UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී සුධර්මාරාමස්ථ භික්ෂු ගිලන් නේවාසිකාගාරය

නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී සුධර්මාරාමස්ථ භික්ෂු ගිලන් නේවාසිකාගාරය


පල්ලේවෙල දේවරක්ඛිත හිමි

කොළඹ නගරයේ හා අවට පිහිටි රෝහල්වලට ප්‍රතිකාර හා වෛද්‍ය පරීක්ෂණ සඳහා දුර බැහැර ප්‍රදේශවලින් වැඩම කරන වයෝවෘද්ධ, ගිලන් භික්ෂූන් වහන්සේ ඇතුළු අසරණ රෝගීන්ට නිසි පිළිසරණක් නොමැති වුවහොත් ඊට පිළිසරණ වීමට හැකිවීම වාසනාවකි. ඇතැම් විට භික්ෂුන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් විවිධ සේවාවන්හි නිරත වූයේ සම්බුදු දහමත්, රටත් නගා සිටුවීමට වුවද, වයස්ගතව, දුර්වල ව, රෝගී වූ අවස්ථාවන්හි දී සමහර විට හුදෙකලා වීමට ඉඩ ඇත.

බොහෝ විට දුර බැහැර රෝහල් වෙත යාමට හෝ වෛද්‍යවරුන් හමු වී නිසි පරීක්ෂණ පවත්වා ප්‍රතිකාර ලබා ගන්නට හෝ නිසි උපදෙස් හා පහසුකම් නොලබන රෝගී භික්ෂූන් වහන්සේ සුලභ විය හැකිය. ශ්‍රී ලාංකික භික්ෂු මහා සංඝරත්නය ලොව පුරා විශාල, ආගමික, අධ්‍යාපනික සේවාවන්හි නිරතව කීර්තියට පත්ව ඇතත් ශ්‍රී ලංකාවේ ඈත ගම්මානවල ජීවත්වන විවිධ දුෂ්කරතා විඳිමින් සම්බුදු සසුන රැකගන්නා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ජීවන රටාවේ අසරණ පැත්ත බොහෝ දෙනෙකු නොදන්නා බව කිව යුතුය.

ගංගොඩවිල ගිලන් බොදු පදනම විසින් මේ තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කොට විසඳුම් කීපයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අතර දුරබැහැර පළාත්වලින් ගිලන් භික්ෂූන් වහන්සේලා සිය ගණනක් නාවින්න පුද්ගලික රෝහලකට කැඳවා උන්වහන්සේලාට අවශ්‍ය වෛ්‍ය සේවා හා ප්‍රතිකාර නොමිලයේ ලබා දුන් වාර ගණනාවකි. එහිදී වෛද්‍ය සරත් රත්නායක මහතාගෙන් ලැබුණු පූර්ණ දායකත්වය හා කැපවීම වෙසෙසින්ම කෘතඥතාපූර්වකව අගය කළ යුතුය. අනතුරු ව මේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් යෙදීමේ අදහසින් මහා සංඝරත්නයේ අනුශාසනා මත ගංගොඩවිල ගිලන් සේවා බොදු පදනම පිහිටුවා ගැනුණි.

මෙසේ බුද්ධෝපස්ථානය පිළිබඳ අප තුළ පින් සිත් වැඩෙද්දී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පාරමිතා බෞද්ධ විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නා හිමියන් වහන්සේ මේ සම්බන්ධයෙන් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අසන්නට ලැබිණි. දේවරක්ඛිත නාහිමියන් හමුවු අවස්ථාවේ උන්වහන්සේ උඩහමුල්ල සුධර්මාරාමයට යාබද ව පිහිටි ඉඩමේ භික්ෂු ගිලන් නේවාසිකාගාරයක් තැනීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සැදැහැවතුන්ගේ උදව් ඇතිව සැලසුම් කොට ඇති බව දැනගතිමු. අනතුරුව උන්වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වය හා මාර්ගෝපදේශකත්වය ඇතිව ගොඩනැගිල්ල සැලසුම් කොට, ගිලන් සේවා බොදු පදනමේ දායකත්වයෙන් සිව් මහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක වැඩ නිම කොට ජූලි මස 2 වන ඉරිදා පෙරවරු 9.30 ට විවෘත කරනු ඇත. මෙහිදි අනුග්‍රහය දැක්වු දේශීය /විදේශිය පින්වතුන් සැමටම පුන්‍යානුමෝදනා කරමු. විශේෂයෙන් දේවරක්ඛිත නාහිමියන්ට මේ උතුම් කාර්යය සම්පූර්ණ කර ගැනීමට ඕස්ට්‍රේලියාවේ පාරමිතා බෞද්ධ විහාරයේ දායක පිරිස සහ අනෙකුත් බෞද්ධ සැදැහැවතුන් දක්වන අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කළ යුතුය.

කුඩා කලදීම පැවිදිව දායකකාරකාදීන්ගේ දෙලොව අභිවෘද්ධිය වෙනුවෙන් ම ජාතික, ආගමික, සාමාජික ආදි සකලවිධ කාර්යයන් ඉටුකිරීමට සිය ජීවිතයම කැපකළ අපේ හාමුදුරුවන් වහන්සේලා වයස්ගතව, රෝගීව, අසරණ වූ අවස්ථාවක උන්වහන්සේලාට පිළිසරණක් වීම ශාසනමාමක සියලු දෙනාගේ යුතුකමකි. මෙහි වැඩ නිමවීමෙන් පසු ගිලන් ස්වාමින්වහන්සේලාට අවශ්‍ය නේවාසික වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සේවා සිදුකිරීමට වෛද්‍ය සරත් රත්නායක මහතා ඉදිරිපත් වී සිටීම සතුටට කරුණකි. භික්ෂූන් වහන්සේලාට අමතරව ඈත දුර බැහැර සිට කොළඹ ජාතික රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, මහරගම පිළිකා රෝහල ආදි රෝහල්වලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන දායකයින්ට හා අසරණ රෝගීන්ටද, විවිධ ආබාධයන්ට ලක්වන දුර පළාත්වල අසරණ පාසල් දරුවන්ටද වෛද්‍යවරුන් හමුවීමට යාමේදි අවශ්‍ය අවස්ථාවක නවාතැන් ගැනීමට මෙම ස්ථානයේ පහසුකම් සැලසෙනවා ඇත.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]