Print this Article


දඹදිව වන්දනාවේ යාමට බිය විය යුතු නැහැ - පල්ලේගම විජිත හිමි

දඹදිව වන්දනාවේ යාමට බිය විය යුතු නැහැ - පල්ලේගම විජිත හිමි

දඹදිව වන්දනාවේ යෙදීම සඳහා ශී‍්‍ර ලාංකේය වන්දනාකරුවන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව රජගහනුවර වේළුවන ශී‍්‍ර ලංකාරාමාධිපති පල්ලේගම විජිත හිමියෝ පවසති.

දඹදිව වන්දනා කරන සෑම පූජනීය ස්ථානයකම අපේ රටේ නාහිමිවරුන් එහි වැඩ සිටින බවද උන්වහන්සේලා විශේෂයෙන් මෙරට වන්දනාකරුවන්ට විවිධ උපකාර කිරීමට කැප වී සිටින බවද විජිත හිමියෝ පැවැසූහ.

අනගාරික ධර්මපාලතුමන් ඇරැඹූ ධර්ම ප්‍රචාරක කටයුතුවලට මහා සංඝරත්නය නායකත්වය ලබා දෙන බවත් දඹදිව පූජනීය පුදබිම් රැකගැනීම අප සතු වගකීමක් බවද පැවැසූහ.

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා සංවිධායකවරුන්ගේ සංගමය මගින් ඉකුත්දා (23) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විජිත හිමියෝ මෙසේද පැවැසූහ.

දඹදිව වන්දනාවේ යෙදෙන බෞද්ධයන් බිය ගැන්වීම අකුසලයක්, සමහර මාධ්‍ය මගින් එවැනි බිය ඇති කර තිබෙනවා. අපේ රටේ බෞද්ධයන් දඹදිව වන්දනාවේ නිරතවීමට බිය විය යුතුනෑ. දඹදිව යන මවුපියවරුන්ගේ දූ දරුවන් තම මව්පිය වැඩිහිටියන්ගේ රෝගී තත්වයන් තිබෙනවා නම් ඒවා වන්දනා සංවිධායකවරුන්ට නොසඟවා ඔවුන් දැනුම්වත් කළ යුතුයි. ලෙඩ දුක් නැති අය දුර්ලභ බව කිව යුතු නොවේ. වන්දනාකරුවන් ආරක්ෂා කිරීමට වන්දනා සංවිධායකවරුන් බැඳී සිටින බවද උන්වහන්සේ පැවැසුහ.

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන මහතා මෙසේ කීය.

බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංගමයේ සාමාජිකත්වය දරන වන්දනා සංවිධායකවරුන් සමඟ දඹදිව වන්දනාවේ යෙදීමෙන් වඩාත් සුරක්ෂිතභාවයක් තහවුරු කෙරෙන අතර සියලු වන්දනාකරුවන් යම් අපහසුතාවයකට පත්වුවහොත් ඊට නිසි පිළියම් යෙදීමට පසුබට නොවන බවද කීය.

එහිදී ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් නිමල් බණ්ඩාර, ප්‍රධාන සංවිධායක හර්බට් විජේතුංග, උපලේකම් විමලරත්න කොහොඹන් මහත්වරු ඇතුළු කිහිප දෙනෙකු එහිදී අදහස් දැක්වූහ.