Print this Article


නොවෙනස්වන සත්‍යය

නොවෙනස්වන සත්‍යය

“අරියසච්චාන දස්සනං” යනුවෙන් පැහැදිලි කළ පරිදි ආර්ය සත්‍යය අවබෝධයෙන් දැකීම උතුම් මංගල කරුණකි. පෘථග්ජන පුද්ගලයා හෙවත් සාමාන්‍ය ලෝකවාසීහු මෙම ආර්ය සත්‍යය යථාවබෝධයෙන් නොදකිති. සත්‍යය පිළිබඳව කියවීම, දැනීම, ඇසීම, පමණක් ම ප්‍රමාණවත් නොවේ. එය සීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂා මාර්ගය ඔස්සේ අවබෝධ කළ යුතු ඥානයකි.

කුමක් ද මේ අවබෝධයෙන් දැකිය යුතු ආර්ය සත්‍යය, දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සහ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයයි. මෙම චතුරාර්ය සත්‍යය ධර්මය නුවණින් අවබෝධ නොකර ගැනීම නිසා දීර්ඝ වූ සංසාර ගමනේ නැවත නැවතත් ඉපදෙමින් ගමන් කරන ලද්දේ යැයි. භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“චතුන්නං භික්ඛවේ අරියසච්චානං අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේච තුම්හාකඤ්ච”

මහණෙනි, ආර්ය සත්‍යය සතර අවබෝධ නොකර ගැනීම නිසා, ප්‍රත්‍යක්ෂයෙන් නොදැනීම නිසා මම ද, නුඹලා ද දිගු කාලයක් මුළුල්ලේ නැවත ඉපදීම ලෙසින් දිවීම සහ හැසිරීම කරන ලදී යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

සසර පිළිබඳව හෝ සසර ගමනේ ඇති ඉතාමත් තියුණු දුක පිළිබඳව නිසි අවබෝධයක් නොමැත්තේ නම්, මෙම ආර්ය සත්‍යය සතර පිළිබඳව පවසන කරුණු එතරම් නොවැටහෙන්නට පුළුවනි. බෞද්ධ වූ අයෙක් පමණක් නොව, ඕනෑම දහමක් අනුගමනය කරන අයෙකුට වූව ද මේ සසරේ ඇති දුක් සහගත බව සහ භයානක බව තේරුම් ගන්නට මේ කරුණු කෙරේ උපේක්ෂාවෙන් සිතා බලන්නට යැයි ආරාධනා කරමි. සුව කළ නොහැකි රෝගයක් හෝ දරාගත නොහැකි වේදනාවක් ඇති වූ විටක බොහෝ දෙනා කෑගසමින්, හඬමින් මෙසේ පවසන්නේ ඇයි ද? “මට මේ මොකද වුණේ”, ඇයි මම මෙහෙම දුක් විඳින්නට ඉපදුනේ? “දැන දැන නම් කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොකරපු මට මෙහෙම වුණේ ඇයි? මේ ආකාරයෙන් දුක් විඳින්නට නම් මොකට ද මම ජීවත්වෙන්නේ? මෙහෙම දුක් විඳින්න නම් නැවත උපදින්නට එපා” යනුවෙනි. යම් වූ ද කෙනෙක් නුවණින් පිළිගැනීමක් කළත්, නොකළත් මෙසේ ව්‍යංගාර්ථයෙන් මේ පවසන්නේ කුමක් ද? ජීවිතය දුකින් පිරී ඇති බව නොවේද? සැප විඳින්නට යැයි පවසමින් දැඩි ආශාවෙන් සහ තෘෂ්ණාවෙන් බැඳී සිටින පුද්ගලයන් මනසින් විඳින දුක පිළිබඳව ඔබට සිතා ගත හැකි ද? ආශාවෙන් සහ තෘෂ්ණාවෙන් අල්ලගෙන සිටින, පණ ඇති සහ පණ නැති සියලු වස්තූන්ම මෙන් ම සියලු මනුෂ්‍යයන්ම නැතිව යන බව, ඈත්ව යන බව, දිරාගෙන යන බව අමතක කළ හැකිද? අමතක කිරීමෙන් මෙම ක්‍රියාවලිය සිදුවීම නතර කළ හැකිද? අමතක කිරීමෙන් සිදුවන්නේ මානුෂික ගුණාංගයන්ගෙන් බැහැරව ගිය අමනුෂ්‍යයෙකු වීම පමණකි. සියලු දෙනා විසින් ම මගේ යැයි පවසමින් සිතින් ද, ගතින් ද අල්ලාගෙන සිටින සෑම දෙයක් ම කුමන වේලාවක අත්හැරේදැයි කෙසේ නම් පවසන්නේ ද? මහ සයුර ගොඩ ගැලීමෙන් සිදු වූ සංවේගජනක ව්‍යසනය ඔබට අමතකද?

