Print this Article


පුරාවිද්‍යාත්මකව සනාථවන මහින්දාගමනය

පුරාවිද්‍යාත්මකව සනාථවන මහින්දාගමනය

සිංහල සංස්කෘතියේ හා ශී‍්‍ර ලාංකේය බුද්ධ ශාසනයේ ආරම්භක දිනය ලෙසින් සනිටුහන් කෙරෙන පොසොන් පෝය, ජාතික දිනයක් ලෙසින් මෙන්ම ආගමික දිනයක් ලෙසින්ද සැමරීමේ ඉතිහාසය අනුරාධපුර යුගය තරම් ඈත අවධියකට දිවයන්නක් බව පැහැදිලි කරුණකි. එබැවින් ශ්‍රී ලංකා ඉතිහාසයේ කඩඉමක් සනිටුහන් කරන මහින්දාගමනයේ හා ඒ සඳහා පසුබිම සැකසුණ අශෝක අධිරාජයාගේ ධර්මදූත ව්‍යාපාරයේ ඇති ඓතිහාසිකත්වය පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් සනාථවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත. ඒ මඟින් මහින්දාගමනයේ ඇති නිරවද්‍ය බවද පැහැදිලිව ඔප්පු වේ.

කි‍්‍රස්තු පූර්ව තෙවැනි සියවසේදී එවකට දඹදිව මෞර්ය පාලකයා වු අශෝකයන් විසින් තෙවන සංගීතිය නිමවා මොග්ගලීපුත්ත තිස්ස හිමියන්ගේ උපදේශකත්වය මත ධර්මයේ හා සංඝ ශාසනයේ චිරස්ථිතිය අරබයා දියත් කළ ධර්මදූත ව්‍යාපාරයේ එක් ප්‍රතිඵලයක් ලෙසින් ලක්දිවට බුදුදහමේ ආලෝකය ලැබුණු අයුරු ශී‍්‍ර ලංකා වංශකතා මෙන්ම විනය අටුවාව වන සමන්තපාසාදිකාවද සැදැහැසිත් පහන්වන ලෙසින් වර්ණනාත්මකව ඉදිරිපත් කර තිබේ. තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රධාන භික්ෂූන් නව දෙනෙකුගේ නායකත්වයෙන් සැදුම් ලත් ධර්මදූත කණ්ඩායම් නවයක් ධර්ම ප්‍රචාරක කටයුතු පිණිස ඉන්දියාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශලට මෙන්ම අසල්වැසි රටවලටද යවන ලද බව ශී‍්‍ර ලාංකේය සාහිත්‍ය මූලාශ්‍රයෝ සඳහන් කරති. දීපවංශය, මහාවංශය හා සමන්තපාසාදිකාව දක්වන ආකාරයට කාශ්මීර, ගන්ධාර, ප්‍රදේශයට මජ්ඣන්තික තෙරුන්ද මහිස මණ්ඩලයට මහාදේව තෙරුන්ද රක්ඛිත තෙරුන් වනවාසයටද, අපරන්තයට යෝනක ධම්මරක්ඛිත තෙරුන් ද, යෝනක ලෝකයට මහරක්ඛිත තෙරුන්ද, හිමවන්තයට කස්සපගොත්ත, මජ්ක්‍ධිම යන භික්ෂූන් ප්‍රමුඛ පස් නමකගෙන් සැදුම් ලත් කණ්ඩායමක්ද ස්වණ්ණභූමියට සෝණ උත්තර දෙනම ද ශී‍්‍ර ලංකාවට මහින්ද තෙරුන් ප්‍රමුඛ කොට ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල .සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිසද පිටත් කොට යවන ලද බව සඳහන් කරයි.

අශෝකයන් විසින් ඉන්දියාවේ විවිධ ස්ථානයන්හි පිහිටුවා ඇති ගිරි ලිපිවල සඳහන් තොරතුරු තුළින් ඔහුගේ ධර්ම විජය ප්‍රතිපත්තිය ධර්ම මහාමාත්‍යවරුන්ගේ මාර්ගයෙන් යොදුන් හයසියයක් පමණ ඈතින් පිහිටි යෝනක ලෝකයටත්, චෝළ, පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍රය, කේරළ පුත්‍රය තම්බපණ්ණි (ශ්‍රී ලංකා) සහ කාම්බෝජ, නාබක, නබපන්තික, බොජක, ආන්ද්‍ර හා පලාද යන ජාතීන් අතරද ව්‍යාප්ත කළ බව සඳහන් කෙරේ. ඇතැම් විට බෞද්ධ භික්ෂූන්ද මෙම කාර්යය සඳහා දායකත්වය ලබා දෙන්නට ඇතැයි යන්න එෆ්. රිචඩ් ගෝම්රිච් (ජ්.අඪජඩචපඤ ට්ධථඡපඪජඩ) වැනි වියතුන් විසින් අනුමාන කර තිබේ.

