Print this Article


කිසිවෙකු හටත් නැති මුනිඳුට සනුවණෙක් ඇති

මාවතගම ශ්‍රී සරණපාල දහම් පාසල


බෝපේගම සිරිනිවාස හිමි

පාදුක්ක මාවතගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය වසර සියයකට ආසන්න කාලයක සිට ප්‍රදේශයේ ජනතාවට දහම් සිසිල, දහම්දැනුම, සිතට සහනය ලබා දෙන බෞද්ධ මධ්‍යස්ථානයකි. 1928 දී පමණ මෙහි ඉදිකෙරුණු සංඝාවාසය, බුදුමැදුර පෞරාණිකබව රැකගනිමින් අදටත් මහාසංඝයා වහන්සේටත්, පින්වතුන්ටත් විශාල ශාසනික සේවාවක් ලබා දෙමින් විරාජමානව බැබළෙයි.

එම විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී සරණපාල දහම්පාසලෙන් ප්‍රදේශයේ දරු දැරියන්ට ලැබෙන දහම් දැනුම,අවවාද අනුශාසනාවල වටිනාකම කියා නිම කළ නොහැක. 1974 දී එවකට විහාරාධිපතිව වැඩ විසූ බැලුම්මහර ශී‍්‍ර ජිනරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඩබ්ලිව්. ඩී. සිරිසෝම (සිරිල් අයියා) උපාසක මහතාගේ දායකත්වයෙන් ළමයින් සියයක් පමණ පිරිසකගෙන් සමන්විතව මෙම විහාරස්ථානයේ ආදි කර්තෘ කරවිලගල ශ්‍රී සරණපාලාභිධාන නාහිමියන්ගේ නාමයෙන් ‘ශ්‍රී සරණපාල දහම්පාසල” ආරම්භකර ඇත. සෑම ඉරුදිනකම පවත්වන මෙම දහම්පාසලේ පළමු පන්තියේ සිට ධර්මාචාර්යය විභාගය දක්වා දරු දැරියෝ ඉගෙනුම ලබති. ශාස්ත්‍රපති සූරියවැවේ ධර්මපාල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු දහහත්දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයකින් දහම් දැනුම ලබාදීම සිදු කෙරේ.

දහම් පාසලේ ඉගෙනීමට අමතරව, දහම් දැනුම තරගවලට සහභාගිවීම සෑම මසකම අවසාන ඉරුදින සිදු කැරේ. බෝධිපූජා සහ ශීල සමාදාන වැඩසටහන්වලට අමතරව සමාජසේවා කටයුතුවලටද දරුවන් යොමු කිරීම සිදු කෙරෙන අතර දෙමව්පියන්ට වැඩිහිටියන්ට සැලකීමේ ගුණධර්මය සඳහා යොමු කිරීම නිරන්තරයෙන් සිදු කෙරේ. විශේෂයෙන් එම සරණපාල දහම් පාසල නිසා මාවතගම සහ ඒ අවට ගම්මාන රැසක දහමට ලැදි ගුණගරුක තරුණ පිරිසක් බිහිවී ඇති අතර වර්තමාන විහාරාධිපති බෝපේගම සිරිනිවාස හිමියන් සිදුකරමින් පවතින ශාසනික සේවාව විශේෂයෙන් අගය කළ යුතුව ඇත. එසේම මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ලෙස වැඩ විසූ කරවිලගල ශ්‍රී සරණපාල , බෝගහඅරාවේ සුමංගල,රන්මල්ගොඩ සීලරතන, බැලුම්මහර ශ්‍රී ජිනරතන යන හිමිවරුන්ගෙන් සිදුවූ අතිමහත් ශාසනික සේවාවද ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇති බව බොපේගම සිරිනිවාස හිමියෝ පැවැසූහ.

ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති සූරියවැවේ ධර්මපාල හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක, නායිකා පිරිස
දහම් පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් පිරිස