UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉඳුරුව ගල්බඩ කටුකොළිහ සද්ධර්මෝදය පිරිවෙන

129 වසර සපුරති

ඉඳුරුව ගල්බඩ කටුකොළිහ සද්ධර්මෝදය පිරිවෙන

ඉඳුරුව, ගල්බඩ, කටුකොළිහ, ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන ආරම්භ කොට ජූලි 01 වැනිදාට වසර 129ක් සපිරේ. ඒ කටුකොළිහ චේතියගිරි විහාරස්ථානයට අනුබද්ධ බෙන්තොට, රන්දාගොඩ, ශ්‍රී දේවපි‍්‍රයාරාම විහාරස්ථ භූමියේදී ය. එම පිරිවෙන 1888 ජූලි 01 වැනිදා ආරම්භ කරනු ලැබුවේ එවකට චේතියගිරි විහාරාධිපති පදවිය හෙබවූ ගාලු පළාතේ ද්විතීය සංඝනායක ගෝනගල ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් විසිනි. උන්වහන්සේ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍ය හිමිනමක් වූ නිසා එම විද්‍යෝදය පිරිවෙනේ ආදි කර්තෘවරයාණන් වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ද මෙ පිරිවෙන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වී ඇත.

1925 වන විට චේතියගිරි විහාරස්ථානයේ අධිපතීත්වයට පත් වූයේත් මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍ය හිමි නමක් වූ දෛවී භාෂා (සංස්කෘත) විශාරද කළුතර ශි‍්‍ර ඥානවිමල හිමියන්ය. ඒ වසරේදීම, එතෙක් රන්දාගොඩ විහාරස්ථානයේ පවත්වාගෙන ගිය සද්ධර්මෝදය පිරිවෙන, කටුකොළිහ චේතියගිරි විහාරස්ථ භූමියේ ස්ථාපිත කරවන ලද්දේ ඥානවිමල හිමියන් විසිනි.

ඒ වකවානුවේ මෙම පිරිවෙනේ බංග්ලාදේශ, ටිබෙට් ජාතික, හිමිවරුන් රැසක් ඉගෙන ගැනීම සඳහා පැමිණ තිබේ. ඥානවිමල හිමියන් මේ අතර බුරුමයට වැඩම කොට එහි විහාරස්ථානයකින් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ආකෘතියක් මෙරටට ගෙනැවිත් ඇත්තේ එම ආකෘතිය යටතේ බුදු මැදුරක් ඉදි කිරීම සඳහාය. ඒ අනුව 1944 දී එම බුදු මැදුරට මුල්ගල් තබා ඇති අතර, පසු කලෙක ඉතා ශාන්ත සුන්දර බවෙකින් යුක්තව නිර්මාණය නිමවා තිබේ.



ආරම්භක පරිවේණාධිපති කළුතර ශ්‍රී ඥානවිමල හිමි රාජකීය පණ්ඩිත
ගල්බඩ නන්දාරාම නාහිමි
වත්මන් විහාරාධිපති උඩුගම හේමසාර හිමි

අනතුරුව මෙම පිරිවෙනේ අධිපතීත්වයට පත් වූයේ ගාලු පළාතේ ද්විතීය සංඝනායක පදවියටද පත් වූ රාජකීය පණ්ඩිත, ගල්බඩ නන්දාරාම නාහිමියන්ය. එම වකවානුවේදී පැවිදි හිමිවරුන් මෙන්ම ගිහි සිසු සිසුවියන්ද මෙම පිරිවෙනට ඇතුළත් වී අධ්‍යාපනය ලබා ඇත. බාහිර උපාධි පන්ති පවා මෙහි එකල පැවැත්විණි. පිරිවෙනේ ප්‍රතිඵලද ඉතා උසස් මට්ටමක තිබිණි. දැනට මේ ප්‍රදේශයේ ඉහළ නිලතල දරන්නන් රැසක්ම මේ පිරිවෙනෙහි ආදි ශිෂ්‍යයන් බවද පැවසේ.

නන්දාරාම නාහිමියන් 1990 දී අපවත් වීමෙන් පසු පිරිවෙන මෙහෙයවීම සිදු කරනු ලැබුවේ වලල්ලාවිට විමලඥාන හිමියන් විසිනි. එහෙත් 2004 දී උන්වහන්සේ කල්පිටිය විහාරස්ථානයට වැඩම කිරීමත් සමඟම එතැන් සිට වත්මන් පරිවෙණාධිපති වූ උඩුගම හේමසාර මාහිමියන්ගේ පාලනය යටතේ පිරිවෙනෙහි ප්‍රගතියක සේයාවන් දැක ගන්නට හැකි වී තිබීම සතුටට කරුණකි. හේමසාර හිමියෝ දැනට දායක කාරකාදීන් හා දානපතින්ගේ සහයෝගය ලබා ගනිමින් පිරිවෙන සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කොට 2013 දී එහි වැඩ නිම වූ පහත මාලයේ පිරිවෙනේ පන්ති පවත්වාගෙන යති. උන්වහන්සේගේ ඒකායන අරමුණ වී ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කටයුතු හැකි ඉක්මනින් නිම කිරීමයි.

දැනට මෙහි භික්ෂූන් වහන්සේ තිස් නමක් පමණ අධ්‍යාපනය හදාරති. එසේම මෙම සද්ධර්මෝදය පිරිවෙන පෙර තිබූ තත්ත්වයට ගෙනැවිත් ප්‍රදේශයේ උසස්තම විද්‍යායතනයක් බවට පත් කිරීමට හේමසාර හිමියන් ගන්නා උත්සාහයද අගය කළ යුතුය.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]