UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත් සනසන මෙත් සිත

සිත් සනසන මෙත් සිත

" සියලුම දානමය පින්කම් අබිබවා සාංඝික දාන පූජාව බලගතු වෙයි. සාංඝික දාන පූජාවට වඩා සඟ සතුකරන ආරාම පූජාව ප්‍රභල වෙයි. තෙරුවන් සරණයාම ඊටත් වඩා ප්‍රභලයි. තුනුරුවන් පිහිටා පන්සිල් රැකීම සහ අටසිල් රැකීමට වඩා මෛත්‍රී භාවනාව ප්‍රභල වෙයි."

තමාට තමා සතුරෙකු නොවී තමාට තමා මිතුරෙකු වී මෛත්‍රී භාවනාව පටන් ගත යුතු බවත් , මෛතී‍්‍ර යනු මිත්‍රත්වය බවත් අපි පසුගිය ලිපියෙන් සඳහන් කළෙමු.

ලොවේ සැමටම මෙත්තාව නැහැ. මේ නිසා සැඩ පරුෂ ගති, අවි ආයුධ අතට ගෙන විනාශ වීම්, පරොස් බස්, නපුරුබස්, නපුරු කායික පැවැත්ම නිසා ඔවුනොවුන් අතර වාද භේද, අසමඟිකම් මතුවී තිබෙයි. ලෝකය හටගන්නා මුල් යුගයේ ඔවුනොවුන් අතර මිත්‍රත්වය ගොඩනැඟී තිබුණත් එය ක්‍රමයෙන් විනාශයට පත්ව තිබෙන්නේ මිත්‍රත්වය නොමැති නිසයි. මේ ගැන කල්පනාවෙන් තමන්ගේ මිත්‍රත්වය පුළුවන් තරමින් දියුණු කර අනන්ත ලෝකවාසී සත්ත්වයන්ටත් මෙත් වැඩිීම ව්‍යාප්ත කළ යුතුයි.

මවට , පියාට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට, හිතවතුන්ට, අහිතවත්, මැදහත් අයට, ප්‍රදේශවාසීන්ට, ලංකාවාසීන්ට, ලෝකවාසී මුලු මහත් ජනතාවටම මෛත්‍රිය පැතිරෙන විට ලැබෙන්නේ අසීමිත කුසලයක්.

තමාට මෛත්‍රී කිරීමෙන් පසුව මාගේ මෑණියන් වහන්සේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා යනුවෙන් මෙත් වඩන්න. මාගේ පියාණන් වහන්සේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් තමන්ගේ පියාණන්ට මෛත්‍රී කරන්න. මෙසේ තමාගේ ආචාර්යන් වහන්සේට හෝ විශාල ප්‍රමාණයකට වුවද මෛත්‍රී කළ හැකියි. පැවිදි භික්ෂූන් වහන්සේද මාගේ උපාධය්‍යායන් වහන්සේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් මෛත්‍රී කළ යුතුයි. හිතවන්තයන් ද, සහෝදර සහෝදරයන්, නෑදෑ හිතවතුන් සැමටද මෙසේ මෛතී‍්‍ර භාවනාව කළ යුතුයි.

ඉන්පසුව, මධ්‍යස්ථ වූවෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා , නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා, මා කෙරෙහි තරහ සත්ත්වයෝ වෛර නොවෙත්වා, නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් මෛත්‍රිය පුළුවන් තරමින් ඉදිරියට දියුණු කළ යුතුයි. එවිට සිතේ තිබෙන අවංක භක්ත්‍යාදරය දියුණුවට පත්ව තරහ, වෛර, ක්‍රෝධ , ඊර්ෂ්‍යාවන් අඩුවී යයි. එය සිතටත් හොඳයි ගතටත් හොඳයි. තමා සැමගේම ප්‍රසාදයට ලක්වන පුද්ගලයෙක් වෙයි.

සියලුම දානමය පින්කම් අබිබවා සාංඝික දාන පූජාව බලගතු වෙයි. සාංඝික දාන පූජාවට වඩා සඟ සතුකරන ආරාම පූජාව ප්‍රභල වෙයි. තෙරුවන් සරණයාම ඊටත් වඩා ප්‍රභලයි. තුනුරුවන් පිහිටා පන්සිල් රැකීම සහ අටසිල් රැකීමට වඩා මෛත්‍රී භාවනාව ප්‍රභල වෙයි. මේ භාවනාවට තිබෙන තැන කෙතරම් ප්‍රභලදැ’යි බලන්න. මේ භාවනාව තමන්ට දිගු කලක් සැප ලබාදෙන උතුම් පින්කමක්.

