UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කරණීය මෙත්ත සූත්‍රයෙන් : බාහිර ඔපයට වියදම් කුමටද?

කරණීය මෙත්ත සූත්‍රයෙන්:

බාහිර ඔපයට වියදම් කුමටද?

‘සල්ලහුකවුත්තී’ නම් ඉතා ලඝු පැවතුම් ඇති බවය .එනම් සැහැල්ලු ජීවන පිළිවෙතක් අනුගමනය කිරීමය. නේක දුක් ඇති ඝෝර සසරේ කෙළවරක් දැක අමා මහ නිවනින් සැනසීමේ උතුම් බලාපොරොත්තු ඇතිව කෙනෙක් පැවිදි දිවියට පත්වන්නේ ගේ දොර වතුපිටි ඉඩකඩම් ආදී සියලු සම්පත් හැර දමමිනි. පැවිද්දෙන් පසු ගිහි කලමෙන් ඒ අයුරින්ම සම්පත් රැස්කරන්නට සූදානම් වීම පැවිදි දිවියට බාධාවකි. භික්ෂූන් වහන්සේ බහු භාණ්ඩික නොවිය යුතුය. එය සිතටත් ගතටත් බරකි. නිවනට බාධකයකි. සැහැල්ලු දිවිය සිත සුව සදයි. කායික සුවයද දෙයි.

සැහැල්ලු ජීවන රටාව ගිහි දිවියේද දියුණුව සදයි. සතුට ගෙනෙයි. සමහරු මිල අධික ඇඳුම් අඳිති. අභරණ පළඳිති. වත්, පොහොසත්කම්, උස්මිටි කම්, වැදගත්කම්, ඇඳුමෙන්, පැළඳුමෙන් පෙන්වීමට සිතති. දකින්නෝ ඒ දෙස ඊර්ෂ්‍යාවෙන් බලන්නට පුරුදු වෙති. තමන් සිත මාන්නයක් ඇති කර ගනිමින්, අනුන් සිත පාපී සිතිවිලි ඇති කරන්නට පෙළඹීම පරිහානියට හේතූය.

බාහිර ඔපයට මේ සා වියදම් කුමටද? ලස්සන වෙන්නට පිරිසුදු, පිළිවෙළක් ඇති සාමාන්‍ය ඇඳුමක ඇති අඩුව කුමක්ද? ඇතැම් නිවෙසක ජීවත් වන්නේ අම්මා, තාත්තා, සහ දරු දෙදෙනා පමණකි. ඇතැම් විට එක දරුවෙකි. එහෙත් ජීවත්වන නිවෙසේ කාමර හත අටකි. ඒවා පිරිසුදු කරන්නට යන කාලය නිවැසියන්ගේ කාර්ය බහුල කරයි. පොහෝ දිනෙක පවා පන්සලකට යන්නට, පින් දහම් කරගන්නට ඇති කාලය පවා අසුරා තබයි. මේ අපේ සමාජයේ බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුයි. ජීවත්වන්නට සුවපහසු නිවහනක් ඇවැසිය. එහෙත් අනවශ්‍ය බරක් ඇතිවන ලෙස නොවේ. එවැනි බර ජීවිතයේ සැහැල්ලු බව නැති කරයි.

සමහර නිවෙස්වල මොන තරම් ප්‍රමාණයකින් ආහාර අපතේ යවනවාද? ඒ සඳහා මොන තරම් මුදල් ප්‍රමාණයක් වැය කරනවාද? පෝෂණීය ආහාර ඇවැසිය. එහෙත් ප්‍රමාණවත් පරිදිය. පමණට වැඩි ආහාර රෝග ඇති කරයි. සිරුර තරබාරු කරයි. අපහුසතා ඇති කරයි. අවසන ජීවිතයේ සැහැල්ලුව නැති කරයි. කුස පිරෙන්නට කැඳ කෝප්පයක් හෝ නැතිව ජීවත්වන අසරණ දූ දරුවන් ඉන්නා පවුල් කොපමණ තිබෙනවාද? මෙලෙස අපතේ යන ආහාර සඳහා වැයවන මුදල් ඉතිරිකර ඒ අසරණයින් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට පුළුවන. එවැනි පින් සිතිවිලි සිතට සැනසුම ද සදයි. ඇතැම් අය අධි සුඛෝපභෝගි වාහන භාවිත කරති. එහෙත් මේ වාහනයක් අනතුරට ලක්වූයේ නම් මොනතරම් මුදලක් වැය කරන්නට සිදුවේද? මොනතරම් නාස්තියක් සිදු වන්නේද? ඒ මුදල වෙනත් ඵලදායි ක්‍රියාවලියකට යොමු කළ නොහැකිද? සමහර රටවල ඉහළ තනතුරු දරන අය ප්‍රයෝජනයට ගන්නේ ඉතා සැහැල්ලු වාහනය. මුදල් තිබෙනවා නම් සුඛෝපභෝගීව ජීවත් වීමේ වරද කුමක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් බෞද්ධයන්ගේ ජීවිතය සරල හා චාම් විය යුතුය. සැහැල්ලු විය යුතුය. එය නිර්වාණගාමී මාර්ගයට යන ගමන පහසු කරවන්නකි.

ජීවත්විය යුතු වන්නේ අනුන්ට පෙනෙන්නට නොවේ. ඊට වඩා කළ යුතු බොහෝ දේ තිබේ. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න.

මිනිසත් බව ලැබෙන්නේ ඉතා දුර්ලභවය. ඒ මිනිසත්කමින් නිසි පල ලබන්නට නම් ජීවිතාවබෝධය වැදගත් වේ. ඒ සඳහා සදහම් ඇසුර බොහෝ ප්‍රයෝජනවත්ය. අධ්‍යාත්මික දියුණුවද, බාහිර දියුණුවද ඇති කරගත හැකි වන්නේ තමන්ටමය. ඒ සඳහා අධිෂ්ඨානශීලිව උත්සාහවත් වන්න.

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]