Print this Article


විමාන වත්ථු කතා -3:  සැලසුම් නොකළ

විමාන වත්ථු කතා -3: 

සැලසුම් නොකළ පින්කමක්

මුගලන් මහ රහතන් වහන්සේ අග තනතුරු ලැබ සිටියේ සෘද්ධිමතුන් අතරෙහි ය. තව්තිසා දෙව්ලොව වඩින උන්වහන්සේ එක්තරා දේවතාවියක් දැක මෙසේ විමසූහ. ‘මනා දිව සළුවෙන්, දිව මලින් සැරසුණු දෙව් දුවනි. ඔබ මන වඩන රූ ඇත්තී ය. විදුලිය වැළඳ ගත් සැඳෑ වළාකුළක් සේ බබළන්නීය. ඔබගේ රන් මුවා අසුන කැමැති, කැමැති තැනකට ගමන් කරන්නේ ය. මේ සා මහත් සම්පත් කවර නම් පිනකින් පහළ වූයේ ද? මිනිස් ලොව සිටිය දී කවර පින්රැස් කළේ ද?

“ස්වාමීන් වහන්ස! පෙර භවයෙහි මම මිනිස් දුවක් ව ඉපදී සිටියෙමි. මා කළ පින ඉතා කුඩා වූවකි.” කී දෙව් දුව පෙර අත්භවයේ කළ පින්කම මෙසේ විස්තර කළා ය.

එදා එක් රහතන් වහන්සේ නමක් රජගහ නුවර පිඬු පිණිස වැඩියහ. පිණ්ඩපාතය ලබාගෙන, වැඩිහිඳ දානය වැළඳීමට සුදුසු තැනක් සෙවූහ. එක් නිවෙසක දොර විවෘතව තිබෙනු දැක එහි වැඩියහ. එහි ගෘහපතිනිය ශ්‍රද්ධාවන්තය. ගෙට වැඩි භික්ෂූන් වහන්සේ ගැන පැහැදී ‘වඩිනු මැනවි ස්වාමීන් වහන්ස! මෙහි වැඩ හිඳ පිණ්ඩපාතය වළඳනු මැනවි’ පවසා වහ වහා අසුනක් මත්තෙහි කසාවත් වස්ත්‍රයක් අතුරා පිළිගැන්වූවා ය. එය ඇය අපේක්ෂා රහිත පරිත්‍යාගයකි.

“මාගේ මේ පරිත්‍යාගය මතු භවයෙහි රන් අසුනක් ලැබීම පිණිස හේතු වාසනා වේවා” යි ප්‍රාර්ථනාවක් ද කළා ය. තෙරුන් වහන්සේ එම ආසනයෙහි වැඩ හිඳ බත් කිස නිමවූහ.

පාත්‍රය පිරිසුදු කොටගෙන නැඟිට යන්නට සැරසුණහ. ‘ස්වාමීන් වහන්ස! මේ ආසනය ඔබ වහන්සේටම පූජා කරමි. මට අනුග්‍රහ පිණිස එය පරිභෝග කළ මැනවි.’ යි ගෘහපතිනිය ඉල්ලා සිටියා ය. තෙරුන් වහන්සේ ඇයට අනුකම්පා පිණිස ඒ අසුන පිළිගෙන සංඝයා වහන්සේටම පූජා කළහ. ඇයද බොහෝ සතුටට පත් වූවා ය. පසු කලෙක ඒ ගෘහපතිනිය රෝගී වූවා ය. එයින් මිය යන්නී තව්තිසා භවනෙහි දෙව්දුවකව පහළ වුවා ය. ඒ ගෘහපතිනිය ලෙස පෙර භවයේ මා කළ පින මේ දිව්‍ය සම්පත් ලබන්නට හේතු විය. ආදී ලෙස දෙව්දුව මුගලන් මහ රහතන් වහන්සේට විස්තර කළා ය.

මේ කතා වස්තුවට අනුව ගෘහ පතිනිය පින් රැස් කර ගත්තී බලාපොරොත්තු නොවූ අවස්ථාවකය. එනම් අපේක්ෂා රහිත ලෙසය. තුනුරුවන් ගැන ගුණ දැන, අවබෝධයෙන් පැහැදුණු කෙනෙකුට පින්කම් කර ගැනීමට ලැබෙන අවස්ථාව ශ්‍රද්ධාව අඩු හෝ නැති හෝ අයට වඩා වැඩි ය. අවස්ථාවක් ලද විගස පින්කම කර ගැනීමට ශ්‍රද්ධාව ඇති කෙනාට පහසු ය. මේ කතාවේ ද ගෘහපතිනිය පින්කම සිදු කර ගත්තී කලින් දින නියම කොට නොවේ. ඒ අනුව කලින් දින නියම කොට, සිතා මතා කරන පින්කමකට වඩා මෙවැනි කාරණාවක දී එය පින්කමකට පෙරළා ගැනීම කළ හැකි වන්නේ අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති කරගත් කෙනකුට පමණි.

මේ ගෘහපතිනිය පින්කම අවසානයෙහි ප්‍රාර්ථනාවක් කළා ය. ‘ඉදං මේ පුඤ්ඤ ආයතිං’ (අනාගතයෙහි) යනා දී වශයෙන් ප්‍රාර්ථනා කිරීම සුදුසු වේද? ත්‍රිපිටකයේ එන ථෙර ථේරී ගාථා හා අපදාන පාලි සියල්ලෙහි ප්‍රාර්ථනා ඇත.

මෙහිලා ප්‍රාර්ථනා වශයෙන් ගත යුතු වන්නේ ඉලක්ක වශයෙනි. ප්‍රාර්ථනා බෝධියකින් නිවන් දැකීමට යන තැන ඇත්තේ ද ප්‍රාර්ථනාවකි. ලෞකික ප්‍රාර්ථනා නොව ලෝකෝත්තර ප්‍රාර්ථනාවකි. අප දහමෙහි ‘දාන’ හා ‘චාග‘ යනු දෙකකි. දාන යනු ‘දීම’ යන අරුත් දෙයි. දාන යන්නෙහි හැම විට ආමිෂ ප්‍රාර්ථනාවක් ඇත. ‘චාග‘ යන්නෙහි එවැන්නක් නැත. එහෙත් එහිද ලෝකයෙන් එතෙර වන ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් ඇත. ‘චාග‘ නම් අත්හැරීමය. චාග සිත දාන සිතට එහායින් ඇත්තකි. එහෙත් දන් දීමෙහි පුරුද්දක් නැති කිසිවෙකුට ‘චාග‘ වන්තයකු විය නොහැකිය. ආමිෂය අත්හරින්නකු වන්නට නම් දන් දිය යුතුමය.