Print this Article


උත්සාහය සෞභාග්‍ය උදාකරයි

උත්සාහය සෞභාග්‍ය උදාකරයි

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අලස නොවී පිළිවෙත් සපිරූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරභයා මෙම අම්බ ජාතකය දේශනා කළහ. සසුන් ලැදි එක්තරා කුල පුත්‍රයෙක් පැවිදිව පිළිවෙත් පුරන්නේ පිළිවෙලින් මහා වත් සතළිසක්ද කුඩා වත් අසූවක්ද සපුරමින් අර්ථවත් ආරාමික ජීවිතයක් ගත කළේය. පිළිවෙත් සරු මෙම තෙරුන් කෙරෙහි පැහැදුණු උපාසක උපාසිකා පිරිස උන්වහන්සේ වෙනුවෙන් දිනපතා ආහාර පාත්‍ර පන්සියයක් පූජා කළහ. එම ආහාර පාත්‍ර ලැබීමෙන් ආරාම වාසී භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකට දානය සැළසුණි. පිළිවෙත් සරු තෙරුන්ගේ ප්‍රත්‍ය ලාභය පිළිබඳ දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් විසින් සාකච්ඡා කරනු ලබන කල්හි බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළහ.

භික්ෂූන්ගේ සාකච්ඡාවට සවන් යොමුකළ බුදුරජාණන්වහන්සේ, තමන්වහන්සේගේ පැමිණීමට පෙර කවර කරුණක් පිළිබඳ සාකච්ඡා කළේදැයි විමසා සිටියහ. පිළිවෙත් සරු භික්ෂුවගේ වතගොත පිළිබඳ සාකච්ඡාවක නිරතව සිටි බව දැන් වූ එම භික්ෂූන් වහන්සේලා අමතා වත් සපිරි භික්ෂුවගේ අතීත ජීවිත කථාව ගෙනහැර දක්වමින් මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. යටගිය දවස බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපිද පංචකාමයෙහි ආදීනව දැක පන්සියයක් තාපසවරුන් සමඟ හිමාල අඩවියෙහි තවුස් දම් පුරමින් වාසය කළහ. එක්සමයක වැසි නොලැබීමෙන් ළිං පොකුණු ආදියෙහි දිය සිඳී ගියේ අපා දෙපා සියලු සත්වයෝ පිපාසයෙන් පීඩිතව වාසය කළහ. නියඟයෙන් පීඩා විඳී සතුන් කෙරෙහි කරුණාවෙන් තෙත් සිතැති එක්තරා තාපසයෙක් ගසක් කපා ඔරුවක් සේ සකස් කොට එහි දිය වත්කර සතුන්ට සිත් සේ දිය බීමට පහසුකම් සැළසීය. සතුන් දිය බොන ඔරුවට නිතර දිය ඇද දැමීමට සිදුවීමෙන් තාපසතුමාට ඵලවැල සොයා යාමට වේලාවක් නොවූ හෙයින් පීඩාවට පත්වන බව දුටු සිව්පාවෝ උනුන් හා කථා බස්කොට දිය බීමට පැමිණෙන විට කිසියම් පලතුරක් රැගෙන ඒමට පුරුදු වූහ. විවිධ සතුන් විසින් රැගෙන එන ලද පලතුරුවලින් අසපුව පිරීගිය අතර පන්සියයක් තාපසවරු එම පලතුරු අනුභව කොට පහසුවෙන් තවුස් දම් පිරුහ.

