Print this Article


සඟ සසුනේ මූලාරම්භයයි බරණැස ඉසිපතනයයි

සඟ සසුනේ මූලාරම්භයයි බරණැස ඉසිපතනයයි

දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කිරීම සඳහා පසුබිම වූ බරණැස ඉසිපතනාරාමය බෞද්ධ ජනතාවගේ අවධානයට ලක්වන වැදගත් භාරතීය බෞද්ධ පූජනීය ස්ථානයකි.

බුදුරදුන්ගේ ප්‍රථම ධර්මදේශනය හා වස් සමාදානය, භික්ෂු ශාසනයේ ආරම්භය මෙන්ම ප්‍රථම පැවිද්ද, ප්‍රථම සෝවාන් හා රහත් භික්ෂු ශාසනයේ ඇතිවීම, යසකුල පුතුගේ පැවිද්ද, උපාසක උපාසිකා පිරිස ශාසනයේ ප්‍රථමයෙන් ඇතිවීම, ප්‍රථම රහත් සැටනම ධර්ම දේශනා කිරීම සඳහා වැඩම කිරීම යන කරුණු ඒ අතරින් වැදගත්ය. බෞද්ධයන් විසින් දැකිය යුතු බැලිය යුතු මෙන්ම වැඳ පුදා සංවේගයක් ඇති කරගත යුතු සතර ස්ථාන අතරින් එක් තැනක් ලෙස පළමු ධර්මදේශනාව පැවැත් වූ ස්ථානය ද පරිනිබ්බාන සූත්‍රයේ දක්වා ඇත. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන්ගේ පැවිද්දත් සමඟ සඟ සසුනේ මූලාරම්භය සනිටුහන් වන අතර උන්වහන්සේ සෝවාන් හා රහත් ඵලයට පත්වීම ද මෙම භූමිය තුළම සිදුවීය. ඒ නිසා බරණැස ඉසිපතනයේ ඓතිහාසිකත්වය නිරන්තරයෙන්ම වැඩි වූ අතර මෙම පුණ්‍ය භූමිය දිගුකාලීනව වැදගත්ව පැවැති බවද ඓතිහාසික සාක්ෂිවලින් සනාථ වේ. එබැවින් ඇසළ පෝයත් සමඟ මතකයට එන බරණැස ඉසිපතනාරාමයේ ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන මඳක් විමසා බැලිය යුතු ය.

සෘෂිවරුන්ගේ වාස භූමියක් හෝ අසපුවක් මෙන්ම ඉසිවරුන් නිරතුරුව ගැවසීගත් ප්‍රදේශයක් වූ බැවින් ‘ඉසිපතන’ යන්නෙන් පුරාණයේ දී මේ ස්ථානය හඳුන්වනු ලැබුව ද අද ‘සාර්නාථය’ යන්නෙන් වඩාත් ප්‍රසිද්ධව ඇත. නිග්‍රෝධමිග ජාතකයට අනුව බෝධිසත්වයන් වහන්සේ මුවන්ගේ ප්‍රධානියාව සිටි අවධියේ සාරංගනාථ නාමයෙන් හඳුන්වා තිබේ. ඇතැම්හු මෙම නාමය පදනම් කොට, මුවන්ගේ අභය භූමියක් (මිගදාය) ලෙසින් සැලකූ ඉසිපතනය සාර්නාථය ලෙසින් හඳුන්වන්නට ඇතැයි අනුමාන කෙරේ.

සාර්නාථයේ ඓතිහාසිකත්වය ක්‍රි.ව. සවැනි සියවස දක්වා ඈත අවධියකට සම්බන්ධ කරලීමට සාහිත්‍යමය මූලාශ්‍රයන් පොහොසත් මුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි විරලය. නමුත් මෞර්ය පාලන අවධිය වූ ක්‍රි.පූ. තෙවැනි සියවසේ දොළොස්වැනි සියවස තෙක් පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙම ස්ථානයේ ඇති බැවින් අඛණ්ඩ ඉතිහාසයක් සාර්නාථය සම්බන්ධයෙන් ගොඩ නැඟිය හැකිය.

