Print this Article


මිනිස් චර්යාවන් පිළිබඳ බෞද්ධ විග්‍රහය

මිනිස් චර්යාවන් පිළිබඳ බෞද්ධ විග්‍රහය

සහනය පිණිසම පවත්නා බවත්, පෙන්වූ අපූරු ,පෙර නොඇසූ විරූ දහමක් දේශනා කළ ශාස්තෘන් වහන්සේ හැටියට කීර්තිමත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. එහෙයින්, උන්වහන්සේ අච්ඡරියමනුස්ස නම් වෙති. ධර්ම ‘පටසොතගාමී ධම්ම’ නම් වෙයි. බුදුරදුන්ගේ අසිරිමත් බවසහ ධර්මයේ මහිමය සංකේතවත් කරන මේ දෙපදය විමර්ශනයට ලක් කිරීමෙන් ශාස්තෘවරුන් අතර ගෞතම බුදුරදුන්ටත්, ධර්මයන් අතර තථාගත ධර්මයටත් ඇති අනන්‍යතාව කදිමට වටහා ගත හැකිය.

මිනිස් හසර පිළිබඳව ලත් යථාභූත ඥානයෙන් යුතුව ඔවුන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ හතරක් අංගුත්තර නිකාය චතුස්ක නිපාතයෙහි එන දුතියතථාගතච්ඡරිය සූත්‍රයෙන් පෙන්වා දී දිබේ.

ආලයරාම පජා ,මානාරාම පජා ,අනුපසමා පජා ,අචිජිජාගතා පජා ,යනු ඒ හතරයි.

සමාජය ගමන් කරන පැත්ත, එසේත් නැත්නම් පොදුවේ මිනිසාගේ ජීවන ගමන සිදු වන්නේ කවරාකාර බැඳීම්, කෙබඳු අදහස්, කෙබඳු පැවතුම්, කුමන දැකීමක් ඇතිව ද යන බව මේ සිවුවැදෑරුම් ලක්ෂණ තුළින් පිළිබිඹු වෙයි. ප්‍රජාව එනම් මුළු මහත් සමාජ ජාලයෙහි ඇලී බැඳී සිටින බව ආලයරාමා පජා යන ප්‍රථම ලක්ෂණයෙන් කියැවෙයි. මෙයින් අදහස් කළේ මිනිසා මිනිස් සමාජයට දක්වන ආලයක් නොව සමාජ සන්තක සකලවිධ භෞතික සැප සම්පත් කෙරෙහි පුද්ගලයා දක්වන ආශාවයි. පංචකාම යන ආගමික නාමයෙන් හඳුන්වා ඇතත් ලොව පවත්නා භෞතික සම්පත් පරිභෝජනයෙහි අවශ්‍යතාව, ඕනෑකම, සාධාරණත්වය සෑම දෙනා හටම එක හා සමානය. නමුත් සමාජයේ ක්‍රියාකාරී අංශය දෙස බැලීමේදී පැහැදිලිව පෙනී යන දේ නම් හැම තැනම, හැම දේම කාට නැතත් මටම ලැබේවා, යන අරගලය සමාජ ජීවිතයේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ වන බවයි.

මේ පදනමේ පිහිටා ක්‍රියා කරන මිනිසුන්ගේ චර්යා රටාවේ ස්වරූපය හෝ සීමාව මෙයයි කියා හෝ මෙතැන යැයි කියා හෝ කිසිම සහතිකයක් නොමැත. වචන හුවමාරුවේ පටන් ජලකර, පරමාණු භාවිතය තෙක් මෙදෑතුර පවත්නා සියලු තරමේ කලකෝලාහල, මහ සටන්, මහා විපත්, සියල්ලක්ම එයට ඇතුළත් විය. මේ විනාශකාරී ලෝක ගමන සම්පූර්ණයෙන්ම බුදුදහමට පටහැනිය. එම ධර්මයෙන් අනුශාසනා කරන්නේ මේ විනාශකාරී ගමන අනිත් පැත්තට හරවන ලෙසය. එහි තේරුම භව භෝග සම්පත් මිනිසාට අනවශ්‍යය යන්න නොවේ. භෝගය සුඛයකි. කාමය සුඛයකි. එහෙත් අවශ්‍යතාව සඳහා මිස අරගලය සඳහා නොවේ. අර්ථ සිද්ධියට පොහෝනා පමණින් උපයා ගත යුතු ය. සැපයක් වන්නේ එහිදී පමණකි. එය හැකි විටත්, ඉන් එහාටත් හටනක් මිස සැපයක් නැත.

මෙසේ කාමයන්ගේ ආදීනව යථාභූත ඤාණයෙන් පිරිසිඳ දත් තථාගතයන් වහන්සේ එහි නිස්සරණය සඳහා දහම් දෙසන්නට පටන් ගත්හ. අනාලය සඳහා විවෘත ලෙසින් ප්‍රකට ලෙසින්, දහම් දෙසත්, දෙසත් බහුජනතාව අසන්නට රුචි වූහ. උන්වහන්සේට කන් යොමු කළහ. අවබෝධ ඤාණය ලබා ගැනීමට උත්සුක වූහ. මෙය උන්වහන්සේ වෙත පැවැති ආශ්චර්යමත් ලක්ෂණයකි.

මානය නම් ආත්මවාදය මුල් කොට සත්ව සන්තානයෙහි හට ගන්නා අහංකාර මමංකාර හැඟීම් වාගේම මම යන පිළිගැනීමයි. මම මගේ යන්න ආත්මාර්ථකාමිත්වයේ අත්තිවාරමයි. බුදු දහම ඉතා බැරෑරුම් ලෙසින් ප්‍රතික්ෂේප කරන දෙයකි ආත්මාර්ථකාමී බව. මේ නිසා පරාර්ථයම පරමාර්ථ කොට ගත් ධර්මයක් වූ තථාගත ධර්මය මගින් නිත්‍ය ස්වභාවයක් නැති, එහෙයින් පීඩාකාරක වූ ලොව සැරිසරන මිනිසා ආත්මය කියා හෝ ආත්මීය කියා හෝ දැනීමට, දැකීමට දැක්වීමට දෙයක් නැතිවම මානාරාමවීමේ ආදීනව පෙන්වා දී තිබේ. මිනිසුන් යන පැත්තෙන් අනිත් පැත්තට හැරවීමට අවස්ථාව සැලසීම බුදුරදුන් වෙත පැවති අසිරිමත් ලක්ෂණයකි.

මිනිසුන් අතර පොදුවේ දක්නට ඇති අනිත් ලක්ෂණ අනූපසමයයි. සහනයක්, සෑහීමක් ඇතිවීමක් නැතිව ක්‍රියා කරන මිනිසුන් නතර වන තැනක් ගැන සිතීමටවත් බැරිය.

සතර වන ලක්ෂණය වශයෙන් පෙන්වා ඇත්තේ අවිජ්ජාගත භාවයයි. බුදුන් වදාළ ධර්මයට අනුව, හේතුඵල නියාමයෙන් යුත්, පටිච්ච සමුප්පන්න ලෝකයේ, දුක්ඛකාරක, දෝමනස්සකාරක, උපායස කාරක සියලු පැවතුම්වලට මුල උපත, ජීවිතය, මරණය පිළිබඳ යථාර්ථවත් දැනීම, අවබෝධය නොමැතිකමයි. අවිද්‍යාවයි. නොදැනීමයි. කවර මට්ටමක ජීවත් වුවත් අප සෑම දෙනාම සියලු රෝග පීඩාවනට ගොදුරුව සිටින්නේ අවිද්‍යාව නිසයි.