ශී‍්‍ර ලාංකේය වංශකථාව හා විනය අටුවා ද ධර්මදූත ව්‍යාපාරය ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන අතර එමගින් උක්ත කරුණ සම්බන්ධයෙන් නව ආලෝකයක් ලබා දෙයි. එබැවින් සාහිත්‍ය කෘති රචිත කාලය හා සිද්ධීන් අතර දුරස්ථ බවක් ඇති බැවින් හා භික්ෂූන් විසින් රචනා කිරීම මත ඇතැමෙකුට සාහිත්‍යගත කරුණු සම්බන්ධිතව සැක ඇතිවීමද නොවැළැක්විය හැකිය. එබැවින් සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක තොරතුරු සංසන්දනය කොට නිගමනයනට එළඹීම ඓතිහාසික සිද්ධීන් වඩාත් නිරවද්‍ය ලෙසින් තහවුරුකරලීමට මෙන්ම ඇතිවන මතවාද අවම කරලීමටද හේතු වේ.

ධර්ම සංගායනාවට මෙන්ම ධර්මදූත ව්‍යාපාරයට ගිහි පාර්ශ්වයෙන් නායකත්වය ලබාදුන් පියදස්සි හෙවත් ධර්මාශෝක රජුගේ ඓතිහාසිකත්වය ඔහුගේ අභිලේඛන මඟින් දීපවංශ, මහාවංශ සමන්තපාසාදිකා හා වංසත්ථප්පකාසිනී ගත තොරතුරු මගින් සනාථව ඇත. පැවිදි පක්ෂයෙන් නායකත්ය දෙනු ලැබු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බව සාහිත්‍ය මූල‍්‍රාශ්‍රයේ වර්ණනාත්මකව පෙන්වා දෙති. එබැවින් උන්වහන්සේගේ ඓතිහාසිකත්වයද පළමුවෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් හඳුනා ගත යුතුව ඇත. මහාවංශයේ මෙන්ම සමන්තපාසාදිකාවේ උන්වහන්සේ මොග්ගලී බ්‍රාහ්මණයාට දාව ඔහුගේ පුතෙකු ලෙසින් උපත ලද්දෙකු ලෙසින් සඳහන් වේ. තිස්ස යනු පෞද්ගලික නාමය වන අතර මොග්ගලී බ්‍රාහ්මණයාගේ පුතා වන බැවින් මොග්ගලීපුත්ත යනුවෙන් හඳුන්වා දී ඇත. සාංචියේ දෙවැනි දාගැබෙන් ලැබුණු එක් ධාතු මඤ්ජුසාවක පත්ලෙහි සඳහන් වන ‘සපුරිස මොගලිපුතස” යන පාඨය සාහිත්‍ය මූලාශ්‍රගත තොරතුරු සමඟ සැසැඳිය හැකිය. එසේ නම් ‘මොගලිපුත’ යනු ‘මොග්ගලිපුත්ත’ බව පැහැදිලි අතර ‘සපුරිස’ යනුවෙන් සඳහන් වීමත්, ධර්මදූත කාර්යයේ නිරත වූ අනෙක් භික්ෂූන් කීප නමකගේ ධාතු අතර තිබීමත් ක්‍රි.පූ. තෙවැනි සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් මෙම පාඨය ලියා තිබීමත් යන කරුණු පදනම් කර බලන විට මොග්ගලීපුත්ත තිස්ස හිමියන්ගේ ඓතිහාසිකත්වය පිළිබඳ නිවැරදි වැටහීමක් ලද හැකි වේ.

එමෙන්ම ධර්මදූත ව්‍යාපාරය සඳහා සම්බන්ධ වු සාහිත්‍ය මූලාශ්‍රගත භික්ෂු නාම පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් හඳුනාගත හැකි වේ නම් ඒ මගින් තෙවන ධර්ම සංගායනාවේ පමණක් නොව මහින්දාගමනයේ සත්‍ය බව පසක් කර ගැනීමටද එමගින් ආලෝකයක් ලැබේ. වංසකථා සාහිත්‍ය හා සමන්තපාසාදිකාව දක්වන ආකාරයට ධර්මදූත කණ්ඩායම් නවයක් පමණ ඒ ඒ ප්‍රදේශයන් වෙත ප්‍රධාන භික්ෂූන් නව දෙනෙකුගේ නායකත්වය මත යවා ඇත. මෙලෙසින් සාහිත්‍යගත මූලාශ්‍ර හෙළි කර ඇති ධර්මදූත කාර්යාවලියට නායකත්වය සැපයූ ඇතැම් භික්ෂූන්ගේ නාමයන් සාංචියෙන් ලැබුණු අභිලේඛන වලින් සනාථව තිබීමද තෙවන සංගායනා ගැන ඇති තොරතුරුවල නිරවද්‍ය බව වටහා ගැනීමට මහෝපකාරී වේ.

