Print this Article


ශ්‍රී දළදා පුරාණය:- 3 :  ජීවමාන බුදුරජාණන් වහන්සේ වූ දන්තධාතූන් වහන්සේ

ජීවමාන බුදුරජාණන් වහන්සේ වූ දන්තධාතූන් වහන්සේ

" දළදා ප්‍රදර්ශන පවත්වන අවස්ථාවලදීත්, දළදා පෙරහර පවත්වන අවස්ථාවලදීත් අනිවාර්යෙන්ම වැස්ස ලැබෙන බව මහජනතාව අතර විශ්වාසයක් පවතී. එම තත්ත්වය අපට වර්තමානය තුළ ඉතාම හොඳින් දැකගන්නට ලැබෙන අවස්ථාවන් නැතිවා

නොවෙයි'

අසිරිමත් දළදා හාමුදුරුවන් වහන්සේ මහනුවරට වැඩම කිරීමෙන් අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතිශයින් පැහැදීමට පත්ව නිතරම දළදා වහන්සේට පුද පූජාවන් පවත්වන්නට කටයුතු කර ඇත.

එතුමා රජ මාලිගාවෙහි රාජභෝජන සියල්ලක්ම දළදා හාමුදුරුවන්ට පුදමින් පුද පූජාවන් පවත්වමින් කටයුතු කරන අවස්ථාවක මම මේ ආකාරයෙන් පූජාවන් පවත්වනවා.දළදා හාමුදුරුවන් පෙර ප්‍රාතිහාර්ය පා තිබෙන බව අසා තිබුණත් , දළදා හාමුදුරුවන්ගේ කිසිම ප්‍රාතිහාර්යයක් මට දක්නට ලැබුණේ නැහැ යනුවෙන් කම්පාවට පත්ව ඇත.

දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින කුටියට බුද්ධ පූජාව රැගෙන යන අවස්ථාවෙහිදී දොර විවෘත කරනවාත් සමඟම දන්ත ධාතූන් වහන්සේගේ කුටිය සුදු බුදුරැස් විහිදුවමින් සම්පූර්ණයෙන් ඒකාලෝක වී තිබෙන අයුරු රජතුමාට දක්නට ලැබීමත් සමඟ රජතුමා පැළඳ සිටි සියලු රාජාභරණ පූජා කරමින් තමන් ඉතාම ආසාවෙන් වවාගෙන සිටි රැවුල කපා මුසුන්නාවක් ලෙස බුදුරජාණන් වහන්සේට පූජා කළ බව සඳහන් වෙයි. එම මුසුන්නාව වර්තමානයෙහිත් දළදා හාමුදුරුවන් වැඩ සිටින මාලිගාවෙහි තබා තිබෙන අතර රජතුමා තම රැවුල මුසුන්නක් ලෙස භාවිත කරනු ලැබුවේ දළදා වහන්සේ වැඩ සිටින කුටිය අතුගෑම සඳහා බවත් ඒ තරම් ශ්‍රද්ධාවන්තකමක් මේ රජතුමාට තිබුණ බව දළදා ඉතිහාසයෙහි සඳහන් වෙයි.

