Print this Article


කරණීය මෙත්ත සූත්‍රයෙන්: පහසුවෙන් පෝෂණය වීම

කරණීය මෙත්ත සූත්‍රයෙන්:

පහසුවෙන් පෝෂණය වීම

අහසේ සිටින කුරුල්ලෙකුට ඇත්තේ පියාපත් බර පමණි. සැහැල්ලුය. භික්ෂූන් වහන්සේ ද කුරුල්ලෙකු මෙන් සැහැල්ලු විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. උන්වහන්සේ පහසුවෙන් පෝෂණය කළ හැකි විය යුතු ය. ‘සුභරෝ ගුණය නම් එයයි. දායකයන් පිරිනමන ප්‍රණීත හෝ නීරස හෝ යම් ආහාරයකින් සෑහීමට පත් විය හැකි නම්, පහසුවෙන් පෝෂණය කළ හැකිනම් උන්වහන්සේ සුභර ගුණයෙන් යුතු ය. භික්ෂූන් වහන්සේ බහු භාණ්ඩික නම්, එනම් බොහෝ දේ පරිහරණය කරන කෙනෙක් නම් සුභර ගුණයෙන් තොරය. එය නිර්වාණ ගාමී මාර්ගයට බාධාවකි.

භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහි ජීවිතයටද සුභර ගුණය ඉතා වැදගත් ය. චාම් දිවියක් ගෙවන පුද්ගලයාට ජීවිතයේ නැති බැරි අවස්ථාවන්හි මුහුණ දෙන්නට සිදුවන අඩුපාඩුකම්වලට පහසුවෙන් ඔරොත්තු දීමට හැකියාව ලැබේ. පොල් සම්බලයක් සමඟ බත් ටිකක් ආහාරයට ගැනීමෙන් වුව සෑහීමට පත් වීමට හැකිවේ.

සමහර අයට සුඛෝපභෝගී ගේ දොර, යාන වාහන, ඉස්තරම් රෙදි පිළි අවශ්‍යමය. ඒවායින් තොර ජීවිතයක් ගැන සිතන්නට බැරි තරම්ය. සමහරුන්ගේ විවාහ ජීවිත ආරම්භයේ දී ම බිඳ වැටේ. එක්කෝ කෙළවරක් නැති අඬ දබරය. අසාර්ථක පවුල් ජීවිතය. ඊට බොහෝ විට හේතු වන්නේ පහසුවෙන් පෝෂණය කළ නොහැකි වීමය.

ජීවිතයේ නැඟීම් මෙන්ම බැසීම් ද සිදුවේ. අද ධනවතා හෙට දුප්පතෙක් වේ. නොසිතූ මොහොතක සියල්ල විනාශ වී යාමට ඉඩ ඇත. ලෝ දහමේ ස්වභාවය එයයි. නායයාම්, සුළි කුණාටු ඇතිවී සියල්ල වතුරේ යන්නේ, ගං වතුර වැනි පීඩා මහ පොළොවේ සැඟවෙන්නේ පෙර දැනුම් දීමකින් නොවේ. නොසිතන මොහොතක, නොසිතූ විදිහේ ලෙඩ දුක් ඇතිවන්නට පුළුවන. උපයාගත් සියල්ල ඒ වෙනුවෙන් විය පැහැදම් කරන්නට සිදුවනු ඇත. ගේ දොර, ඉඩකඩම් පවා උකසට තබන්නට සිදුවනු ඇත. එවැනි අවස්ථාවක සුඛෝපභෝගී ආහාර සහ වෙනත් දේ බලාපොරොත්තුවිය නොහැකිය. සියල්ලට මැදහත් සිතින් මුහුණ දිය යුතු ය. පහසුවෙන් පෝෂණය කළ හැකි පුද්ගලයෙකු නොවූයේ නම් මේ ආපදාවන්ට, කරදරවලට ඔරොත්තු දීමේ හැකියාවක් නොවේ. මානසිකව කඩා වැටුණු පුද්ගලයෙක් බවට පත් වේ. එවැන්නෙකුට යළි නැඟී සිටින්නට ශක්තිමත් සිතක් නැත.

ඇතැම් මවුපියන් දරුවන් ඉල්ලන සියල්ල ලබා දේ. තමන් කුස ගින්නේ සිට හෝ, අවශ්‍යතා කැප කර හෝ දරුවන්ගේ සතුට ලබා දෙන්නට උත්සාහ ගනී. එවිට දරුවන්ට දුක නොතේරේ. නැති බැරිකම නොතේරේ. අපහසු අවස්ථාවක පවා දරුවන් පහසුවෙන් පෝෂණය කළ හැකි නොවේ. දකින දේ ඉල්ලීම දරුවන්ගේ ස්වභාවයයි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකළ යුතු වේ. එහෙත් ප්‍රමාණය ඉක්මවීමෙන් නොවේ.

අනෙක්අතට අප ජීවත් විය යුතුවන්නේ අනුන්ට පෙනෙන්නට නොවේ. ඇති හැකිකම් අනුන්ට පෙන්වීමටද නොවේ. ඒ අනවශ්‍ය බරක් හිතට ගැනීමකි. එය හිසරදයකි. තමන්ට මෙන්ම අනුන්ටද බරකි. පහසුවෙන් පෝෂණය කළහැකි ජීවිතය ඕනෑම දුකකට කරදරයකට ඔරොත්තු දේ. එවැනි දිවි පැවැත්ම තමන්ට පහසුය. අනුන්ට ද පහසුය.