UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු කතා -05:  මිහිරි බොජුන් පුදා ඇතිරිල්ලක් අතුරා ආසනයක් පූජා කිරීමේ අනුසස්

විමාන වත්ථු කතා -05: 

මිහිරි බොජුන් පුදා ඇතිරිල්ලක් අතුරා ආසනයක් පූජා කිරීමේ අනුසස්

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයකි. දිනක් බිම්බිසාර මහ රජු නුවර වැසියනට නැකැත් කෙළිය සඳහා ඝෝෂා කොට අණක් පැනවීය. නුවර වැසියෝ ද ඒ අසා වීථි සෝදා වැලි අතුරා ඊතන, සමන් කැකුළු, සුන් සහල්, අබ හා විළඳ යන ලදපස්මල් පාර පුරා විසුරුවා දොරක්, දොරක් පාසා කෙසෙල් ගස් සිටුවා පුන් කලස් ද තබාලූහ. හැකි පමණින් විවිධ වර්ණයන්ගෙන් යුත් ධජ පතාක ඔසවා තැබූහ. තමාගේ හැකියාවන් පමණින් අබරණින් සැරැසී නැකැත් කෙළියෙහි යෙදෙන්ට වූවෝ ය. දෙව් පුරයක් වැනි වූ නගරය හැමතැන එකළාව බබළන්නට විය. පෙර සිරිත් අනුව බිම්සර මහරජු ද සර්වාභරණයෙන් සැරැසී පිරිවර සමඟ රජ මැදුරෙන් නික්ම නගර සංචාරයට වන්නෝ ය. රජගහනුවර එක් කුලදුවක් රජුගේ මේ ආශ්චර්ය දුටුවාය. අද්භූත දිව්‍ය සම්පත් වැනි රාජානුභාවයත්, සෞභාග්‍යයත්, වස්තු සම්පත්තියත් දැක කෙබඳු නම් කර්මයකින් මේවා ලැබුනේ දැයි සිතුවාය. එවකට පණ්ඩිතය යි සම්මත පුද්ගලයන්ගෙන් ඒ ගැන විමසන්නට වූවා ය. ඔවුහු පින්වතිය, පින්කම් වනාහි චින්තාමාණික්‍යයක් වැනි ය. කල්ප වෘක්ෂයක් හා සමානය. යමෙකුට ධන සම්පත්තියත්, ශ්‍රද්ධා සම්පත්තියත් වේද ඔවුහු යමක් ප්‍රාර්ථනා කොට ඒ සම්පත්තීන් යොදවා පින්කම් කෙරේ ද ප්‍රාර්ථනා කළ ඒ ඒ දෙය එසේ ම ඉටුවන්නේ මය. යමෙක් ආසන පූජා පින්කමෙක් කළේ ද උසස් කුලවත් බව ලබන්නේම ය. ආහාරමය දානයක් සිත පහදවාගෙන කළේ ද ආරෝග්‍ය බව ලබන්නේය. යාන වාහන දානයෙන් සැප පහසුකම් ඇති ජීවිත ලබන්නේය. ආලෝකය දනවන පහන් පූජා කළේ නම් (නීරෝගී) චක්ඛු සම්පත්තීන් ලබන්නේ ය. ආවාස දානයෙන් (සිතැඟි) හැම සම්පත්තීන් ද ලබන්නේ යයි පඬිවරු කීවෝ ය. ඕ තොමෝ මෙම අනුශාසනා සියල්ල අසා මේ සියල්ලට වඩා දිව්‍ය සම්පත් ශ්‍රේෂ්ඨ යයි සිතුවා ය. එහි සිත පිහිටුවා පින්කම් කිරීමෙහි බලවත් උත්සාහවන්ත වූවා ය. මැයගේ පින්කම් කිරීමේ පිළිවෙළ දැනගත් මව්පියෝ ද ඇයට අලුත් වස්ත්‍ර දෙකක්, අලුත් ආසනයක්, නෙළුම් මල් මිටියක්, ගිතෙල්, මී පැණි, උක්සකුරු, සහල් හා කිරි ආදිය ද යැවූහ. ඕ තොමෝ මේවා දැක සතුටුව ‘මම (අහඤච) දානයක් දෙනු කැමැති වෙමි. එවැන්නක් දීමට සුදුසු දේ මට ලැබුණේ ද වෙයි.” යනුවෙන් සිතා පසු දිනම දානයක් පිළියෙළ කරවූවාය.

දියර අඩුවෙන් යෙදූ කිරිබතක් මී පැණි ද මිශ්‍ර කොට පිළියෙළ කළා ය. එයට තව වැළඳිය හැකි පානය කළ හැකි බොහෝ දේ එකතු කළා ය. තවද ආසනයක් (පුටුවක්) ළං කොට ගෙන අලුත් සුදු ඇතිරිල්ලක් අතුරළාය. මල්වලින් ආසනය සරහා එහි පාද සතරෙහි නෙළුම් මල් පොකුරු සතරක් තබා ආසනය මතුයෙහි වියනක් බැන්දාය. එහි ද මල් දම් එල්වා අසුන අවට බිම සියලු තැන නෙළුම් මල් පෙති අතුරා, මලින් පිරුණු වට්ටියක් ද සකසා පසෙකින් තැබුවා ය. මෙසේ අසුන් හා දානෝපකරණ සකසා තැබූ මේ කුල දියණිය හිස සෝදා සුදුවත් හැඳ සුදු උතුරු සළුවක් උරෙහි පළඳා ගත්තා ය. වේලාව දැන පිළියෙල කළ දාන වස්තු පිළිගැන්වීමට වීදියට ගොස් දුසුසු තෙරුන් වහන්සේ නමක් වඩම්මවා ගෙන එන ලෙස දාසියකට අණ කළා ය.

