Print this Article


පහන් සිතක කවි

බුදු හිමියනි

පවින් බර බොහෝ , අද මිටු දනන්
ලොවේ සැරි සරනවා
පංච පාපයෙන් මිරිකී
දහම පිටු දකිනවා

අමා ගුණ සයුරු ගැඹ
මෙත් සිතින් තළ තලා
වෛරයෙන් පිරි දනන්
ඒ දියෙන් නහවන්න

සිහි කරමින් අදත් හිමි ගුණ කුළුණු සිතින්
ගී පද ගයන්නෙමි මා තැනක ඉඳන්
කරුණා පෙර දැරිව වඩිනා විට සමිඳුන්
සිරිපා වඳින්නට අවසර ගමි බැතියෙන්

කොත්මලේ පූඬළුඔයේ
ඇල්. ඩී. සිල්වා

බුදු මව්නි, පියාණෙනි

උදාරයි දෙගුරු ගුණ සුවඳ දසදෙස හැමූ
සදාකල් ගෞරවෙන් භක්තියෙන් සමරමු
බෙදා ගත් බත් හැන්ද කවා සිත් සනසමු
පුදා රන් මල් බඳුන් බුදුන් මෙන් නමදිමු

ගොකරැල්ලේ ජිනවංශ හිමි
නිසලවිල විපස්සනා භාවනා මධ්‍යස්ථානය
තුඹුල්ල

අරණට වඩිත්වා

සංසාරයෙන් ගොඩ ගනු වස් සත නේක
අදිටන් බෙලෙන් බිඳ හැර ආ මග සෝක
පාමින් අසිරි සිරි වෙසඟේ පෝ දාක
කෙලෙසුන් නසා හිමියන් බුදුවුණ සේක

සත්වග දැවෙද්දී මෝහයෙ අඳුරු දැලින්
පත්කොට යහමගට අත්දුටු කුසල වලින්
මෙත් සිත පතුරුවා මුදිතා දැහැන තුළින්
සිත් සුවපත් කළා සදහම් අමොද වලින්

ආරි හත්තාගල
සුමනජෝති දහම් පාසල
හඳපාන්ගොඩ

නොනැසෙන බුදුගුණ

මුල මැද අග ද යන තුන් කල් අවැසි තැන
සෙල වෙන අයුරු දෙසුවේ දම් කදෙහි ගුණ
කුල මල ජාති ආගම ඉවතටම ලන
බල දෙව් මිනිසුනට වූ හැටි ඉසි කලණ

කොලොන්නාවේ
ප්‍රේමසිරි මුණසිංහ