Print this Article


පී‍්‍රතිමත් දැහැමි පාලනයක් සඳහා මිහිඳු හිමි දේශනා

පී‍්‍රතිමත් දැහැමි පාලනයක් සඳහා මිහිඳු හිමි දේශනා

මිහිඳු මාහිමියෝ විවිධ පැතිවලින් යුත් සූත්‍රදේශනා රාශියක් පාලක පාලිත දෙපක්ෂය අරමුණූ කොට දේශනා කළහ. පේතවත්ථු හා විමානවත්ථු දේශනාවන් මගින් සියලු දෙනාට අකුසලයේ භයානක විපාකත්, කුසලයේ සැප සම්පත් ලබාදෙන බලයත් ආකර්ෂණීය ලෙස පහදා දුන්නාහ.

රටක සාමයත් සෞභාග්‍යයත් පිරුණ දැහැමි පාලනයක් සඳහා පාලක හා ප්‍රජාව යන දෙපක්ෂයේම සහයෝගය අවශ්‍යය. අනුබුදු මිහිඳු මාහිමියන් අප රටට දායාද කළෝ හුදු ආගමික ඇදහිල්ලක් නොවේ. පුද්ගලයාගේ මෙලොව, පරලොව, එසේම ලෞකික ලෝකෝත්තර යන අංශ දෙකෙහිම සංවර්ධනය ඒකාන්ත වශයෙන් ඇතිකරන පරිපූර්ණ දහමකි, අපට උන්වහන්සේ ලබා දී ඇත්තේ බුදුදහමත් සමඟ දහ අටක් ශිල්ප ශාස්ත්‍රයන්ද ඒ හා බැඳුණු ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයක් සඳහා උපදේශනය ද පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් හා දැහැමි පාලන ක්‍රමයක්ද ඊට ඇතුළත්ය. උන්වහන්සේ අප වෙත ගෙනා බුද්ධ දේශනාව මානව චින්තනයේ අග්‍රඵලය වූ කිසිවකුට අභියෝග කළ නොහැකිවූ අසම සම දර්ශනයකි. භාරතයේ උපත ලැබූ බුදුදහම සුරක්ෂිත කරගැනීමේ වාසනාව අප සතුවිය.

අපේ මේ පුණ්‍යභූමිය පෘතුගීසි, ලන්දේසි, ඉංගි‍්‍රසි හා දකුණු ඉන්දීය ආක්‍රමණයෙන්ද, අප වසර තිහක් භයානක ලෙස අත්විඳි ත්‍රස්තවාදයෙන්ද ආරක්ෂා වුයේ අහම්බයෙන් නොවේ. මහාවංශයේ පස්වෙනි පරිච්ඡේදයේ දැක්වෙන අප බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී සක්දෙවි රජුන් අමතා ඔහුට පැවරූ කාර්ය බොහෝ දෙනා අමතක කරති. ඒ කුමක්ද?

විජය කුමරා ඇතුළු සත්සියයක් සෙනඟ අද දින ලංකාවට ගොඩබසින බැවින් ඔවුන්ට රැකවරණය ලබාදී මාගේ සම්බුදු සසුන ලංකාවේ පිහිටන බැවින් ලංකාවත් සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කරදෙන ලෙස බුදුරදුන් සක්දෙවියන්ට දන්වා සිටි කාරණය සක් දෙවියන් ඇතුළු සම්‍යග් දෘෂ්ටික දෙවියන් විසින් ඒ අයුරින් ඉෂ්ටකර ඇති බව දෙදහස් පන්සියයක ඉතිහාසය සාක්ෂි දරයි.