ඇස, කන ආදී ඉන්ද්‍රියන්ගෙන් රූප ශබ්ද ආදී අරමුණුවල ආශාවෙන් බැඳෙයි. නොලැබෙන විට වෛර කරයි. බැඳුනු දේ හෝ ඇලුන දේ ගිලිහී යන විට හඬා වැළපෙයි. දුකට පත්වෙයි. මෙය අවබෝධයක් නැති ආශාවේ හෝ තෘෂ්ණාවේ ආදීනවයයි. මෙම තෘෂ්ණාව නැවත උපදවමින් දුක්දෙමින් සසරෙහි රැගෙන යයි. ඇයි මිනිසුන් දිවි නසා ගන්නේ? තවත් අයෙක් නසන්නේ ඇයි? ඇයි බලහත්කාරයෙන් මව්වරුන්ට හෝ දියණිවරුන්ට කරදර කරන්නේ? අනුන්ගේ දේ සොරකම් කරන්නේ, පරුෂ වචන ,බොරු සහ කේළාම් කියන්නේ ඇයි? ඊර්ෂ්‍යා කරන අය ඇයි ද මේ තරම් මේ සියල්ල සිද්ධ කරන්නේ මමත්වය මුල් කරගත් තෘෂ්ණාවම නිසා නොවේද? මෙම තෘෂ්ණාවම අපේ මේ ජීවිතයේ ම කොපමණ නම් දුක් දී ඇත්දැයි නුවණින් සිතා බලන්න. ‘මම මේ තරම් දුක් විඳින්නේ මා විසින් සිදු කරගත් දේ නිසා යි. ඔබත් එසේ පවසා තිබේ ද? මෙම භයානක තෘෂ්ණාව සසර පුරාවටම අපට දුක් දී තිබේ. මේ ආකාර වූ ආර්ය සත්‍යය අවබෝධය නොකර ගන්නේ නම් ඉදිරියට ලබන්නට විය හැකි දුක් ප්‍රමාණය, හඬන්නට විය හැකි කදුළු ගංගාව මෙපණ යැයි කෙසේ නම් පවසන්නද?

දුක්ඛ නම් වූ ආර්ය සත්‍යයෙන් පවසන්නේ තම ශරීරය මුල් කර ගත් ආධ්‍යාත්මික ලෝකයේ ද තමා බාහිරව දකින ලෝකයේ ද දුක් ඇති බවය. “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”

ඉපදීම දුකකි, දිරීම දුකකි, ලෙඩ රෝගවලට පත්වීම දුකකි. මරණය දුකකි. අප්‍රියන් සමඟ එක්වීම දුකකි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. යමක් කැමති නම් ඒ දේ නොලැබීම දුකකි. එනම් පඤ්ච උපාදානස්කන්ධයම දුකකි. පඤ්ච උපාදානස්කන්ධය නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණයයි. ඔබ සහ මම යනුවෙන් හඳුන්වන මෙම ශරීරය ද පැවැත්ම ද සිත ද සිතිවිලි ද සැකසී ඇත්තේ මෙම පඤ්ච උපාදානස්කන්ධය මුල්කොට ගෙනය. අපගේ වචනයෙන් සඳහන් කරන්නේ නම් මුළු ජීවිතයම දුකකි. මෙසේ දුක පිළිබඳව යථාර්ථය මතුකොට පෙන්වන්නේ ඔබ හඬවන්නට, දුකකට ඇද දමන්නට ද නොවේ.

අප අමතක කළත්, නැතත් විස්තර කළ අනිත්‍යතාවයන් ජීවිතයට උරුමය ඉන්ද්‍රියන් පිනවීම පමණක් ම සිතූ අය ලෙඩදුක් ඉදිරියේ ද ප්‍රිය විප්‍රයෝග ඉදිරියේ ද, බලාපොරොත්තු කඩවීම ඉදිරියේ ද හඬමින් වැළපී නැත්ද?