සාංචියේ දෙවැනි ස්තූපය කැණීම් කළ ඇලෙක්සැන්ඩර් කනිම්හැම් (ඒතඥයචදඤඥප ඛ්භදදඪදඨඩචථ) විසින් එහි අළු සුදු වැලි ගලින් (ට්පචර ඹඩඪබඥ ඵචදඤඵබධදඥ) නිමවන ලද ශෛලමය පෙට්ටියක් මත පේළි තුනකින් බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද ලිපියක විනයේ ගුරුවර වූ අරහන්ත කස්සපගොත්ත හා අරහන්ත වාච්චි සුවිජයන (සව්නා විනයකාන අරන් කසපගොතම් උපාදියා අරම් ච වාච්චි සුවිජයන) යන්නෙන් සඳහන් බව පෙන්වා දී ඇත. එමෙන්ම එම ශෛලමය පෙට්ටිය විවර කිරීමෙන් පසු එහි බහාලූ ස්ටෙටෛට් (ඉබඥචබඪබඥ) පාෂාණයෙන් නිමවන ලද භෂ්මාවශේෂ බහාළු ධාතු මඤ්ජුසා හතරක් හමු වූ අතර එම මඤ්ජුසාවල භෂ්මාවශේෂ අයත්වන පුද්ගලයන්ගේ නාමයන් පියනේ පිටත ඇතුළත මෙන්ම පතුලෙහිද බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් ලියා තිබුණි. අංක 1 දරන මඤ්ජුසා පියනේ පිටතින් හිමාලයේ ආචාර්ය වූ සත්පුරුෂ කස්සපගොත්ත (පුරිස(ස) කසපගොතස ස සහෙමවතාචරියස) යන්නත් ඇතුළත සත්පුරුෂ මජ්ක්‍ධිමගේ (සපුරිස මක්‍ධිම) යන්නත් පතුලෙහි සත්පුරිස හරිති පුත්ත (සපුරිස හරිතිපුතස) යනුවෙන්ද සටහන්ව තිබේ.අංක 2 දරන මඤ්ජුසාවේ පියනේ පිටත ගොතගේ ශිෂ්‍ය වූ සැත්හුරුෂ වාච්චාය සුවිජය (සපුරිස වාච්චාය සුවිජයතස ගොතන්තෙවාසිනො) පියන ඇතුළත කාකනව පහාසාහනගේ පරිත්‍යාගය (කාකනව පහාසාහන දානම්) යන්නත් අංක 3 දරන මඤ්ජුසාවේ පිටත සත්පුරුෂ මහා විනයගේ හා සත්පුරුෂ අපගිරගේ (සපුරිස කොඩිනි පුතස)යනුවෙන්ද සඳහන්ව ඇති අංක 4 දරන මඤ්ජුසාවේ පියනේ පිටතින් සත්පුරුෂකොසිකි පුත්තගේ (සපුරිස කොසිකි පුතස) යනුවෙන්ද ඇතුළත සත්පුරුෂ ගොති පුත්තගේ යන්නත් (සපුරිස ගොති පුතස යන්නත් පතුලත සත්පරුෂ මොග්ගලීපුත්තගේ (සපුරිස මොගලිපුතස) යනුවෙන්ද සටහන්ව ඇත.

එමෙන්ම සාංචියට සැතපුම් පහක් පමණ දුරින් පිහිටි සොනාරි (ඵධදචපඪ) ස්ථූපයෙන්ද ලැබුණු ධාතු මඤ්ජුසාවලද හෙමවත ගොති පුත්තගේ නාමය (ගොතිපුත හෙමවත) දඩභිස්සර ( ස දඩභිසාර) මජ්ක්‍ධිම කොඩිනිපුත්ත (මජ්ක්‍ධිමස කොඩිනිපුතස) සත්පුරුෂ කොටිපුත්තකස්සපගොත්ත (කොටිපුතස කාසපගොතස සව හෙමවතාචාරිය ) කොසිකි පුත්ත (කොසිකිපුතස) සත්පුරුෂ අලබගිර (සපුරිස අලබගිරස) යනුවෙන් ද සඳහන් වේ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස පොසොන් අවඅටවක පෝදා (ජුනි 17) පත්‍රයේ පළවේ