සංඝ සාමගි‍්‍රය අරභයා පේළි එකොළහකින් යුත් සංඝ සාමගි‍්‍ර ලිපියක්, උසින් අඩි හතළිහකට වැඩි, රතුවන් ඔපවත් පාෂණයන්ගෙන් නිමවන ලද කුළුණක අශෝකයන් විසින් ලියා ඇත. ඒනිසා ප්‍රථම අභිලේඛනය මේ ස්ථානයේ පිහිටුවීමේ ගෞරවය මෞර්ය පාලක අශෝකයනට හිමි වේ. එම ලිපියට අනුව මෙම ස්ථානයේ කිසිම භික්ෂුවක් හෝ භික්ෂුණියක් භේද නොවිය යුතු ය. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් සංඝභේදය ඇති කරලීම සඳහා උත්සාහ දරන්නේ නම් ඔහු හෝ ඇය සුදු වත් හඳවා අනාවාසයේ තැබිය යුතු ය. ආදි ලෙසින් පොහෝ දිනවල උපාසක උපාසිකාවන්ගේ මෙන්ම මහාමාත්‍රවරුන්ගේ දැන ගැනීම සඳහා ලියා තැබිය යුතු බවත් මෙහි සඳහන්ව ඇත. අශෝක රජුගේ අනුග්‍රහ මත සිදු කළ තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු මෙම ලේඛනය පිහිටුවන්නට ඇතැයි අනුමාන කෙරේ. එමෙන්ම මෙම ස්ථානයට පැමිණි බැතිමතුන් විසින් කළ විවිධ පූජාවන් සම්බන්ධ තවත් අභිලේඛන රැසක් හමු වී ඇත.

සාර්නාථයේ ඇති නටබුන් පිරික්සන විට එහි මුල් ස්ථුප නිර්මාණය ද මෞර්ය යුගයට අයත් බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව සනාථවන කරුණකි. ධම්මරාජිකා ස්ථුපය මෞර්ය යුගයේ දී ඉදිකරන ලද බව එම ස්ථානයේ කළ කැණීම් වලින් පැහැදිලි වේ. මුල් ස්ථූපය අඩි 13.45 ක පමණ විශ්කම්භයකින් යුතුව මෞර්ය යුගයේ දී නිමකරන්නට ඇතැයි ද පසුව කලින් කලට එහි විශ්කම්භය හා උස ප්‍රමාණය වෙනස් කරමින් ප්‍රතිසංස්කරණයන් කරන ලදැයි ද පුරාවිද්‍යාඥයන් විසින් අනුමාන කෙරේ.

ධම්මරාජික ස්ථුපයට මඳක් ඔබ්බෙන් පිහිටි ධම්මෙඛ ස්ථුපය ද සාර්නාථයේ ඓතිහාසිකත්වය විදහා පෙන්වයි. සිලින්ඩරාකාර හැඩයකින් නිමවා ඇති උසින් අඩි 42.6 පමණ හා විශ්කම්භය අඩි 28.5 පමණ වන මෙම ස්ථුපයේ මුල් නාමය ධර්ම චේතිය බව ක්‍රි.ව. 1026 දී පිහිටුවන ලද අභිලේඛනයකින් සනාථ වේ. 20 වැනි සියවසේ මුල් කාර්තුවේ දී පුරාවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ඛනිම්හැම් විසින් මෙම ධම්මෙඛ ස්ථූපයේ කළ කැණීමකින් ධාතු කරඬුවක් සොයා ගනු ලැබීය.

එමෙන්ම මෙම ස්ථූපයේ ගර්භය වටා ඇති ගල් පුවරු මත මූර්තිමත් කොට ඇති මානව, සත්ව හා ලිය මෙන්ම මල් කැටයම් පුවරු පුරාතන භාරතීය කලා සම්ප්‍රදායේ ශිල්පීය ප්‍රතිභාව විදහා පෙන්වයි.

ධම්මරාජිකා ස්ථුපයට සමීපයෙන් පිහිටි ගන්ධකුටි විහාරය බුදුරදුන් වැඩ සිටිය කුටිය ලෙසින් මෙන්ම උන්වහන්සේගේ ප්‍රථම වස් සමාදානය සිදු කළ ස්ථානය ලෙසින්ද සැලකේ. එමෙන්ම ගන්ධකුටියට යාබදව හමු වූ ක්‍රි. ව. පළමුවැනි සියවසට අයත් බෝධිසත්ව පිළිමයක සඳහන්ව ඇති ‘චංකමන’ යන වචනය පදනම් කර ගනිමින් බුදුරජාණන් වහන්සේ සක්මන් කළ මලුව ද ගන්ධකුටිය සමීපයේ ම වූ බව පුරාවිද්‍යාඥයන් විසින් අනුමාන කෙරේ.

ප්‍රධාන සිද්ධස්ථානයනට දකුණින් කිලෝ මීටර් භාගයක පමණ දුරකින් පිහිටි ඡුක්ඛන්දී හෙවත් සම්මුඛ ෙචිතිය බුදුරදුනට පස්වග තවුසන් හමු වූ ස්ථානය ලෙසින් සලකනු ලබන අතරම අශෝක රජුගේ නිර්මාණයක් ලෙසින්ද ඇතැම්හු විශ්වාස කරන මූත් සනාථ කරලීම සඳහා පුරාවිද්‍යාත්මක සාධක විරලය.