එවේලෙහි රජගහනුවර එක් අතුරු වීදියක පිණ්ඩපාතය සඳහා වැඩම කර සිටි ආයුෂ්මත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දුටු දාසිය තෙරුන් වහන්සේ සමීපයට ගොස් වැඳ ‘ස්වාමීනී එක්තරා උපාසිකාවකට අනුග්‍රහ පිණිස පාත්‍රය මට දෙනු මැනවැයි’ කීවා ය. තෙරණුවෝ ඇයට පාත්‍රය දුන් සේක. දාසී පාත්‍රය ගෙන මේ දෙසට වඩිනු මැනවයි වඩම්මවා ගෙන ගිය විට කුල දුව තෙරණුවෝ දැක ගෙට වඩම්මවා අසුන් පෙන්වා වැඩ හිඳිනු මැනවැයි ආරාධනා කළා ය. එසේ අසුන් ගත් විට පිළියෙල කළ මලින් පුදා හාත්පස මල් පෙති විසුරුවා පසඟ පිහිටුවා වැඳ සකස් කොට තිබූ සියලු දාන වස්තු පිදුවා ය. මෙසේ පුදා (ඇය මෙතෙක් පඬිරුවන්ගෙන් අසා දැනගෙන සිටි පරිදි) “මාගේ මේ පින් බලයෙන් දිව්‍යමය හස්තීන් විසින් උසුලනු ලබන කූටාගාර සහිත (ආසනයකින්) ශෝභාමාන බවට පත් දිව්‍ය සැප ලැබේවා යි පැතීය. සියලු ඉරියව්වලදී ම නෙළුම් මල් (මගෙන්) ඉවත් නො වේවා යි ද ප්‍රාර්ථනා කළා ය. එසේ ම වළඳා අවසන් වූ පසු පාත්‍රය සෝදා ගිතෙල්, මී පැණි, උක්සකුරු ආදියෙන් පාත්‍රය පුරවා ආසනයෙහි අතුරුවා තිබූ ඇතිරිල්ල දරණුවක් කොට තබා සැරියුත් තෙරුන් වහන්සේ අත තබා පාත්‍රය පිළිගැන්වූවා ය. අනුමෝදනා බණ වදාරා පිටත්ව යද්දී මේ අසුනත් මේ පාත්‍රයත් වෙහෙරට ගොස් දෙවයි සේවකයන් දෙදෙනෙකුට අණ කොට පිටත් කොට හැරියා ය. (ඉහත සිද්ධීන් සියල්ල තුළ කුලදුවගේ සිත පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳ අපි සියල්ලෝ සිහියට නගා නැගීම මැනැවි) ඕ තොමෝ මේ පිනින් පසු කලෙක මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව රුසිරිමත් දෙවඟනක් ලෙස උපත ලැබුවාය. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව කළ චාරිකාවේ දී හමු වූ විට.

පියුම් පෙති වැනි ඇස් ඇති දෙව්දුවනි, ඔබගේ මේ උතුම් ආසනය විවිධ මැණික්වලින් අලංකාරවත් වී ඇත. ශක්තිමත් වූ දර්ශනීය වූ ජවසම්පන්න වූ සන්සුන්වූ ඒ ඇත් වාහනය අහසේ ගමන් කරන විට පද්මයක් වැනිය. එහි දෙපසින් ඇති රන්මුවා මිණිගෙඩි පසඟතුරු නද පතුරවයි. ඒ ඇත් වාහනයෙහි ශෝභන වස්ත්‍රවලින් සැරැසී සිටි ඔබ රූ සිරියෙන් මහත් වූ දිව්‍යාංගනාවන් පරදවා බබළවයි. ඔබගේ මේ දිව්‍ය සම්පත්තිය ඔබ දුන් දානයක හෝ නැතිනම් සීලයක හෝ එසේත් නැතිනම් පසඟ පිහිටුවා කළ වැඳීමක හෝ ප්‍රතිඵලයක් දැයි මට පවසන්නයි කී සේක. මුගලන් තෙරුන් වහන්සේ විසින් අසන ලද එකරුණින් මහත් සතුටට පත් ඇය ඒ තමන් කළ පුණ්‍ය කර්මය මුලින් දැක්වූ පරිදි සඳහන් කරන්නට වූවා ය. මුගලන් මහරහන් වහන්සේ මනුලොව දී බුදුරජාණන් වහන්සේ හමුව ඉහත කතා ප්‍රවෘත්තිය සඳහන් කළහ.භාග්‍යවතුන් වහන්සේ විසින් (සුදුසු තන්හි) අර්ථෝත්පත්ති කොට ගළපා දහම් දෙසූ සේක.

(මෙහි කුඤ්ජර නම් ඇතාට නමෙකි)

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]