මෙය දුටු බෝසත් තාපස තුමා සතුන්ට දිය දුන් තාපසතුමාගේ වීර්ය හේතුවෙන් ඵලාඵල පිණිස වනගත නොවී අසපුවෙහිම සිට මිහිරි ඵල භුක්තිවින්දේයැයි දක්වා ගිහි පැවිදි දෙපක්ෂය විසින්ම උත්සාහවත්ව කටයුතු කළයුතුයැයි අනුශාසනා කළහ. වීර්ය හා උත්සාහය දියුණුව පිණිස හේතුවන බව මෙම ජාතක කථාවෙන් සැපයෙන ප්‍රධාන උපදේශයයි. අම්බ ජාතක කථාව හා සම්බන්ධ ජාතකපාලි ගාථාවෙහි එන “නුවණැති තැනැත්තා වෑයම් කරන්නේය. එසේම කිසිවිටෙකත් නොකළකිරෙන්නේය. අඹ රසවත් පලතුරකැයි ඇසීමෙන් පමණක් නොව අනුභව කිරීමෙන්ම දැනගන්නේය.” යනුවෙන් උත්සාහයෙහි ස්වභාවය කවරේද? යන්න සම්පිණ්ඩනය කර තිබේ. ඒ අනුව නුවණැති පුද්ගලයාගේ ස්වභාවය නම් උත්සාහ කිරීමයි. එසේම තම කාර්යයේදී කොතෙකුත් බාධා පැමිණියත් ඒ ගැන කිසිවිටෙකත් නොකලකිරෙයි. මෙම ආදර්ශය කවර අයෙකුට වුවද අතිශය වැදගත් උපදේශයකි. බොහෝ දෙනෙකු එක්වරක් හෝ දෙවරක් උත්සාහ කිරීමෙන් කාර්ය සිද්ධ නොවූ කල්හි එය අත්හැර දමයි. එසේම ඉතා ඉක්මනින් කලකිරීමට පත්වෙයි. බෞද්ධ උපදේශය වන්නේ කාර්ය ඉටුවන තෙක්ම උත්සාහය අත්නොහැරිය යුතු බවයි. වායමෙථෙව පුරිසො - යාව අත්ථස්ස නිප්ඵදා). තමා ආරම්භ කළ යහපත් දැයට කොතෙක් බාධක ආවත් කලකිරී අතරමග එය අත්හැර දැමීම බුද්ධිමතෙකුගේ ලක්ෂණයක් නොවේ. සෑම ජයග්‍රහණයක්ම අතිශය දුෂ්කර වැයමක අවසන් ප්‍රතිඵලයයි. ලොව කිසිවක් ප්‍රාර්ථනා කළ පමණින් පහසුවෙන් ලබා ගත නොහැකිය.

මෙම සනාථනික දහම බුද්ධ චරිතයෙන්ම අවබෝධකරගත හැකිවේ. සිදුහත් බෝසතුන් විමුක්තිය සොයා ගිය ගමන අතිශය දුෂ්කර වූවකි. අවසන් ජයග්‍රහණය වන විමුක්තිය උදෙසා උන්වහන්සේගේ කැපවීම කොතෙක්ද යන්න දුෂ්කරක්‍රියාවට අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වේ. සය වසරක් දුෂ්කරක්‍රියා කිරීමෙන් ද විවිධ මාර බලවේගවලට මුහුණ දෙමින් ද ඉදිරියට ගිය ගමන නිමා කළ බුදුරජාණන් වහන්සේ සංසාරය නමැති ගෙය හදන වඩුවා සොයාගත් බවත් ඔහුට නැවත ගෘහයක් කළ නොහැකිවනු පිණිස සියල්ල බිඳ දැමූ බවත් පවසමින් තමන්වහන්සේ ලද ජයග්‍රහණය පිළිබඳ උදන් ඇනූ සේක. ආරම්භ කළ කාර්ය විවිධ බාධා නිසා අතරමග නතර කර දමන බොහෝ දෙනෙකුට මෙය මහත් ආදර්ශයක් වේ. මෙම ජාකත කථාවෙහි එන වත්පිළිවෙතින් සරු භික්ෂුවට සිව්පස ලාභය ලැබුණේ උන්වහන්සේ මහත් උත්සාහයෙන් ආරාමික කටයුතුවල නිරත වූ නිසයි. තමා වෙසෙන ආරාමය මැනවින් පවත්වාගෙන යාමෙන් එහි පැමිණෙන දායකකාරකාදීන්ගේ සිත්හි ප්‍රසාදය ජනිත වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිරායාසයෙන්ම සිව්පසය ලැබේ. පිළිවෙත්හි සපිරි භික්ෂුව වෙසෙන ආරාමයෙහි වෙසෙන සෙසු ආරාමිකයන්ට ද එයින් මහත් ප්‍රතිලාභයක් සැලසෙන බව ජාතකකථාවෙහි එන වර්තමාන හා අතීත කථා පුවත් දෙකින්ම තහවුරු වේ. වත්පිළිවෙත් නොපුරන භික්ෂුවගේ ශීලය පිරිසුදු නොවන බව පිළිගත් කරුණකි (වත්තං නපරිපූරෙන්තො සීලං න පරිපූරති). ඇමදීම ආදී වත් පිළිවෙත් එක් අතකින් තම මානසික පාරිශුද්ධත්වය ඇතිකරන භාවනාවක් වනවා මෙන්ම අනික් අතින් කායික සුවය ද අත්පත්කර දෙයි. ඒ අනුව ආරාමික වත් පිළිවෙත් කායික මෙන්ම මානසික නීරෝගීතාව ඇතිකර ගැනීමට හේතු වේ. භික්ෂු ජීවිතය පරපටිබද්ධය. දායකයන්ගෙන් ලැබෙන සිව්පසයෙන් නඩත්තුවන්නකි.