මීට අමතරව ප්‍රධාන විහාර භූමිය වටා විවිධ යුගයන්හි නිමවන ලදැයි සිතිය හැකි ආරාම සමූහයක් දැකගත හැකිය. හියුං සියැං සඳහන් කරන ආකාරයට භික්ෂූන් එක්දහස් පන්සියයක් පමණ ඔහු පැමිණි සත්වැනි සියවස වන විට මෙම ස්ථානයේ වාසය කර තිබේ.

පුරාවිද්‍යාඥයන් විසින් ආරාම සංකීර්ණය අයත් ගොඩනැගිලිවල පදනම් රාශියක් දැනට මතු කර ගෙන ඇති අතරම සමහරක් තහවුරු කර ද තිබේ. එමෙන්ම විහාර භූමිය තුළ විවිධ යුගවලට අයත් වන, භස්මාවශේෂයන් තැම්පත් කරමින් ගලින් නිමවා කැටයමින් අලංකාර කර තිබෙන අනුස්මරණීය කුඩා අනුස්මරණීය ස්ථුපයන් රැසක් ද සුරක්ෂිතව ඇත. මෙහි වැඩ සිටි භික්ෂූන් හෝ එවකට ශාසනයේ ප්‍රධානින් ලෙසින් විසූ තෙරුන් වහන්සේලාගේ යැයි සිතිය හැකි මෙම කුඩා අනුස්මරණීය ස්ථූපයන් හා විහාර භූමියේ ඇති ඇතැම් ආරාමීය සැලැසුම් ද මුල් කාලයේ දී ථෙරවාදී මධ්‍යස්ථානයක් වූ සාර්නාථය පසු කාලය වන විට මහායානික භික්ෂූන්ගේ වාසභූමියක් වූ බව නිහඬව කියා පායි.

දැනට සාර්නාථයේ කර ඇති කැණීම් වලින් විවිධ යුගවලට අයත් බුද්ධ ප්‍රතිමා මෙන්ම බෝධිසත්ව පිළිම මෙන්ම අනෙකුත් මූර්තීන් රැසක් ද හමු වී ඇත.

මූලගන්ධ කුටිය සමීපයෙන් හමු වූ කුෂාණ යුගයට අයත් විශාල බෝධිසත්ව ප්‍රතිමාවද සුවිශේෂී වූවකි. අක්ෂර සහිත පැරැණිතම බෝධිසත්ව ප්‍රතිමාව ලෙසින් මෙය සැලකේ.

අශෝක කුළුණෙහි වූ කුළුණු හිස මෞර්ය කලා සම්ප්‍රදායේ විශිෂ්ටත්වය විදහා දක්වන අතර බෞද්ධ ධර්මයේ ඇති සුවිශේෂත්වය ව්‍යංගාර්ථවත්ව ප්‍රකාශ කරයි. සිංහයන් සිවු දෙන බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය සිංහ බව විදහා පෙන්වන අතර සිවු දිසාවට මුහුණ ලා ගරාදි 32 ක් පමණ ඇති විශාල ධර්ම චක්‍රයක් දරා සිටීමෙන් ධර්මය සිවු දිශාවනට පැතිරී ගිය ආකාරය දක්වයි.

දොළොස්වැනි සියවස තෙක් දියුණු බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසින් පැවැති සාර්නාථය ඉන්පසු එල්ල වූ විදේශිය ආක්‍රමණයනට ක්‍රමයෙන් ගොදුරු වීමත් සමඟ එහි පරිහානිය ද කඩිනම් විය.

කැණීමක දී එකම කාමරයක තැම්පත් කොට තිබූ විශාල බුද්ධ ප්‍රතිමා රාශියක් සොයාගත් ඇලෙක්සැන්ඩර් බනිම්හැම් දක්වන ආකාරයට මෙලෙසින් එල්ල වූ ආක්‍රමණ අවස්ථාවකදී මෙහි විසූ භික්ෂූන් විසින් ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයෙන් මෙම ප්‍රතිමා බේරා ගැනීම සඳහා මෙසේ තැම්පත් කරන්නට ඇති බවය. ලක්දිවින් ඉන්දියාවට පැමිණි බෝධි සත්වගුණෝපේත අනගාරික ධර්මපාලතුමා බෞද්ධ සිද්ධස්ථානයන් පත්ව ඇති තත්ත්වත් බෞද්ධ පුරාවස්තුවලට වන විනාශයත් සියැසින් දැක තිර අදිටනින් ගත් ක්‍රියා මාර්ගවල ප්‍රතිඵලයක් ලෙසින් වර්තමානයේ දී සමස්ත බෞද්ධයනට බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසින් බුදුරදුන්ගේ ප්‍රථම ධර්මදේශනය කළ ස්ථානය මෙන්ම සඟසසුනේ සමාරම්භය සනිටුහන්කළ බරණැස සාර්නාථය බලා ගැනීමේ අවකාශය ද සැලසෙනු බව සඳහන් කළ යුතු ය.