්කාර දැක්වීමට පටන් ගත්හ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ළංවත්ම ඔවුහු තමන් කතිකා කරගත් පරිදි පිහිටා සිටීමට නොහැකිවිය. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්තේය. එක් තවුසෙක් පා සේදීමට දිය ද පා පුටුවද පාද කඨලිකාවද ගෙනවුත් ළං කොට තැබීය. (ශාක්‍යමුනීන්ද්‍ර‍්‍රවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමින්වහන්සේ පි. 81 -1986)

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූයේ සාරානාත්හිදීය. ඉහතින් සඳහන් කළ ආකාරයට පස්වග මහණුන්ගේ හැසිරීම දුටු බුදුරජාණන් වහන්සේ ට පස්වග මහණුන් විසින් (ආවුසො) ඇවැත්නි කියාත් කථා කරන්නට පටන් ගත්හ. එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන්ට “මහණෙනි මට ආවුසො වාදයෙන්වත් නම කියාවත් අමතන්න එපා. තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, ඇහුම්කන් දෙන්න මම නිවන අවබෝධ කළෙමි. මම ධර්මය දේශනා කරමි. මාගේ අනුශාසනා පරිදි පිළිපදින්නෙකුට මෙලොවදීම රහත් විය හැකියැයි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට නැවතත් කරුණු පහදා දුන් සේක. දෙවන වතාවටත් ඔවුහු උන්වහන්සේගේ මේ කීම නොපිළිගනිමින් තම කතාවම කීහ.

තෙවන වර භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මේ ආකාරයෙන් කරුණු පැහැදිළි කළහ. “මහණෙනි! මින් පෙර කවදාවත් මා ඔබලාට මෙවැනි කතාවක් කියනවා අසා තිබේද? නැත ස්වාමීනි, මහණෙනි මම ප්‍රත්‍ය බහුල නොවෙමි. ප්‍රධන් වීර්යයෙන් නොපිරිහුනෙමි. ප්‍රත්‍ය බහුලත්වයට නොපෙරළුනෙමි. තථාගතයන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙති. ඇහුම්කන් දෙන්න. මම නිර්වාණාවබෝධය කළෙමි. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. (මජ්ක්‍ධිම නිකාය අරිය පෙරියේසන සුත්ත පි. 420)

මහාවග්ග පාලියෙහි සඳහන් වන ආකාරයට බුද්ධත්වයට පත්වීමෙන් සති හතක් ඉක්මගිය පසු තම අතීත මිත්‍රයන් වූ පස්වග තවුසනට ධර්මාවබෝධය ලබාදීම සඳහා පාගමනින් බරණැස බලා වඩින අතරමගදි හමුවු ආජිවකයෙකු බුදුරජාණන් වහන්සේගෙන් තම ගුරුවරයා කවරෙක්ද? ආදි වශයෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් තමන් වහන්සේ බුදුබවට පත්වූ බවත් ගුරුවරයෙකු නොමැති බවත් ප්‍රකාශ කර ඇත.එසේම ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීමට බරණැස වඩින බවත් පැහැදිළි කළහ.


සාරානාත්හි ධමෙක් ස්තූපය

ඒ අනුව උන්වහන්සේ ධර්මය හඳුන්වා ඇත්තේ චක්‍රයකටය. මෙහි චක්‍රය ප්‍රවර්තනය කිරීම යනු ධර්මයේ අණසක කිසිදු වෙනසකින් තොරව ලෝකයෙහි පැවැත්වීමයි. අනික් අතින් මෙම සූත්‍රයට ඇතුළත් චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවර්තික ද්වාදසාකාරයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. මේ අනුව චක්‍රය විවිධ ආකාරයෙන් අර්ථවත් කිරීමට බෞද්ධ කලාශිල්පවල යොදාගෙන තිබුණද ප්‍රථම ධර්ම දේශනය පවත්වන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමේ පිළිගත් සංකේතය බවට පත්ව ඇති අන්දම සාංචි, භාරුත්, අමරාවති හා ගන්ධාර වැනි ස්ථානවල මූර්ති කැටයම්වලින් දැකගත හැකිය. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ පි. 56-57 2010)

සාරානාත්හි ප්‍රථම ධර්ම දේශනය බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලදුව පරිබ්‍රාජිකයින් ලෙසින් සිටි කොණ්ඩඤ්ඤ භද්දිය ,වප්ප, මහානාම සහ අස්සජි යන මහණුන් වහන්සේලා පස්දෙනා ප්‍රථම භික්ෂූන් වහන්සේලා ලෙසින් සම්බුද්ධ ශාසනයට ඇතුළු වුහ. පංච වග්ගිය භික්ෂූන් ලෙසින් සැලකෙන්නේ මෙම භික්ෂූන් වහන්සේලා පස්නමය.බරණැස සිටුවරයෙකුගේ පුතෙකු වූ යසකුල පුත්‍රයා ද ඉන්පසුව මහණ වූයේය. ඔහුගේ මිතුරන් පනස් හතර දෙනෙකුද බුදුසසුනේ මහණ වූහ. අනතුරුව එම සැටනම ධර්මය දේශනා කිරීම සඳහා විවිධ ප්‍රදේශවල සැරිසරන ලෙස ඉල්පුර පසළොස්වක පෝදා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සේක.

අසෝක රාජ යුගයේදී (ක්‍රිස්තු පුර්ව 272-232) කාලයේදී සාරානාත්හි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම අරමුණු කරගෙන ඉදිකරන ලද අසෝක ස්තම්භයෙහි සතර දිසාව බලාගෙන සිටින සිංහයින් සතර දෙනෙකු නිරූපණය කර ඒ ප්‍රතිභාපූර්ණ මුර්තිය මත ධර්මචක්‍රය ද නිරූපණය කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙකල ඉන්දියාවේ රාජ්‍ය නිල ලාංඡනය වන්නේද මෙම අසෝක ස්තම්භයේ ශීර්ෂයවීමයි.

බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන ආකාරය නිරූපණය කෙරෙන මූර්තියක් (බුදුපිළිමයක්) වැඩ හිඳින අයුරු සාරානාත් හි දැකගත හැකිය. පුරාණ භාරත දේශයේ සාහිත්‍ය මූර්තිකලාව හා විවිධ කලා ශිල්පවලද ස්වර්ණමය යුගය ලෙසින් සැලකෙන ගුප්ත රාජ යුගයේදී ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී මෙම සමාධි ප්‍රතිමාව නිර්මාණය කර ඇත. එම සමාධි ප්‍රතිමාවේ ධර්මචක්‍රය නිරූපණය වන අන්දමින් බුදුරජාණන් වහන්සේගේ දෑතෙහි ඇඟිලි මුර්තිමත් කර ඇති අන්දම ඉතා විශිෂ්ටය.මෙම මුද්‍රාව ධර්මචක්‍ර මුද්‍රාව ලෙසින්ද ප්‍රකටය.

එමෙන්ම අසෝක රජතුමා විසින් ක්‍රි.පූ. 272-232 ) කාලයේ සාරානාථයේ ඉදිකරන ස්තූපය ඉහත සඳහන් ගුප්ත රාජයුගයේදී විශාල කර සාදන ලදී. එය ධමෙක් ථූපය නමින් ප්‍රකටය.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 69:  අජන්තාවේ සිතුවම් ගුහාවල දොරටු නිර්මාණය