මහනුවර රාජධානිය බිඳවැටීමෙන් අනතුරුව යටත්විජිත යුගයක් බවට පත්වුණ අවස්ථාවෙහිදී ඉංග්‍රිසීන් විසින් ක්‍රි. ව. 1918දී පෙරහර පැවැත්වීම ආදී කටයුතු තහනම් කරන්නට යෙදුන නිසා එම පෙරහර නොපැවැත්වුවත්, දළදා මැදුර පරිශ්‍රය තුළ පෙරහර පවැත්වීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. 1918 සිට 1929 තෙක් අවුරුදු 11ක් දක්වා කාලය තුළ පෙරහර තහනම් කර තිබුණ නිසා මේ රට තුළ එම කාලයෙහි මහා දුර්භික්ෂයක් හටගෙන මිනිස්සු පීඩාවට පත්ව කෑම බීම හිඟව පැවතුණ අවස්ථාවක, දළදා වහන්සේ ප්‍රදර්ශනය නොකළ නිසාත්, දළදා හාමුදුරුවන්ට පුද සත්කාර නොකරන නිසාත්, මේ ආකාරයෙන් දුර්භික්ෂයක් පැවතෙන බවට සඳහන් කරමින් සිංහල බෞද්ධ ප්‍රධානීන් සහ ජන ගංඟාවන් විසින් උද්ඝෝෂණයක් පවත්වා ඇත. ඊට පසුව ඉංග්‍රිසී පාලකයන් දළදා හාමුදුරුවන් වහන්සේට කළ යුතු පුද සත්කාර කිරීම සඳහා නැවතත් අවසරය ලබාදී ඇත. ඉන් අනතුරුව දළදා හාමුදුරුවන් වහන්සේ දළදා මාලිගාවෙන් පිටතට වැඩමවා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් පෙරහරක් සිදුකළාට පසු මහා වැස්සක් වසිමින් මුළු රටම තෙත් වී ගිය බවත් එම අවස්ථාවෙහිදි ගංගා ඇළ දොළ වැව් අමුණු සියල්ලක්ම පිරී ඉතිරිලා යන ආකාරයෙන් මහා ප්‍රාතිහාර්යයක් පාමින් දෙගොඩතලායාමට ඉඩ සැළැස්වූ බවත් , එම වර්ෂාව දළදා වතුර නමින් ඉතිහාසයෙහි ද සඳහන් වෙයි. ඒ අනුව ඉංග්‍රිසි පාලකයන් පවා දළදා හාමුදුරුවන් වහන්සේ පිළිබඳව පැහැදී අතිශයින්ම ප්‍රාතිහාර්ය දක්වන දළදා වහන්සේ නමක් බවට පිළිගෙන ඇත. දළදා ප්‍රදර්ශන පවත්වන අවස්ථාවලදීත් දළදා පෙරහර පවත්වන අවස්ථාවලදීත් අනිවාර්යෙන්ම වැස්ස ලැබෙන බව මහජනතාව අතර විශ්වාසයක් පවතී. එම තත්ත්වය අපට වර්තමානය තුළ ඉතාම හොඳින් දැකගන්නට ලැබෙන අවස්ථාවන් නැතිවා නොවෙයි. ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ චිතකයෙන් ලබාගත් වම් දළදා වහන්සේ ඉන්දියාවේදීත් ,ලංකාෙවිදීත් විවිධ ප්‍රාතිහාර්යය පෑ බව ඉතිහාස ගත තොරතුරුවලින් අනාවරණය වෙයි.

දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ තොරතුරු එවැනි ආකාරයෙන් සඳහන් වන අතර දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ දින සිට රජවරුන්ගේත් , සාමාන්‍ය මහජනතාවගේත් ගෞරවයට හා පූජාවට ලක්වූ වෙනත් පූජනීය වස්තුවක් පිළිබඳව සඳහන් කිරීමේ හැකියාවක් නැහැ. ඒතරම් වටිනා ජාතික වස්තුවක් ලෙස දළදා හාමුදුරුවන් වහන්සේ නම් කළ හැකියි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදු දහම රැගෙන ඒ මෙන් අනතුරුව ලංකාවේ බුදු දහම සම්බන්ධයෙන් තිබුණ ජාතික වස්තුවක් ලෙස දළදා හාමුදුරුවන් වහන්සේ සඳහන් කළ හැකියි. කීර්්තී ශ්‍රී මේඝවර්ණ රජතුමා ඇතුලු රජවරු කිහිප දෙනෙක්ම වරින් වර මුළු ලංකාද්වීපයෙහිම දළදා වහන්සේට පුද පූජා පැවැත්වූ බවට මහා වංශයෙන් හා සෙල්ලිපි වල තොරතුරු සඳහන් වෙයි. එම නිසාම දළදා වහන්සේගේ ගෞරවනීය තත්ත්වය ආරක්ෂා කළ අයුරු ඒ ආකාරයෙන් සඳහන් කළ හැකි වෙයි. දළදා වහන්සේ ලංකාවට වැඩම වුදා සිට ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් සලකාගෙන වර්තමානය දක්වාම විවිධ පුද පූජාවන් පැවැත්වීම සිදුකරයි. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා දළදා හාමුදුරුවන් වහන්සේ වැඩම කළ දවසේ සිට පවත්වන ලද පුද පූජාවන් පිළිබඳව දීර්ඝ විස්තරයක් මහා වංශයෙන් දැනගත හැකියි. එතුමා දළදා පෙරහර පවත්වා සියලු දෙනාගේම ගෞරවයට හා පුද පූජාවන්ට පාත්‍රවන ආකාරයෙන් ආරක්ෂාකර ගෙන පැමිණි බව සඳහන් කළ හැකියි. ඒ සමඟම දළදා හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් කරන ලද පෙරහර සම්බන්ධව එකල ලංකාවට වැඩම කළ චීන දේශාටක භික්ෂුවක් වන පාහියන් භික්ෂුන් වහන්සේ විසින් උන්වහන්සේගේ වාර්තාවල මේ ආකාරයෙන් සඳහන් වෙයි.” රජතුමා දළදා ප්‍රදර්ශනයට දින දහයකට පෙර දිවීමට සමත් රජතුමාගේ සේවකයෙකුට රජ ඇඳුම් පළඳවා මනාව සරසන ලද මහා ඇතෙකු පිට නංවා නුවර වීදියක් වීදියක් පාසා යවමින් අඬබෙර ගසමින් මෙසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව සලස්වා ඇත. අද දින සිට දින දහයකට පසුව බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ පිටතට වැඩම කර අභයගිරි මහා විහාරයයෙහි තැන්පත් කරවා දළදා ප්‍රදර්ශනය සිදුකරන බැවින් පින් කැමැති ගිහි පැවිදි සියල්ලෝම මාර්ගය දෙපස සරසවා කුඩා වීථි, මහා වීථි ආදී කොට ඇති සියල්ලක්ම සරසවා පුද පූජාවන් කිරීමට මල් හා සුවඳ ආදීන්ගෙන් සැරසිය යුතු බවට නියෝග කොට ඇති බවට තොරතුරු ලැබෙයි. ඒ ආකාරයෙන් මහජනතාව මහත් හරසරින් යුක්තව දළදා පෙරහර පැවැත්වීමෙන් අනතුරුව අභයගිරි මහා විහාරයේදී දින අනූවක දළදා ප්‍රදර්ශනය පැවැත්වූ බවට තොරතුරු සඳහන් වෙයි. දින අනූව පුරාවටම සාමාන්‍ය ජනතාව වැල නොකැඩී පැමිණුන බවට පාහියන් දේශාටක භික්ෂුව විසින් තොරතුරු සඳහන් කර ඇත. ඊට අනතුරුව දළදා පෙරහර ගමන් ගන්නා වීදි දෙපස ජාතක කතාවල සඳහන් බෝසත් චරිත නිර්මාණය කරම්න් අඳින ලද චිත්‍ර මාර්ගය දෙපස ප්‍රදර්ශනය කරමින් පෙරහර ගමන්කරවීමට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබෙයි. .

කිත්සිරි මෙවන් රජතුමාගෙන් පසුව අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ රජවරුන් දළදා හාමුදුරුවන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක් බවට පත් කරගෙන පුද පූජාවන් පැවැත්වූ බවට තොරතුරු හමුවුණත් පෙරහර පැවැත් වූ බවක් සඳහන් වන්නේ නැහැ. කිත්සිරි මෙවන් රජතුමාගෙන් පසුව පෙරහර පැවැත්වූ බවට තොරතුරු හමුවන්නේ පොළොන්නරු යුගයේ රාජ්‍ය කළ මහාපරාක්‍රමබාහු මහ රජතුමා බවට තොරතුරු ලැබෙයි. මහාපරාක්‍රමබාහු රජතුමා කිත්සිරි මෙවන් රජතුමා කරන ලද පෙරහරට නොදෙවෙනි ආකාරයට මහා පෙරහරක් සංවිධානය කරමින් දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පුද පූජාවන් පැවැත්වූ බවට තොරතුරු හමුවෙයි. පරාක්‍රම බාහු රජතුමා ක්‍රි. වර්ෂ 1153දීත් 1186 යන කාල වකවානුවෙහිදීත් එතුමා රාජ්‍ය කර ඇත. තමන්ගේ රාජ මන්දිරයේ සිට නගරය දක්වා සැරසිළි කරමින් නගර මධ්‍යයේ දළදා මන්දිරයක් නිර්මාණය කර ඒ ගමන් මාර්ගයෙහි දළදා හාමුදුරුවන් වහන්සේ පෙරහරින් වැඩමවූ බව සඳහන් වෙයි.


ශ්‍රී දළදා පුරාණය:- 2 දළදා වහන්සේගේ අසිරිය