Print this Article


පනස්පස්වන වරටත් පැවැත්වෙන මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව

පනස්පස්වන වරටත් පැවැත්වෙන මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව

සම අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය

එදා මිහින්තලා කන්දෙන් පැන නැගී මෙරට දස දෙසට විහිදී ගලා ගිය ශාන්ති නායක අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ නිර්මල සදහම් ගංගාවෙන් සියලු සිත් සතන් පහන් වූහ. අවිද්‍යාවෙන් අඳුරුව පැවැති මොහොතක අපේ රට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩවීමෙන් සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කරන ලදී.

කෘතෝපහාර දැක්වීම බොදුනුවාගේ දිවිපෙවෙතෙහි සුවිශේෂී ලක්ෂණයකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු රාජකීය දූත පිරිස සිරිලකට වැඩම කළ ඓතිහාසික දිනය පොසොන් පුර පසළොස්වක දවසයි. එදා මිහින්තලාවට වැඩම කළ අනුබුදු හිමියන් ප්‍රධාන දූත පිරිස සිහියට නැගෙත්ම අතීතයේ සිට වන දුර්ග ගිරිදුර්ග තරණය කරමින් මුතුන් මිත්තන් මිහින්තලා පුද බිම දැක බලා ගනිමින් වැඳ පුදා ගැනීමට පුරුදු වී සිටි අයුරු මතකයට නැගේ.

මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණි සැදැහැවතුන්ගේද පහසුව සඳහා මිහින්තලා පුදබිම විදුලි බුබුලින් ඒකාලෝක කිරීමට මෙයට වසර පනස් පහකට පෙර පත්තර මහ ගෙදර කටයුතු යෙදූහ.

අපේ රටේ පත්තර මහ ගෙදර ලෙස විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනය හෙවත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙරට ජනතාවගේ නැණ පහන් දැල්වීමට සිදු කරනුයේ සුවිශේෂී මෙහෙවරකි. ඊට අමතරව ආගමික සාමාජික ආදී අගනා මෙහෙවර රැසක්ද සිදු කරනු ලැබේ.

අද මෙන් විදුලි බලය ව්‍යාප්තව නොමැති යුගයක මිහින්තලා පුද බිම ඒකාලෝක කරන ලද්දේ විදුලි ජෙනරේටර් උපකාරයෙනි. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රී මතාණන්ගේ උදාර සංකල්පයක් ඵල දරමින් එතුමන්ගේ දයාබර පුතණුවන් වන එවකට ලේක්හවුස්් සභාපතිවරයා වූ රංජිත් විජයවර්ධන මහතා විසින් සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සහායෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ආරම්භ කරන ලදී.

මිහින්තලා රජ මහා විහාරාධිපතිව වැඩ විසූ වළවාහැංගුණ වැවේ ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇරැඹුණු මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව වසරෙන් වසර නැවුම් පියවර රැසක් ද තැබූහ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ අසිරිය රට පුරා පැතිරී යද්දී මිහින්තලා පුදබිමෙත් අවට ප්‍රදේශයේත් මෙහෙවර රැසක් ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය වසරෙන් වසර නවතාවයෙන් අලංකාර විය. අපේ රටේ සතර පොහොයටම අඛණ්ඩව පළවන එකම බෞද්ධ පුවත්පතෙහි පළමු පිටපත මෙයට පනස් දෙවසරකටපෙර පිළැගැන් වූයේ මිහින්තලා පුදබිමේ දී එවකට විහාරාධිපතිව වැඩ විසූ වළවාහැංගුණවැවේ’ ශ්‍රී රතනපාල රතනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතය.

විදුලි ජෙනරේටර් භාවිතයෙන් ඇරැඹුණු ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවයට සමගාමීව 1978 වසරේ දී ලංකා විදුලි බල මණ්ඩලයේ සම අනුග්‍රහය ඊට ලැබුණි. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ක්‍රමවත්ව හා විධිමත්ව පවත්වාගෙන යාමට මිහින්තලා ආලෝක භාරය ඇරැඹුණු අතර රතනජෝති නා හිමියන් වෙතින් ඊට අගනා සහායක් ලැබුණි.