දවසකට දෙකකට තුනකට සීමා නොවී ආත්ම ගණනාවකට අනන්ත කාලයක් සැප විපාක ලබාදීමට තරම් මෛත්‍රී භාවනාවේ ආනිසංසය ප්‍රභල වෙයි. එසේ සලකාගෙන කවුරුත් තුනුරුවන්ට ගෞරව පුද කරලා මෛතී‍්‍ර සංකල්පනාව ඇති කරගන්න. තමාගේ සිතේ තරහව වැඩිනම් හොඳම භාවනාව මෛත්‍රී භාවනාවයි. පංච ශීලය රැකගෙන මෛත්‍රී භාවනාව කළ යුතුයි. ක්‍රෝධය, පටිඝය, බහුල අයත් වෛරය, බද්ධ වෛරය, ඇති අයත් මෛත්‍රී භාවනාව වැඩිය යුතුයි.

මෛත්‍රී භාවනාව මෙත්තා පාරමිතාවක් ලෙසත්, ඉවසීම ඛන්තී පාරමිතාවක් ලෙසත් බුදු දහමේ උගන්වයි. එසේනම්, හොඳ සිහි කල්පනාවෙන් මේ මිත්‍රත්වය නොහොත් මෛත්‍රීබව දියුණු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ජාතක දේශනා, සූත්‍ර දේශනා ආශ්‍රයෙන් මෛත්‍රී භාවනාව පිළිබඳව දේශනා කළා.

අපේ බෝසතාණන් වහන්සේ කඳ පිරිතේ සඳහන් ලෙස ඛන්දක තාපසයාණන් වහන්සේ වී මෛත්‍රී භාවනාව වඩා කිසිම සර්පයකුගෙන් කරදරයක් නොවී වාසය කළා. විරූපාක්ෂික සත්ත්වයෝ, ඒරාපත සත්ත්වයෝ, ඡභ්‍යා පුත්ත සත්ත්වයෝ, කණ්හා ගෝතවක සත්ත්වයෝ සතර කුලවලට අයත් සර්පයෝ වෙති. මේ සර්ප කුල හතරට අයත් නොවන කොටසක් ලෝකයේ නැහැ. මේ සතර සර්පයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා එසේම අපාදක සත්ත්වයෝ ( පා නැති) ද්වීපාද සත්ත්වයෝ , චතුෂ්පාද සත්ත්වයෝ (පා සතර) , බහු පාද සත්ත්වයෝ (බොහෝ පා ඇති) වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා , නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් මෙත් වඩන්න. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් ලෙස ඇසට පෙනෙන නොපෙනෙන සත්වයෝ , කෙලෙස් ඇති නැති අපමණ සත්ත්ව සංඛ්‍යාවක් මෙහි සටහන් වෙයි. එසේනම්, බැක්ටීරියා, ඇමීබාවා වැනි සත්ත්වයෝද මෙයට අයත් වෙයි

අපි සත්ත්ව හිංසාවෙන් වැළකී සිටිමු යනුවෙන් නිබඳව මෙනෙහි කරන්නැ’යි බුදු දහමේ කියමනක්ද තිබෙයි. බලන්න, මේ වදන් දෙක තුන කෙතරම් වැදගත්ද? සත්ත්ව හිංසාවෙන් වළකින්නෝ නිරෝගී වෙති. සසරේ දිගු ආයුෂ ලබති. විශාල ධන සම්පතකට හිමිකම් කියති. පිරිපුන් සිරුරක් ලබයි. මේ පිළිබඳ හොඳ දැනීමකින් මෛත්‍රී භාවනාව ඉදිරියට ගෙන යන්න.

මෛත්‍රී භාවනාවට නිශ්චිත ස්ථානයක් නැහැ. හිටගෙන සිටයදී, ඉඳගෙන සිටියදී, නිදන ඉරියව්වෙන් හෝ නිදිවර්ජිතව සිටියදී තමන්ටත් අනුන්ටත් මෙත් වැඩීම දියුණු කළ යුතුයි. එය කරණීය මෙත්ත සූත්‍රයේ අවසානයේ ද පැහැදිලි කරයි. සැවොම කලණ අදහස් සිතේ තබාගෙන මෛත්‍රී භාවනාව සම්පූර්ණ කළ යුතුයි. කුමන දෙයකින්වත් අඩු පාඩුවක් කරදරයක් නැතිව මෙය දියුණු කර සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩිය යුතුයි. මේ සඳහා මෙත් වැඩීම ප්‍රධානයි.

මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය යනුවෙන් ධ්‍යාන තුනක් ලැබෙයි. සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතෙන්ම මෛතී‍්‍ර භාවනාව කළ යුතුයි. එයට සිතේ සන්තෝෂය අවශ්‍යයයි. මෛත්‍රී භාවනාව නුවණින් කිරීම ඥාන සම්ප්‍රයුක්තයි. මේ කරුණු දෙක සිතේ තබාගෙන කරනු ලබන මෛත්‍රී භාවනාවෙන් ලැබෙන අනුසස් අපමණ බව ලොවුතුරු තථාගත දහමෙන් පෙන්වා වදාළා.

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]