සම්බුදු සසුන සැමදා ආරක්ෂාවූයේ දැහැමි පාලකයන්ගේත් ජාතියේ මුරදේවතාවන් ලෙස සැලකෙන ගරුතර සංඝරත්නයේත් අනුග්‍රහ හා කැපවීම නිසා ය. මෙහිදී පාලක හා පාලිත යන දෙපක්ෂයේම වගකීම අති විශාලය. බොහෝ දෙනා අතර වඩාත් ප්‍රචලිත මිහිඳු දේශනාව ලෙස සාකච්ඡාවන්නේ බුදුදහම යනු කුමක්දැයි පිළිවෙලින් හඳුන්වාදුන් චුල්ලහත්ථි පදෝපම සූත්‍ර දේශනාවයි. එම සුත්‍ර දේශනාවෙන් තිස්ස රජතුමාත් මැති ඇමැතිවරුන් හා රැස්ව සිටි ජනතාවත් බුද්ධ, ධම්ම, සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය කුමක්දැයි හඳුනා ගනිමින් තිසරණ සරණ ගියහ. තිසරණ සරණ යාමෙන් සීලය පුරා, නීවරණ ප්‍රහීණ කොට ධ්‍යාන උපදවා අභිඥා ඥානයන් ලබමින් චතුරාර්ය සත්‍ය පසක්කොට නිර්වාණ අවබෝධය ලබන ආකාරය දක්වා සම්බුදු දහම යනු කුමක්දැයි පිළිවෙලින් අවබෝධ කරගැනීමට එම සූත්‍ර මහෝපකාරිවිය. විදේශ රටවලට පවා ඇතුන් ප්‍රවාහනය කළ ඇත් ශිල්පය පිළිබඳ මහා අවබෝධයක් තිබුණු රජු හා ජනතාවට එම හත්ථිපදෝපම සුත්‍ර උපමාව අතිශයින්ම සමීප එකක් විය. මෙසේ ක්‍රමයෙන් ලංකාව තුළ සම්බුදු සසුන ප්‍රතිෂ්ඨාපනය විය.

මිහිඳු මාහිමියන් විවිධ පැතිවලින් යුත් සූත්‍රදේශනා රාශියක් පාලක පාලිත දෙපක්ෂය අරමුණූ කොට දේශනා කළහ. පේතවත්ථු හා විමානවත්ථු දේශනාවන් මගින් සියලු දෙනාට අකුසලයේ භයානක විපාකත්, කුසලයේ සැප සම්පත් ලබාදෙන බලයත් ආකර්ෂණීය ලෙස පහදා දුන්නාහ. දේවදූත සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය බාලපණ්ඩිත සූතය අග්ගික්ඛන්ධෝපම සූත්‍රයන් දේශනා කරමින් රජුට හා ජනතාවට සම්බුදු දහමේ පණිවිඩය ලබාදුන් මිහිඳු මහ රහතන් වහන්සේ රටක සදාචාරය හා සෞභාග්‍යය සඳහා වඩාත් වැදගත්වන රාජොවාද ජාතකය, රාජෝවාද සූත්‍රය හා බාලපණ්ඩිත සූත්‍ර දේශනාවන් දේශනා කළහ. අප මෙහිදී පහතින් දක්වන්නේ රාජෝවාද සූත්‍රයෙහි එන ගාථාවන් දෙකකි.

“ගවං චෙ තරමාණනං– ජිමහං ගච්ඡති පුංගවෝ
සෙසා ජිව්හා ගච්ඡන්ති – නෙතෙන ජිමෙහ ගතෙසති
ගවං චෙ තරමානානං – උජුං ගච්ඡති පුංගවො
සෙසා උජුං ගච්ඡන්ති – නෙතෙත උජු ගතෙ සති”

ගඟකට බැස එගොඩට යන සිය ගණනින් යුතු ගවරැලේ නායක ගවයා, ඉදිරියෙන් ගමන් කරයි. (තරණය කරයි) ඒ නායක ගවයා ඇදට ගමන් කරයි. සෙසු ගවයෝ සියලුදෙනා ඇදට ගමන් කරති. නායක ගවයා ඍජුව ගමන් කරන විට සෙසු ගවයෝද ඍජුව ගමන් කරති. ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට ගිය අවස්ථාවක මෙය මම හොඳින් දුටුවෙමි. ගඟට බැස හිස උඩට තබාගෙන ගඟ තරණය කරණ ගව නායකයාගේ හිස හැරෙන දිසාවට සෙසු ගවයන් සියලු දෙනාගේ හිස එම දිසාවට හැරෙන අයුරු දුටු මට මෙම බුද්ධ දේශනාව කොතරම් අපූරු ද යන්න වැටහුණි.

