UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 68:: අජන්තා බිතු සිතුවමෙන් නිරූපිත නාලාගිරි දමනය

බුදුපිළිමයේ උපත - 68::

අජන්තා බිතු සිතුවමෙන් නිරූපිත නාලාගිරි දමනය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුදුරජාණන් වහන්සේ වෙත නාලාගිරි ඇතා එවන ලද්දේ කවුරුන් විසින්ද? යන්න ඉතා ප්‍රකටය. මේ සඳහා අජාසත්ත කුමරු සමඟ ද බොහෝ උත්සාහ කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

මේ අතර අජාසත්තගෙන් දුනුවායන් ලබාගත් දෙව්දත්හු එක් පාරක එකෙකුද තවෙකක දෙදෙනෙකුන් ද යනාදී වශයෙන් දහසය දෙනෙකු යොදවා ඔවුන්ට බුදුරජාණන් වහන්සේගේ දිවි තොරකරන ලෙස කීහ. පළමු දුනුවායා බුදුරදුන් වෙත ගිය කල භයින් ත්‍රස්තව ඇඟපත ගල් ගැසිණ. බුදුහු භය කරන්නට ගිය අපරාධය පාපෝච්චාරණය කළේය. බුදුරජාණන් වහන්සේ දහම් දෙසු විට හේ බුදුන් සරණ ගියේය. ඔහු වෙනත් මඟකින් ආපසු යවන ලදී. ඔහු එන හෝඩුවාවක් නැති විට ඊළඟ දුනුවායෝ දෙදෙන ගොස් සොයන විට රුක්මුලෙක වැඩහුන් බුදුරජාණන් වහන්සේ දුටහ. බුදුරජාණන් වහන්සේ වෙතගිය ඔව්හුද බණ අසා බුදුරදුන් සරණ ගියහ. අන් සියල්ලන්ටම අත් වූයේද මේ ඉරණමමය. පළමු වැන්නා දෙව්දතුන් වෙත ගොස් බුදුරජාණන් වහන්සේගේ මහත් සෘද්ධි බලය නිසා මැරිය නොහැකි වු බව කීහ. එවිට දෙව්දත්හු තමන්ම බුදුන් මැරීමට අදිටන් කළෝය. බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්පාමුල ගල් සෙවනැල්ලෙහි සක්මන් කරන කල දෙව්දත් මහගලක් පෙරලූහ. මහ ගල් දෙකක් නැඟී එය වළකාලීය. එයින් බිඳුන ගල් පතුරක් වැදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙන් ලේ ගැලීය. බුදුරජාණන් වහන්සේ උඩ බලා “පාපී පුරුෂය, තථාගතයන් ගේ ඇඟ ලේ සොළවා පාපයක් කර ගත්තෙහිය” යැයි වදාළහ. භික්ෂූහු බුදුරජාණන් වහන්සේට ආරක්ෂයෙකු යොදවනු රිසිවූහ. එහෙත් බුදුහු එය අනුමත නොකළහ. තථාගතයන් මරනු නොහැකිය. ඊළඟට දෙව්දත්හු බුදුරජාණන් වහන්සේ වඩින මගට නාලාගිරි නම් රුදුරු මත් ඇතෙකු මෙහෙයවීමට ඇතරුවන් (අලි ඇතුන් බලන්නන්) යොදවති. භික්ෂුහු එමඟින් නොවඩින ලෙස බුදුරජාණන් වහන්සේට තෙවරක්ම අනතුරු හඟවති. ආපසු නොහැරෙන බුදුරජාණන් වහන්සේ තමන් නොමැරිය හැකි බව යළිත් කියති. ඇතා පෙරට එත්ම බුදුහු නාලාගිරි කෙරෙහි මෙත් සිසිල පැතිර වූහ. ඇතු දමනය විය. (බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 225-26 (2006)

දඹදෙණි රාජධානි සමයේ දී ලියන ලද ඉතා ප්‍රකට සුවිශාල ග්‍රන්ථයක් වූ පූජාවලියෙහි නාලාගිරි කතා පුවත ඉතා චමත්කාර අන්දමින් සඳහන් කර ඇත්තේ මෙසේය.