දායකයා පැහැදුණ පමණටම භික්ෂුවගේ සිව්පස ලාභයද මහත් වේ. අතීත කථාවෙහි එන තාපසතුමා වෙත පැවැති සත්ව කරුණාව ආදර්ශයට ගත යුතු සත් ගුණයකි. සතුන් විසින් ඔහුට අවශ්‍ය ඵලාඵල රැගෙන ආවේය යන්න අභව්‍ය සිදුවීමක් වුවත් එයින් පෙන්වන පරමාදර්ශය වන්නේ සතුන් කෙරෙහි දයාව දක්වන්නාට පෙරලා එම සතුන්ගේ ආදරය හා රැකවරණය සැලසෙන බවයි. සතුන්ට අකාරුණිකව සලකන විට ඔවුන් ද අකාරුණික වේ. එහෙත් ඔවුන්ට දයාව හා සෙනෙහස දක්වන විට ඔවුන්ද පෙරලා සෙනෙහස දක්වන බව පහසුවෙන් වටහාගත හැකිය. සතුන්ට දයාව දැක්වීම අනිවාර්ය බෞද්ධ ප්‍රතිපදාවකි. සියලු සත්ත්වයෝ සුවපත් වේවායි යන හිතවාදී ආකල්පයෙන් යුක්ත බෞද්ධයා ප්‍රාණඝාතයෙන් වැළකී සියලු ප්‍රාණීන් කෙරෙහි මෙත්සිත පතුරුවයි. සතුන් කෙරෙහි මෙත්සිත පැතිරවීමෙන් ලැබෙන ප්‍රතිලාභ රැසක් සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත වේ. මෙත්සිත පැතිරවීමෙන් සර්පයන් නිසා වන උවදුරු වළක්වා ගත හැකි බව ඛන්ධ සූත්‍රයෙන් පැහැදිලි වේ. දිය නොමැති නියං සමයෙහි සතුන්ගේ ප්‍රයෝජනය පිණිස තැනින් තැන දිය බඳුන් තැබීම පැරැණි බෞද්ධයන් අනුගමනය කළ චාරිත්‍රයකි.

තිරිසන් සතෙකුට ආහාර සැපයීමෙන් ආනිසංස සියයක් ලැබිය හැකි බව දක්ඛිණා විභංග සූත්‍රයේ දැක්වේ. මෙවැනි ඉගැන්වීම් මගින් බෞද්ධ ගොවි ජන ජීවිතය පෝෂණය වී ඇති බව කුරුලු පාලුව යනුවෙන් තමා අයත් කුඹුරෙන් කොටසක් කුරුල්ලන් සඳහා වෙන්කිරීමෙන් පැහැදිලි වේ. තමාට උපකාර කළ තැනැත්තාට පෙරලා උපකාරයක් කළ යුතුය යන්න වර්තමාන කථාවෙන් ලැබෙන තවත් ආදර්ශයකි. පිපාසිත සතුන්ට දිය සැපයූ තාපසතුමාට අවශ්‍ය පලතුරු සැපයීමෙන් එය පැහැදිලි වේ. කෘතඥතාව හෙවත් කළ ගුණ සැළකීම ලොව දුර්ලභ සත් ගුණයක් ලෙස දැක්වේ. ජීවිතය අර්ථවත් කෙරෙන වැදගත් ආදර්ශ රැසකින් පිරි අම්බ ජාතකයෙන් ප්‍රකට කෙරෙන්නේ උත්සාහයෙන් සෞභාග්‍ය උදාකරගත හැකිය යන පරමාදර්ශයයි.


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 12 : අසන දකින දේ නුවණින් හඳුනා ගන්න