මෙම කාරණය පාලක පන්තිය හා හොඳින් ගැලපෙන අතර එය රාජ්‍ය පාලනයට සීමා නොවේ. පාසලේ විදුහල්පති, පන්සලේ විහාරාධිපති, ආයතනයක පාලකයා යන මේ සියලු දෙනා කෙරෙහි මෙම උපමාව අදාළ වේ. රටක් දැහැමි වන්නේ එම රටේ තිබෙන ආගම අනුව නොවේ. කොතරම් නිවැරැදි ආගමක් දර්ශනයක් උරුම වුවත් රටේ රාජ්‍ය පාලනය ආර්ථිකය පරිහානිට ලක්වි තිබේනම් ඒ රටෙහි සදාචාරය බිඳ වැටී මිනීමැරුම් ස්ත්‍රි දූෂණ මංකොල්ල කෑම කැරලි කෝලාහල වර්ධනය වී යාම අනිවාර්යය. මිහිඳු මාහිමියන් රටේ පාලකයන්ට මෙම සූත්‍රවලට අමතරව චක්කවත්ති සීහනාද, කූඨදන්ත, අග්ගඤ්ඤ වැනි සූත්‍ර දේශනාවන් දේශනා කළ බවට සැකයක් නැත. බුදු රජාණන් වහන්සේගේ ධර්මය පරිපූර්ණ වු දහමකි. එහි කිසිදු තැනෙක අසත්‍යයක් නැත. යහපත් අරමුණක් සඳහා වුවද මිනිසුන්ට ප්‍රයෝජනවත් වුවද කිසිදා බුදුරජාණන් වහන්සේ අසත්‍යයක් දේශනා නොකරන බව අභය රාජ කුමාර සූත්‍රයෙන් පැහැදිලි කළහ. ඒ අනුව උන්වහන්සේ සත්‍යවූත්, අද්භූතනොවුත් මිනිසාට ප්‍රයෝජනවත් දෙයම දේශනා කළහ. සමහර සත්‍ය පි‍්‍රයවන අතර සමහර දේශනා කෙනෙකුට අමිහිරි ඒවා මිස ඒවා තිත්ත කසාය බඳුය.

මුලින් සඳහන් කළ රාජෝවාද සුත්‍රය හා බාලපණ්ඩිත සූත්‍රදේශනා වන්ගෙන් රජතුමා හා මැති ඇමැති වරුන්ට තදින් අවවාද කළ බවක් මහා වංශයෙහි දැක්වෙන පහත සඳහන් වැකියෙන් පැහැදිලි වේ. “ථෙරො අමෙහ ගාලෙන ඔවදති. ගචෙඡ්‍යයානුඛො? මහින්ද මහතෙරණුවො. අපට දැඩි ලෙස අවවාද කරන්නේ ආපසු වඩින්නවත්ද? මේ සූත්‍ර දේශනාවන් සමඟ තේ සකුණ ජාතක කථාවන්ද සම්බන්ධ කරගෙන ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ තිස්ස රජතුමා ඇතුළු මැති ඇමැති පිරිසට මනාව පැහැදිලි කළේ පාලකයන්ගේ බැරෑරුම් වූ වගකීමයි. බුදුදහම හුදෙක් ලෝකෝත්තර වූ විමුක්තියට සීමාකළ දහමක් නොවේ.

රට වටේම ගලන්නාවූ අලංකාර ගංඟා පද්ධතියකින් හෙබි, සදාහරිත පරිසරයකින්ද ඇල දොල වනාන්තර ඇතුළු භෞතික සම්පත්වලින් පිරීගිය මේ රටෙහි මිහිඳු හිමියන් දේශනා කළ ධර්මය අනුගමනය කළ දසරාජ ධර්මය ක්‍රියාත්මක කළ පාලක පිරිස අහසින් වැටෙන වැහි බිඳුව මුහුදට ගලා යාම අවහිර කොට ඉදිකළ මහා වැව් අමුනුවලින් තහවුරු කළේ මේ රටේ ආර්ථික සමෘද්ධිය නොවේද? කොසොල් රජුට එදා දේශනා කළ චක්කවත්ති සීහ නාද සූත්‍රයෙන් බුදුරදුන් අවධානය කළේ ආර්ථික සමෘද්ධියෙන් තොර සදාචාරය හිස් වදනක් බවය. නිදහසින් පසුව අප සිදුකළේ මහා පරිසර විනාශයකි. කුඹුරු ගොඩකරමින්, කුරුඳු ඉඩම්, පොල් ඉඩම්, රබර් ඉඩම් ආදිය වෙන්දේසි කොට කරන්නාවූ මහා ජාතික අපරාධයන් ගැන කථා නොකොට හුදෙක් අධ්‍යාත්මික සුවය, පමණක් ගැන දේශනා කිරීම අර්ථ ශූන්‍ය කරුණක් බව අප වටහා ගත යුතුය. ජාතිවාදි ගැටුම් ඉදිරියේදී වුවද මතුවීමට බලපාන ප්‍රධාන හේතු සාධකයන් වන්නේ අක්‍රමික අධ්‍යාපනික ආර්ථික සැලසුම්ය. මිහිඳු හිමියන් තේ සකුණ ජාතකය වැනි ජාතක කථාවකින් ගෙන හැර දක්වන ලද්දේ රටේ සම්පත් නිසිසේ කළමනාකරණය කොට ආර්ථික සමෘද්ධියක් ඇතිකිරීමේ අවශ්‍යතාවයි.