තවද, දෙව්දත් බුදුන් කෙසේ පිටු දකිම්දෝ හෝ යි උත්සාහ කරනුයේ අනික් උපදෙස් දැක එදවස් අජාසත් රජහු කරා පලාගොස් නිකට අත් තබා ශෝකාතුරව සුසුම්ලා මුහුණ බුමා ගෙන සිටියේය. මේ කාරණය දුටු රජහු විසින් ස්වාමිනි, නුඹට කුමන ශෝකයක්දැයි විචාලහ. දෙව්දත් කියනුයේ මහරජ තොප සිත ඇත්ත සෑධින. අප පින් මද හෙයින් අප සිතන ඇත්ත නො සෑදෙයි. තොප ඇතත් තැනැත්තා හා සම වුව බුදුන් මරවාපිය නොහෙන කළ තොපගෙන් අපට කම් කිම්දැයි කීය. එබසට නුඹ කළ දෙයින් බුදුන්ට වැඩවන බවක් මුත් අවැඩක් වන්නා නැත. තවත් කීවක් කෙරෙමියි කී කළ යහපත උපදෙසක් ඇතැයි කීහ. එබසට රජ්ජුරුවෝ සිනාසී වහන්ස, නුඹගේ උපදෙසහි කෙළවරක් නැත. තවත් බුදුන්ගෙම පින් මහිමයක් දක්වා පියන උපදෙසක්දැයි කීහ.

දෙව්දත් මීට වඩා වඩනා උපදෙසක් නැත. තොපගේ නාලාගිරි නම් මතැත් චණ්ඩය. පරුෂය. කාරණා කාරණා නොදන්ති. බුදුන්ගේ රූ විභාග නොදන්ති. දහම්හි රස නොදන්ති. තිරිසනු හෙයින් බුදුහු ඔහු නිවන් දක්වාගත නොහෙති. ඔහු මට පාවා දුනුනම් බුදුන් මරවා ගනිමියි කීය. රජහු යහපතැයි ගිවිස ඇත් ගොව්වන් තමහට පාවා දුන් කල්හි එම විටම ජ්‍යෙෂ්ඨ ඇතරුවා අත අල්ලා ගෙන රජගෙන් පිටත්ව තෝ මා සතුවා සාධාදීලී නම් අප රජහුගේ සේසත හැර තා කැමැති සැපතක් ඉල්වා දීලමියි කීහ. නුඹ කී යම්ම දෙයක් කෙරෙමියි වදාළ මැනැවැයි ඔහු කී කළ එසේවී නම් මට සෙනේ ඇත්තෙහි නම් බුදුන් හෙට සිඟා වීථියට එන වේලාවට තාගේ නාලාගිරි නම් මතැතු මෙතෙක් දවස් පොවන රා අට කළයට දියුණු කොට සොළොස් කළයක් රා පොවා ඇත් කොහොලින් ඇන කෝප උපදවා බුදුන් ඉදිරියට මෙහෙයා බුදුන් මරවාපිය යි කීය. එබසට ඇතරුවා හා පන්සියයක් ඇත්ගොව්වෝ යහපතැයි ගිවිස සෙට අපගේ බල බැලුව මැනවැයි වාසි කීහ. . .

එබසට දෙව්දත් සමාධිව ඔවුන්ම අත්ලසුදු දී මෙසේ සංවිධාන කොට ගියේය. ඉක්බිත්තෙන් සැදැහැ ඇතියෝ පස්වරු බුදුන් කරා ගොස් වැඳ ස්්වාමිනි, දෙව්දත්හුගේ ප්‍රයෝගයෙන් සෙට නුඹවහන්සේ සිඟා රාජ වීථියට බට කල නාලාගිරි නම් මතැකු මෙහෙයතියි යන බසෙක් සැල විය. ගැත්තවුන්ට සංග්‍රහ කොට සිඟා නොවැඩිය මැනව. වෙහෙරටම දැන් බාම්හයි ආරාධනා කළහ.

(පූජාවලිය – පි. 646)

රජගහනුවර එදා සිදුවූ නාලාගිරි දමනය අජන්තා චිත්‍ර ශිල්පින් විසින් සිතුවමට නැඟූ ආකාරයෙන් අද ඉතිරි වී ඇත්තේ කොටසකි. අජන්තා හි 17 වැනි ලෙනෙහි මෙම සිතුවම දැකිය හැකිය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැන ගෙන ආ නාලාගිරි ඇතු බුදුරජාණන් වහන්සේගේ අතෙහි ඇඟිලිවලින් ඇතාගෙන් නළල ඇල්ලුහ. නාලාගිරි ඇතා නිසොල්ව සිටි අයුරුද ඈතින් ගෙවල්වල උඩුමහල්වල වී බලා සිටින ජනතාවද පහළ සිටින ජනතාවද මෙම සිතුවමින් මූර්තිමත් කර ඇත. මෙය තරමක් විනාශ වී ඇත.


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 66: අජන්තාවෙන් මතු වූ මාර දූවරුන්

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]