Print this Article


ඇසළ පොහෝ දින අසිරිය

ඇසළ පොහෝ දින අසිරිය

ඇසළ පුර පසළොස්වක පෝය දින සමස්ත බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් මාලාවකට මුල් වූ නිසාය.

එනම්

සිදුහත් බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය සිදුවීම,

මංගල ධර්ම දේශනය පැවැත්වීම,

මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම ආදියයි.

සිද්ධාර්ථ බෝධිසත්වයෝ පූජනීය මවකගේ කුසෙහි පිළිසඳ ඇත්තේ මෙවන් ඇසළ පොහෝ දිනක දී ය. තුසිත දෙව්ලොව අවසන් භවය ගත කළ උන්වහන්සේ ඉන් චුතව උතුරුසල නැකතින් මව්කුස පිළිසිඳ ගත්හ. බෝසතුන් මහාමායා දේවිය කුස පිළිසිඳ ගත් අවස්ථාවේ සිදු වූ අසිරිමත් සිදුවීම් බුද්ධවංස අටුවාවේ මෙසේ දැක්වේ.

දස දහසක් ලෝක ධාතු කම්පාවීම, දෙතිස් පෙර නිමිති පහළ වීම, බෝසත් මවට රාග සිත් පහළ නොවීම, සතරවරම් දෙවිවරු ආරක්ෂාව සැපයීම, මවට රෝගාබාධ පහළ නොවීම, බෝසතුන් වැඩ සිටි මාතෘ ගර්භයේ අන් සත්වයන්ට වාසය කළ නොහැකිවීම, හා දස මසක් කුස තුළ සිට මව සිටගෙන සිටිය දී දරු ප්‍රසූතිය සිදු වීම යනුවෙනි.

මෙවැනි සුවිශේෂී ධර්මයන් සිදුවීම බෝධිසත්ව මාතෘධර්මතාව ලෙස අටුවාව විග්‍රහ කරයි. දීඝ නිකායේ මහාපදාන සූත්‍රයට අනුව සියලු බෝසතුන්ට පොදු ධර්මතා රාශියකි.

බෝසතුන් තුසිත දෙව්ලොවින් නික්ම මනා සිහි නුවණින් මව් කුස පිළිසිඳ ගැනීම, මව්කුස පිළිසිඳ ගත් විගස ලෝක ධාතුව තුළ ආලෝකයක් පැතිරීම, බෝසතුන්ට හා මවට සතරවරම් දෙවිවරු රැකවරණය සැලසීම, බෝසත් මව සැමවිට ම සිල්වත් වන අතර කුස පිළිසිඳ ගත් පසු තමා ම සිල් සමාදන් වීම, බෝසත් මවට කිසිදු පිරිමියෙකු පිළිබඳ රාගික හැඟීම් ඇති නොවීම හා බෝසත් මව පිළිබඳව ද අන් පිරිමින්ට රාගික බැඳීම් ඇති නොවීම, බෝසත් මවට රෝග තත්ත්වයන් ඇති නොවීම, දස මසක් ඇවෑමෙන් දරු ප්‍රසූතිය සිදු කිරීම හා බෝසතුන් ඉපිද සත් දිනකින් මව මිය යාමය.

මහා අභිනිෂ්ක්‍රමණයද සිදු වූයේ ඇසළ පොහෝ දිනකදී ය. බෝසතුන් ගිහි ජීවිතය ගත කළ ආකාරය මනෝරථපූරණී අටුවාවෙහි සවිස්තරාත්මකව සඳහන් වේ. සෘතු තුනට ගැළපෙන ආකාරයට රම්‍ය සුරම්‍ය සුභ යනුවෙන් මන්දිර තුනක සුවපහසු දිවියක් ගත කළ හ.

හේමන්ත ප්‍රාසාදයේ උස මහල් නවයක් වූ අතර සීතල නැති කොට උණුසුම ඇති කිරීමට භූමිය විෂමව සැකසී ය. දොර ජනෙල් ස්පර්ශ වන සේ විවර නොවීය. උණුසුම ගැන්වීමට ජනෙල් දිවා කල විවෘතව තබා රාත්‍රී කාලයේ පමණක් වසා තැබීය. ගිම්හාන ප්‍රාසාදයේ උස මහල් පහකි. මාළිගා අභ්‍යන්තරයේ සීතල ඇති කිරීම සඳහා භූමිය උස්ව සැකැසීය. දොර ජනෙල් විවර සහිතව ද ජනේල සමීපයේ පැන් පිර වූ කලස් ද ඇතුළු ගෙයි තුළ මඩ පිරුණු ඔරු තබා පියුම් රෝපණය කොට ඇත. වස්සාන ගෘහයේ උස මහල් හතකි. ඉහත දැක් වූ මාළිගා දෙකෙහි අංග එහි දක්නට ලැබේ.

මෙවැනි රාජකීය සැප සම්පත් පරිහරණය කළත් උන්වහන්සේගේ ඒකායන අරමුණ වූයේ අභිනිෂ්ක්‍රමණය කොට බුද්ධත්වය ලබා ගැනීමය. අභිනික්ඛමති යන ක්‍රියා පදයෙන් විග්‍රහ වන්නේ කාමයෙන් ඉවත්වීමය. නැතහොත් ගෘහ ජීවිතයෙන් නික්ම යාමයි.

