Print this Article


සද්ධා

සද්ධා

නුවණින් ඔපවත් වූ විශ්වාසය සද්ධාවයි. එය, සංස්කෘත භාෂාවේදී ශ්‍රද්ධා නම් වේ. හින්දු ආගමට අනුව ශ්‍රත් යනු හදවතයි. ධා යනු තැන්පත් කිරීමයි. හදවතෙහි දෙවියන් තැන්පත් කර ගැනීම එයින් අදහස් කෙරේ. අපේ පොත්වල ද එම අදහස දක්නට ලැබේ. ‘මහද ගඳකිළි කැර සව්නේ ගෙවා දත්හට’ යනුවෙන් සිඳත් සඟරාවේ කියවේ. මගේ හදවත සියල්ල දත් බුදුරජාණන් වහන්සේට ගන්ධකුටියක් බවට පත් කර යනු එහි අදහසයි. බුදුරදුන් කෙරෙහි ඇති අසීමිත විශ්වාසය එයින් ප්‍රකට වේ.

ශ්‍රද්ධාව තමන් හා එකට යෙදුනා වූ ධර්මයන් ප්‍රසාදයට පත් කරයි. එය සක්විති රජුගේ උදක ප්‍රසාදක මාණික්‍යයට සමාන කොට දක්වා ඇත. රජුගේ එම මුද්ද මඩ සහිත වතුරකට දැමී කල්හි ජලය පිරිසුදු වන බව පැවසේ. බුද්ධානුස්සතිය වඩනකල්හි ආනිසංස පහක් ලැබෙන බව විසුද්ධි මග්ගයෙහි පවසා තිබේ. සද්ධා වෙපුල්ලං, සතිවෙපුල්ලං, පඤ්ඤාවෙපුල්ලං, පුඤ්ඤවෙපුල්ලං අධිගච්ඡති, ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව, පින යන කරුණු විපුල බවට විශාල බවට පත්වන බව එහි අදහසයි. පී‍්‍රතිය හා ප්‍රමෝදය වැඩිවෙයි. කෙළෙස් මල දුරුකොට තමන් හා සම්ප්‍රයුක්ත ධර්මයන් පැහැදවීම ශ්‍රද්ධාවේ ප්‍රධාන කාර්යයි.

මේ ලෝකයෙහි බුද්ධ, ධර්ම, සංඝ යන රත්නයන් සියලු සත්වයන්ට සරණ වෙයි. රත්නත්‍රය සරණයෑම ශ්‍රද්ධාවේ මූලික ලක්ෂණයයි. එය ආරක්ෂාවට ස්ථානය වෙයි.

වෙනත් ආගම්වල මෙන් නොව බුදුසමයෙහි මුල්තැන ලැබෙන්නේ භක්තියට නොවේ. භක්තිය ඇළීමෙන් අන්ධකාරයෙන් යුක්ත ය. නිවන ලැබීම සඳහා ශාස්තෘවරයා කෙරෙහි ඇළීමක් අවශ්‍ය නොවේ. අවබෝධය හේතුකොටගෙන ඇතිවන නිසැක බව ‘සද්ධා’ නම් වේ. විශ්වාසය, භක්තිය අවශ්‍ය වනුයේ නිවැරදි අවබෝධයක් නැති විටයි. සත්‍ය ගැඹුරින් අවබෝධ කර ගත් විට භක්තියක් අවශ්‍ය නොවේ.

එහෙයින් අවශ්‍ය වනුයේ දැන ගැනීමත්, දැක ගැනීමත් මිස ඇදහීම නොවේ. දහම් ඇස පහළ වී නම් ඇදහීමට සහ විශ්වාසයට තැනක් නොලැබේ. ඒහිපස්සික යන වචනය මෙහිලා බෙහෙවින් වැදගත් වේ. ඇවිත් බලන්න යනු එහි තේරුමයි. ඇවිත් විශ්වාස කරන්න යැයි එහි අදහසක් නොමැත. ශ්‍රද්ධාවෙන් සසර සැඩ පහර තරණය කරයි. ලෝකෝත්තර ඵල නෙලා ගැනීමට ශ්‍රද්ධාව බීජයකි.

“ඉදමෙව සච්චං මොඝමඤ්ඤං” මෙය ම සත්‍යය. සෙස්ස බොරු යැයි පැවසීම තේරුමක් නැත. කෙනෙකු කැමති දෙයක් විශ්වාස කළ හැකි ය. එහෙත් නිර්වාණගාමී මාර්ගය දික් වෙයි. ශ්‍රද්ධාවේ වටිනාකම චංකී සූත්‍රයේ පැහැදිලි කරයි. ධර්මය අවබෝධ කර ගැනීමට ශ්‍රද්ධාව උපයෝගී වන ආකාරය එහි පෙන්වා දෙයි.

උස්සහිත්වා තුලයති. තුලයිත්වා පසීදති. පහිතත්තො සමානො කායෙන වෙච පරමසචචං සචඡිකරොති.

හටගත් සැදැහැ ඇතියේ එළඹෙයි. එළඹෙනුයේ සාකච්ඡා කෙරෙයි. සාකච්ඡා කරනුයේ කන් යොමු කරයි. යොමු කළ කන් ඇතියේ දහම් අසයි. අසා දහම් දරයි. දැරූ හි අරුත් පිරික්සයි. අරුත් පිරික්සා ධර්මයෝ වටහා ගනියි. දහම් වැටහීම ඇති කල්හි ඡන්දය උපදී. හටගත් ඡන්දය ඇතියේ උත්සාහ කරයි. උත්සාහ කොට තුලනය කරයි. තුලනය කොට ප්‍රධාන වීර්යය කරයි.

නිවනට මෙහෙයූ සිත් ඇත්තේ ම (නාම) කයිනුදු සත්‍යය (නිවන) පසක් කරයි. මෙම ධර්ම කරුණු වලින් පැහැදිලි වනුයේ ශ්‍රද්ධාව මාර්ගයෙන් නිවන දක්වාම ගමන් කළ හැකි බවයි. සැදැහැ සිත ඉදිරි මාර්ගඵල ලබා ගැනීමට මූලික වන බව වටහා ගත හැකිය.