එනමුත් දුක්ඛ සත්‍යයේ සඳහන් දුක් තේරුම් ගන්නා විට ඉපදුණු අපට මෙම අනිත්‍යතාවය හෙවත් කිසිවක් ස්ථිර නැති බව උරුම බවත්, එය තේරුම් ගැනීම ද අවබෝධයෙන් දැකීම ද කළයුතු බව වැටහේ. එවිට මනසින් දුකට පත් නොවී සැනසීමෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්නට ද ජීවත්ව සිටින කාලයේ දී යහපත් වු මනුෂ්‍යයෙකු ලෙස ජීවත්වන්නට ද මාර්ගය සැකසෙයි. සදාකාලිකවම දුකින් නිදහස් වීමට ද මාර්ගය සැකසෙයි.

සමුදය සත්‍යය නම් දුකට හේතුවයි. එනම් තෘෂ්ණාවයි. කාම, භව,විභව ලෙසත් ආකාර තුනකි. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී ඉන්ද්‍රියයන්ගෙන්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු ලැබීම, පිනවීම, ස්ථිර යැයි සිතීම කාම තණ්හාවයි. නැවත නැවතත් ඉපදෙමින් සැප ලබන්නට කැමැත්තක් ඇති බව තෘෂ්ණාවයි. නැවත ඉපදීමක් නැතැයි පවසා, මේ ජීවිතයේ ඉන්ද්‍රියයන් පිනවමින් සැප ලැබීමේ කැමැත්ත භව තෘෂ්ණාවයි.

නිරෝධ සත්‍යය නම් දුකින් මිදීම හෙවත් තෘෂ්ණාව නැති කිරීමයි. මෙය දාන ආදී පාරමිතා ගුණ පිරීමෙන් ද සීලය ආරක්ෂා කිරීමෙන් ද රාග, දෝස, මෝහ ආදී තෘෂ්ණාව මුල් වන කෙලෙස් හට නොගැනීමට සහ ඉවත්කිරීමට හේතුවන සමාධිය හෙවත් භාවනා වැඩීමෙන් ද සිදුකළ යුතුය.

මාර්ග සත්‍යය නම් දුකින් මිදීමේ මාර්ගය නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි – චතුරාර්ය සත්‍යය දැකීම, සම්මා සංකප්ප – යහපත් කල්පනාව, සම්මා වාචා - යහපත් වචන, සම්මා කම්මන්ත – යහපත් කර්මාන්ත, සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම, සම්මා වායාම – යහපත් ව්‍යායාම, සම්මා සති – යහපත් සිහිය, සම්මා සමාධි – යහපත් වූ සමාධිය ලෙසිනි. මෙම අට ශීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාවන්ට බෙදා දක්වා ඇත්තේ අනුගමනය කිරීම පහසුව පිණිසය.

මෙම ආර්ය සත්‍යය සතර සත්‍ය ඥාන, කෘත්‍ය ඥානය සහ කෘත ඥාන වශයෙන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීමට අවශ්‍යයයි. මෙම ආර්ය සත්‍යය සතර, සත්‍යයක් බව අවබෝධ කර ගැනීම, එම ආර්ය සත්‍යය අනුගමනය කිරීම, එම ආර්ය සත්‍යය අනුගමනය කිරීමෙන් ප්‍රතිවේදය හෙවත් තෘෂ්ණාව මුළුමනින් ම ප්‍රහාණය කළ බවට ඇති කර ගන්නා වූ නුවණයි. මෙයද සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් නම් වූ පියවර සතර ඔස්සේ සිදුවේ. අරහත් බවට පත් වූ උතුමෝ මෙසේ උදානය පවසති.

“ඛීණ ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති” ඉපදීම නැති කිරීම පිණිස කෙලෙස් නැති කිරීම පිණිස, බ්‍රහ්මචරියාවෙහි හැසිරුනෙමි. කළ යුතු සියල්ල සම්පූර්ණ කළෙමි. අන් කිසිවක් නැත, ඔබටත් මෙසේ සිතන්නට හෝ පවසන්නට හැකිද? ජීවිතය ගැඹුරින් දුටුවෙමි. දුක සහ සැප දෙකම මා වෙතමය. මෙලොව මෙන් ම සදාකාලිකව ද දුකක් නොවන අවබෝධය මම ලදිමි.