ලේක්හවුස් අනුග්‍රහයෙන් 1989 දී දහම් පාසල් සහ පාසල් දරුවන් 125 දෙනෙකුගෙන් ඇරැඹුණු සීල සමාදාන පින්කම ව්‍යාප්ත වී එය දහසක් දරුවන් වෙත මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් අනුග්‍රහයෙන් සිල් රෙදි පිරිනමා සිදු කෙරෙන සීල සමාදාන මහ පින්කමක් බවට පත් වී ඇත.

දීප ව්‍යාප්ත රචනා තරගයක් සහ උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් දරුවන් අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් කථික තරගයක් බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් පැවැත්වේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව මිහින්තලා කම්මලක්කුලම විද්‍යාලයට විද්‍යාගාරයක් පිරිනැමීමත්, එම ගම්මානයට විදුලි ආලෝකය ලබා දීමත් සිදු විය. 1992 මිහින්තලේ රෝහලට මාතෘ නිවාසයක් ද 1993 දී මිහින්තලා කනිටු විදුහලට දන්ත චිකිත්සාගාරයක් ලබාදීමත් 1994 කුරුන්දන්කුලම වඩු කාර්මික හා වෘත්තීය පුහුණු වැඩමුළුව ඇරඹීමද මිහින්තලා ආලෝක භාරයේ සුවිශේෂී මෙහෙවර අතර වේ. 1996 දී කටුපොත ගම්මානයේ පෙර පාසලක්ද ඇරැඹු අතර මිහින්තලා මහා විද්‍යාලයට පරිගණක මධ්‍යස්ථානයක් පිහිටුවා පරිගණක පරිත්‍යාග කර විදුලි පහසුකම් සැපයීමට මිහින්තලා ආලෝක භාරය කැපවිය.

ලංකා විදුලිබල මණ්ඩලය තාවකාලික විදුලිබල පද්ධතිය නවීකරණයෙන් පසුව නව භූගත විදුලිබල පද්ධතියක් මගින් මිහින්තලා පුදබිම ඒකාලෝක කිරීමට කටයුතු සැලසීය.

මිහින්තලා පතිරාජ තෙන්නකෝන් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමා උද්‍යානය නවීකරණය කරවීමත් එම වසරේ දීම මිහින්තලා රජ මහා විහාරස්ථ ඓතිහාසික උපෝෂථාගාරය මැලිබන් ආයතනය අනුග්‍රහයෙන් ඉදිකරවීමට ලේක්හවුස් ආයතනය මුල් විය. වර්තමාන මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාරුණික මාර්ගෝපදේශකත්වය යටතේ වසරෙන් වසර නවතාවයෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජා මහෝත්සවය අත්‍යාලංකාරයෙන් පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති කාවන් රත්නායක මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේත් ආලෝක පූජාවට සම අනුග්‍රහය ලබාදෙන ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතා ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සහායත් මහාභාරකාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විද්‍යුත් මාධ්‍ය දායකත්වයද බෙහෙවින් අගයමු.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය මෙවර දින පහක් පුරා පැවැත්වේ.

අඩසිය වසරකුත් වසර පහක් පුරා ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් මිහින්තලා ආලෝක පූජාවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවත් ගෞරවයත් වර්ධනයට සිදු කර ඇත්තේ සුවිශේෂී මෙහෙවරකි. දැයේ නැණ පහන් දල්වමින් විවිධාකාරයෙන් සමාජ මෙහෙවරෙහි යෙදෙන ලේක්හවුස් ආයතනය එහි ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අදහස් ද මල්ඵල ගන්වමින් සුවිශේෂී මෙහෙවරක නිරත වේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 07වනදා සිට 11වනදා දක්වා මිහින්තලා පුදබිමේදී පස්වරු 6.00 සිට පැවැත්වේ.ඩයලොග්, අබාන්ස්, ලංකා බැංකුව බැතිබර දායකත්වය සපයයි.