සිද්ධාර්ථ බෝසතුන්ට මහල්ලෙක්, ලෙඩෙක් , මළ කඳක් හා පැවිදි රුවක් යන සතර පෙර නිමිති නො දකින්නට සුද්ධෝදන රජතුමා කෙතරම් ආරක්ෂාව සැලසුව ද උන්වහන්සේ එම නිමිති දුටුවහ. බෝසත් මව මිය යාම, සුද්ධෝදන රජු වයසට යාම ආදිය තරුණ අවධියේ සිටි බෝසතුන්ට නො සැඟවිය හැකි කාරණා ය. අභිනිෂ්ක්‍රමණය සඳහා සතර පෙර නිමිති පමණක් නොව වෙනත් බොහෝ සාධකයන්ද බලපා ඇති බව විමර්ශනය කළ හැකි ය.

අභිනිෂ්ක්‍රමණය කිරීමට බලපෑ විශේෂ සිද්ධියක් නම් එකල භාරතීය සමාජයේ පැවැති ආගම් වල බහුවිධ ස්වරූපයයි. ශාස්වත උච්ඡේදවාදී විවිධ දෘෂ්ටි ඇති සමාජයක පැරැණි සාම්ප්‍රදායික පවුරු සීමාවෙන් ඔබ්බට ගොස් නිදහසේ සිතීමට විමසීමට අවස්ථාවක් උදා වූ නිසාවෙන් විමුක්තිය යනු කුමක් ද එය ලබා ගත යුතු මාර්ගය කුමක් ද යන සත්‍ය පිපාසාවෙන් පෙලීම නිසා එහි ප්‍රතිපලයක් වශයෙන් අභිනිෂ්ක්‍රමණය සිදු විය. යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය යන පුද්ගල ජීවිතයේ අවධි තුන මහල්ලෙක් , ලෙඩෙකු, මෘත ශරීරයක් යනුවෙන් සංකේතාත්මක දැක්වීම මෙහි දී සිදු විය.

සිද්ධාර්ථ බෝසතුන්ට ගිහි ජීවිතයේ සංවේගය ඇති කළ හේතුන් අංගුත්තර නිකායේ අත්ත දණ්ඩ සූත්‍රයේ දැක්වේ.

“ආයුධ අතැතිව කෝලාහල කරන්නේ කෙසේ ද බලන්න. ජලය අඩුවීමෙන් දඟලන්නා වූ මත්ස්‍යයන් මෙන් කෝලාහල කරන්නා වූ ජනතාව දැක මා තුළ ඇතිවන්නේ බියකි. ලෝකය සෑම අතින් ම නිසරු බව වැටහිණි. පිහිටක් සොයන්නා වූ මට නිර්භය ස්ථානයක් හමු නොවීය.’

මෙලෙස බුද්ධත්වයට පෙර අවධියේ ජාති, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව ආදී ක්ලේෂ ධර්මයන්ට විසඳුමක් සෙවීමේ ප්‍රතිඵලක් ලෙස ගිහි ගෙය අත් හැර ගිය බව පෙනේ.

අභිනිෂ්ක්‍රමණයේ වැදගත් සංධිස්ථානය නම් රාහුල කුමරුගේ උපතයි. මෙය සුද්ධෝදන රජුට පී‍්‍රතිය කරුණක් වීය. ඒ පිළිබඳ පුවත බෝසතුන් වෙත යවන්නෝ වෙත යවන්නේ පුත්‍ර බැඳීමත් සමඟ ගිහි ගෙය හැර යාම නැවත්වීමේ අධිෂ්ඨානයෙනි. නමුත් රාහුල උපත බන්ධනයක් වූ හෙයින් එදින ම අභිනිෂ්ක්‍රමණය සිදු විය. රාහුල කුමරුගේ උපත සිදු වී ඇත්තේ ද ඇසළ පොහෝ දිනක දී ය. අභිනිෂ්ක්‍රමණය කිරීමේ දී ඉදිරියට පැමිණි මාරයා මෙසේ ප්‍රකාශ කළේ ය.

මහාවීරයන් වහන්ස, අභිනිෂ්ක්‍රමණය නො කරන්න. තව දින හතකින් ඒකාන්තයෙන් ඔබට දිබ්බරත්නය පහළ වේ. මාරයාගේ මෙම ප්‍රකාශය අලුයම හෙළන ලද කෙළ පිඬක් සේ ඉවත දමා ගිහි ගෙය හැර ගොස් අනෝමා ගං තෙරදී උතුම් පැවිදි භූමියට පත් වූයේ ද ඇසළ පොහෝ දිනක දී ය.

බුද්ධත්වය ලැබීමෙන් පසු ලෝක සත්වයා වෙත ප්‍රථම දහම් පණිවුඩය ලබා දී ඇත්තේ ද ඇසළ පොහෝ දිනකදී ය. බරණැස ඉසිපතන නම් මුවන්ගේ අභය භූමියක වාසය කළ පස්වග තවුසන් උදෙසා දම්සක් පැවතුම් සූත්‍රය නමැති පෙර නො ඇසූ උතුම් සද්ධර්මය දේශනා කළහ. එය ප්‍රථම ධර්ම දේශනයයි.